Wednesday 18 May 2011

මල්ලිලා, මෙව්වට එන්ඩ එපා බං....

හප්පේ, ගොඩක් දවසකින් මේ පැත්තෙ ආවෙ. පහු ගිය ටිකේ රාජකාරි වැඩයි, ඉගෙනීමෙ වැඩයි ගොඩ ගැහිලා තිබ්බ. තාම ඉවර නෑ. ඒ අතරේ පහුගිය දවසක ඉතාලියෙ පොඩි සංචාරයක් ගිහින් ආව. අද කියන්න යන්නෙ ඒකෙ විස්තර ටිකක්. ඉතාලිය ගැන අහල කියවල තිබුන දේවල් අනුව බොහොම ලස්සන, කලාත්මක අතින් පිරුණු රටක් දකින බලාපොරොත්තුවෙන් තමයි ගියෙ. හැබැයි මගේ හිතේ තිබුණු ඉතාලිය සැබෑ ඉතාලියෙන් ගොඩක් දුරයි කියල තේරුනේ අපි එහෙ ගියාට පස්සෙ. කෙටි නිවාඩුවක් නිසා වැඩිය ඇවිදින්න හම්බුනේ නෑ. අපි ගියෙ වැනීසියටයි රෝමෙටයි විතරයි. මිලාන් නගරය බලන්නයි, ෆෙරාරි රසිකයෙක් නොවුනත් ඒ කර්මාන්තශාලාව තියෙන මරනේල්ලෝ නගරයට යන්ඩයි  (මට Formula 1 උන තදින්ම තියෙනව) ඕන කම තිබ්බට වෙලාව ඒකට හරස් උනා.

මුලින් ම ගියෙ වැනිසියට. අපි හෝටලේට බෑග් දාල එලියට බැස්ස ඇවිදින්ඩ කියල. වැනිසියේ තියෙන්නෙ බිමට ගල් අල්ලපු, බිත්ති දෙකක් අතරින් වැටිච්ච පටු පාරවල්. එහෙමත් නැත්තන් ඉතින් වතුරෙන් යන්ඩත් පුළුවන්. හැබැයි ඉතින් ගොන්ඩෝලා වලින් හැම තැනම ගියොත් කලිසමත් වැනිසියේ තියල තමයි එන්ඩ වෙන්නෙ. කොහොම උනත් හරි පාර හොයාගෙන යන එක පලවෙනි පාර යන කෙනෙකුට ටිකක් ගේමක් දෙන්ඩ ඕනේ වැඩක්. අපිට මුලින් ම යන්ඩ ඕනෙකම තිබ්බෙ St.Peter's Square කියල චතුරස්රයකට. එලියට බැහැල බලද්දී හෝටලේ ඉඳන් වමටයි, දකුනටයි, ඉස්සරහටයි පාරවල් තුනක් තියෙනව. මම කෙලින්ම  ඉස්සරහට යන්ඩ පාර දිගේ යන්ඩ හැදුව. මාත් එක්ක ගියපු මගේ යාලුව දකුණට තියෙන පාරේ යන්ඩ හදනව. " උඹ ඔය කොහෙද යන්නෙ?, මෙහෙන් යමු"

ඌට එහෙම කියල කට ගන්ඩ හම්බුනේ නෑ පාරේ ගියපු පොරක් එක පාරට නැවතිලා අපි දෙන්න දිහා බැලුව.

" ඔයාල ලංකාවෙද?"

ලංකාවෙ රට ගිහින් ඉන්න ජනගහනෙන් බාගයක් විතරම ඉන්නෙ ඉතාලියෙ කියල මතක උනේ එතකොට. දැන් ඉතින් මෙහෙදී කතා කරද්දි කට පරිස්සන් කරගන්ඩ ඕනෙ!

"නෑ අයියා අපි අප්‍රිකාවෙන්" කියන්ඩ හිතුනත් පොර කොහොම එක ගනියි ද දන්නේ නැති නිසා අපිත් ඉතින් හිනාවෙලා "ඔව් ඔව් ලංකාවෙ තමයි. අපි මේ st.peter's square එකට යන හැටි හොයනව" කිව්ව.

"ආ එන්ඩ, මම එක්ක යන්නං. මාත් යන්නෙ ඒ හරියට තමා" කියල පොර අපිව එක්ක ගෙන ගියා. එයා වැනිසියේ රස්සාව කරන කෙනෙක්. ජොබ් එකට යන ගමන් තමයි අපිව සෙට් වෙලා තියෙන්නෙ. අපරාදෙ කියන්ඩ බෑ ඒ මනුස්සය වැඩට යන එකත් පරක්කු කරගෙන අපිව හරි තැනට එක්ක ගෙන ගිහින් දැම්ම.

වැනිසියේ විනාඩි 10 විතර ඇවිද්දම මුළු වැනිසියම කවර් කරා වගේ තමයි. මොකද හැම තැනම තියෙන්නේ, පාරක්, ඇලක්, පාලමක්, පල්ලියක්. නැත්තන් ඇලක්, පාලමක්, පාරක්, පල්ලියක්! අපි මහ රෑ වෙනකන් ඔලුව හැරුණු අතේ ඇවිද්ද. වැනිසියේ ගහක් ගලක් ගානෙ සංචාරකයො. ලෝකේ වටෙන් ආපු ලස්සන ගෑනු ළමයි හැම තැනම. බලන්න ගියාම බෙල්ලෙ පොට යනව.   මට මතක් උනේ අර "සෝභාව දේ මෙපුර සිරි විසිතුරු" සින්දුව.

ඇවිදල ඇවිදල කන්න කියල රෙස්ටොරන්ට් එකකට ගොඩ උනා. කෑම නං ලොකු අමුත්තක් නෑ. හැබැයි වැරැද්දකුත් නෑ. අපි කෑවෙ සී ෆුඩ් මීල් එකක්. ඒකෙ දැල්ලෝ හදල තිබ්බ හරියට නිකන් මාතර පැත්තෙ ඇඹුල් තියල් වගේ. අපි කාල බීල(වතුර) ඉවර වෙලා බිල ගෙවන්න බලද්දි මම දැක්ක ලංකාවෙ පෙනුම තියෙන වේටර් කෙනෙක් එහෙම මෙහෙ දුවනව. අපි බලනවා දැකපු පොර අපේ ගාවට ඇවිත් ඇහුව "Is everything alright?"  කියල. පොර කතා කරපු විදිහෙන් මට තේරුනා ලංකාවෙ කියල. මම ඇහුව "බොස් ලංකාවෙද?" කියල. අපිට දවස් බාගයක් ඇතුලත හම්බ උන දෙවෙනි ලාංකිකයා. පොර බිල අරන් එන්නන් කියල ගියා. ටික වෙලාවකින් බිල අරන් ඇවිත් අපේ මේසෙ උඩින් තියන ගමන් කියනව
"මල්ලිලා මෙව්වට එන්ඩ එපා බං. කැ* බිල් දාන්නෙ. මේ බලපල්ල" කියල.
බලද්දි බිල යුරෝ 59ක් (රු 9200 විතර). කාපු දේකුත් නෑ.

පහු වෙනිද අපි කෝච්චියක් අරගෙන රෝමෙට ආව. රෝමෙ මට අල්ලලම ගීය තැන තමා කොලොසියම් එක. අර කතාවක් තියෙනවනෙ "Rome wasn't built in a day" කියල. කිව්වත් වගේ කොලොසියම් එකත් හැදිලා තියෙන්නේ එක එක කාල වලදී හිටපු පාලකයො එකතු කරපු කෑලි වලින්. ඒකෙ මුලින් තිබ්බ ස්වරූපයට පස්සේ කාල වලදී පොඩි පොඩි කෑලි ගොඩක් එකතු වෙලා තියෙනව. ඒකනම් අති විශිෂ්ට ගනයේ නිර්මාණයක්. තට්ටු කිහිපයකින් නිම වෙච්ච ප්‍රේක්ෂකාගාරය හරියට නවීන පන්නයේ පාපන්දු ක්‍රීඩාoඟනයක්  වගේ ඒ කාලෙත් තියෙන්න ඇති කියල හිතෙනවා. ග්ලැඩියෙටර් ෆිල්ම් එක බලපු අයට මතක ඇති ඒකෙ ග්ලැඩියෙටර්ල සටන් කරද්දී පොලොව යටින් සිංහයො, කොටි වගේ සත්තු උඩට ගේනව. ඒ වේදිකාවට යටින් තිබ්බ යටි බිම් තලයේ නටබුනුත් තාම බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඒ දවස් වල ඕකෙ මැද වතුර පුරවල නාවික සටන් සංදර්ශන පවා පෙන්වල තියෙනව. අදටත් ලෝකේ වටේ තියෙන ස්ටේඩියම් වල මුතුන් මිත්තො ග්‍රීසියේ, රෝමෙ හදපු ක්‍රීඩාoඟන තමයි.

අපි වතිකානුවටත් ගියා. ඒත් St. Peters Basilica  එකටනං නගින්න හම්බුනේ නෑ. අම්බානක සෙනග. වතිකානුවේ කෞතුකාගාරය නම් හරිම ඉහලයි. මයිකල් ඇන්ජෙලෝ ලොක්ක සිවිලිමේ ඇඳපු චිත්‍රත් බැලුව. ඒවා බලද්දී හරි පුදුම හැගීමක් හිතට එන්නෙ. සියවස් ගානකට කලින්, ලෝක පූජිත සිත්තරෙක් හිටපු තැනක තමයි අපිත් මේ හිටගෙන ඔහු සියවස් ගානකට කලින් ඇඳපු පින්සල් පාරවල් දිහා අද බලාගෙන ඉන්නෙ කියල හිතෙනව. ඒ පින්තුර හරියට අද ඇන්ද වගේ තියෙනව. 

මම පටන් ගනිද්දී කිව්වනෙ සැබෑ ඉතාලිය මම හිතාගෙන හිටපු එකට වැඩ සැහෙන්න වෙනස් කියල. එහෙම හිතුනේ රෝමෙදී තමයි. එහෙ ගොඩක් ගොඩනැගිලි වල ග්රෑෆිටි පිරිල. ගොඩනැගිලි වල විතරක් නෙවෙයි. උමං දුම්රිය වලත් එහෙමයි. පාරවල් දෙපැත්තෙ ගොඩක් තැන් වල කුණු ගොඩ ගැහිල. ඒ ඔක්කොටම වඩා හපන් මොනව හරි වැඩක් කරගන්න ගියාම. ඉතාලියේ වැඩක් කරගන්න එක ලංකාවේ රජයේ ආයතනයකින් වැඩක් කරගන්නවටත් වඩා අමාරුයි කියලයි මට හිතුනේ. මේ මගේ අත්දැකීම් අනුව මට හිතුනු දේ. සමහරවිට එහෙ ජීවත් වෙන කෙනෙකුට හිතෙන දේ මීට වඩා වෙනස් වෙන්ඩ පුළුවන්. මේ බ්ලොග් එක බලන මගෙ ඉතාලි යාළුවො  මොනවද ඒ ගැන කියන්නෙ?. ඉතාලියට එක පාරක් ගිහින් මදි කියල හිතාගෙන ගියපු මම ආයෙ ආවෙ නං  'Never again'  මානසිකත්වයෙන්. 

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!