Monday 24 October 2011

ෂර්ලොක් හෝම්ස් හමුවීමට ගියෙමි.....

පහුගිය දවසක මුහුදු කොල්ලකාරය එයාගේ සගයෝ ටික බෝට්ටුවක හම්බවෙච්ච හැටි මම කිව්වනෙ. ඒක කියවල පොඩි කුමාරිහාමි මෙන්න මෙහෙම නිගමනයකුත් දීල තිබ්බනෙ හරියට නිකන් ෂර්ලොක් හෝම්ස් වගේ. (මේ ගෑනුන්ටත් ඕන්නැති දෙයක් නැති හැටි අම්මප!). කොහොමහරි ඉතින් මට පොඩි රහස් පරීක්ෂක වැඩකට කෙනෙක් ඕන කරල, ඔය ගැන කල්පනා කරලා කරලා අන්තිමේදි හිතුව මේ සම්බන්දයෙන් ලෝකේ ඉන්න හොඳම කෙනා ගිහින් හම්බ වෙන්ඩ. ඒ කිව්වේ ෂර්ලොක් හෝම්ස් ව! ඉතින් මුහුදු කොල්ලකාරය දවසක් උදේ පාන්දර කුකුලත් අතේ ගිරවත් කරේ තියාගෙන ගියා පොරව හම්බ වෙන්ඩ බේකර් ස්ට්‍රීට් එකේ නොම්මර 221 B ගෙදරට.  හැබැයි යද්දී පොර ගෙදර හිටියෙ නෑ. පොඩි සීන් එකක් මෙව්ව කරන්ඩ එලියට ගිහින්. ඉතින් පොර එනකන් ඉන්න ගමන් මම ගෙදර පින්තුර ටිකක් ගත්ත. 

මාකටින් පාර නියමෙට දෙනව වගේ!
මේ තියෙන්නෙ ඉස්සරහ දොර

පහල ඉඳන් පලවෙනි තට්ටුවෙ හෝම්ස් ගේ කාමරේට යන තරප්පු පේලිය. කට්ටිය දන්නව ඇතිනෙ. ඕකෙ හරියටම තරප්පු 17 ක් තියෙනව. මම ගැන්නා. හරියට හරි. 17 තමයි.
හෝම්ස් ගෙ විසිත්ත කාමරය. මේකෙ ඉඳන් තමයි හෝම්ස් සුරුට්ටු උර උර අභිරහස් විසඳන්නෙ
කෑම මේසෙ. ඉටිපන්දන් පත්තු කරල තියෙන්නෙ ලයිට් කපලද දන්නෙ නෑ
හෝම්ස් එලියට ගිහින් තියෙන්නෙ වොට්සන් එක්ක වගේ. ඔය තියෙන්නෙ වොටා ගෙ බෑග් එක මුලකුරුත් කොටල.
වොට්සන් ගෙ බෑග් එක
හෝම්ස් ගෙ විසිත්ත කාමරයෙ තව පැත්තක්. මතකනෙ බේකර් විදිය පැත්තට මුහුණ දාල තියෙන අර ලොකු ජනෙල දෙක. ඔය තියෙන්නෙ ඒ දෙක
වොට්සන් ගෙ කාමරය. මේ මනුස්සය හරි අපිළිවෙලයි වගේ. හැම තැනම බඩු විසිකරල දාල.
වොට්සන් ගෙ කාමරේ තව පැත්තක්.
හෝම්ස් ගෙ අත්අකුරින් වොට්සන් ට ලියපු ලියුමක්
හෝම්ස් ගෙ ගෙදර අයිතිකාර මිසිස් හඩ්සන් ගෙ කාමරේ
හෝම්ස් ව බලන්ඩ ආපු කට්ටිය ආව කියල ලියල යන පොත
හෝම්ස් ට ආපු ලියුං
"මිස්ටර් හෝම්ස්,
මට බයයි ඔයාගේ ආරක්ෂාව ගැන. අද මම යන 154 බස් එකේ මම ප්‍රොෆෙසර් මොරියාටි ව දැක්ක. මිනිහ ලොකු රැවුලකුත් වවාගෙන වෙස්වලාගෙන ඉන්නෙ. මට තේරුණා ඒ මිනිහ කියල එයා ළමයින්ට හරි සැරයි. මම මිනිහගෙ හැඩරුව දන්නව ඩොක්ට වොට්සන් ලියපු පොතෙන්. එයා ලෝකෙ විනාස කරන්න ප්ලෑන් එකක් ගහනව වගේ. ඔබට ඔහුව අල්ලගන්න ලැබෙයි කියල හිතනව.
මීට රොනන් බ්‍රෙනන් (අවු 12).
ප.ලි. මට ඔයාගෙයි වොට්සන් ගෙයි 
සමරු සටහන් එවනවද?" 
"ආදරණීය හෝම්ස්,
ඔයාට පුලුවන්ද දන්නෙ නෑ මට පොඩි රහස් පරීක්ෂක වැඩකට උදව් කරන්න? මගෙ පූසො හැමදාම රෑට අතුරුදහන් වෙනව. ආයෙම උදේට මුකුත් නොවිච්ච ගානට මතු වෙනව. ඊට පස්සේ ඒ ගොල්ල දවසම නිදියනව. ඔබට සුභ අලුත් අවුරුද්දක්.
මීට ලුයිස් (අවු 10)"
"හෝම්ස් මහත්මයා, මම දන්නව ඔබට ඔය ලන්ඩන් වල ඉන්න කොල්ලෝ ඉඳල හිටලා අපරාධ විසඳන්න උදව් කරනව කියල. මම කියන්න කැමතියි මමත් ඔබට උදව් කරන්න ඉන්න බව. ඔබට ඇමරිකාවේ මොනවා හරි අපරාධයක් විසඳන්න උදව් අවශ්‍ය නම් මට කියන්න. මම උදව් කරන්නන්. විශේෂයෙන් ඩයිනෝසරයන් හා මාළුන් වගේ මගෙ ප්‍රියතම විෂයන් ගැන සම්බන්ධ අභිරහස්. වොට්සන් වත් මතක් කලා කියන්න.
මීට බ්‍රෑන්ඩන් සෙලස්. (අවු 5)" 
"ආදරණීය මැරුණු ෂර්ලොක් හෝම්ස්, මට හරිම ගොන් ගතියක් දැනෙනව ඔබට ලිපියක් ලියන්න. මොකද මම දන්නව ඔබ දැනටමත් අඩි 6 යට වැළලිලා කියල. මේක මගෙ ටීචර් ගෙ අයිඩියා එක. ඒක නිසා හිතන්ඩ එපා මට පිස්සු කියල. බය වෙන්ඩ එපා, මම හිතන්නේ අපේ ටිචට බාගෙට පිස්සු. අඩු ගානෙ මේක නිසා මට ලකුනුවත් වැඩිය ලැබෙයි නෙ. මම යන්න ඕනෙ. පස්සේ හම්බෙමු.
ප.ලි. මේක හරි මෝඩයි!!"

හරි දැන් හතර බීරි කතා ඉවරයි. දැන් කට්ටියට ප්‍රශ්නෙ නෙ, මේ ඇත්තටම හෝම්ස් ගෙ ගෙදරද? ඇත්තට හෝම්ස් කෙනෙක් හිටියද? අපි හිතුවෙ ඒක ප්‍රභන්දයක් කියලනෙ? කොහොමද මේ කතාවෙ වගේම ගෙයක් තියෙන්නෙ? මේ සර් ආතර් කොනන් ඩොයිල් ගෙ ගෙදරද? වගේ ඒව. කතාව මෙහෙමයි. සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් කතා මාලාව ලිව්වෙ එක්දහස් අටසිය ගණන් වල අග භාගයෙ. ඒ කාලෙ බේකර් විදියෙ නොම්මර තිබිල තියෙන්නෙ 100 ට වෙනකන් විතරයි. ඒක නිසා තමයි සර් ඩොයිල් ඔහුගේ කතාවට කල්පිත නොම්මරයක් වෙච්ච 221B යොදා ගත්තෙ. ඒකට හේතු තිබ්බ. 1930 දී බේකර් විදියෙ නොම්මර වැඩි කලාම නොම්මර 219 ඉඳන් 225 දක්වා හම්බෙලා තියෙන්නෙ Abbey National කියන බැංකුවෙ බිල්ඩිමකට. ඉතින් එදා ඉඳන් ලෝකෙ නං දෙසින් හෝම්ස් ට එන ලියුං බැංකුවට එන්න ගත්තලු!. කොච්චර ලියුං ආවද කිව්වොත් බැංකුවෙන් පූර්ණ කාලීන 'හෝම්ස් ගෙ ලේකම්' තනතුරකුත් දීල තිබ්බලු කෙනෙකුට, එන ලියුං වලට උත්තර ලියන්න. ඉතින් හිතන්න, එච්චර කාලෙකට පස්සෙත් එහෙම ලියුම් එනව නං, සර් කොනන් ඩොයිල් ඔය කතා ලියන දවස් වල ඇත්ත නොම්මරයක් දුන්න නං එහෙම කොහොම වෙයි ද?අද අපි දකින හෝම්ස් ගෙ ගෙදර හෙවත් 'ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරය' ආරම්භ වෙලා තියෙන්නෙ එක්දහස් නවසිය අනු ගණන් වල. ඒ වෙලාවෙ නොම්මර 221B ඒ කෞතුකාගාරයට දෙන්න කියල කොච්චර ඉල්ලීම් කලත් බැංකුවෙන් ඒකට කැමති වෙලා නෑ. පස්සේ 2002 වර්ෂේ බැංකුව ඔතනින් අරන් ගියහම තමා කෞතුකාගාරයට ලියුම් එන්න පටන් අරන් තියෙන්නෙ. මේ තියෙන්නෙ අද ඒ බිල්ඩිම. කෞතුකාගාරය තියෙන්නෙ ඕකට පොඩ්ඩක් එහා.
ප.ලි.
මේ තියෙන්නෙ ෂර්ලොක් හෝම්ස් ගෙ බාත් රූම් එක. ඒක දැක්කට පස්සෙ තමයි මම දැනගත්තෙ හෝම්ස් ලංකාවෙ කොල්ලෙක් කියල. හොඳයි දන්න වොට්සන් කෙනෙක් ඉන්නව නං කියන්න බලන්න ඒක කොහොමද හොයාගත්තෙ කියල.  :D

Thursday 20 October 2011

තමුසෙගෙ තාත්ත නළුවෙක්ද?


පහුගිය දවසක මගේ ඉස්කෝලේ යාළුවො කට්ටියක් සෙට් උනා. සමහරු ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙ දැක්කමයි. ඉතින් හේමන්ත ඍතුවේ හවසක,  ගිනි සීතලේ, තේම්ස් ගඟේ පාවෙන බෝට්ටුවක ඩෙක් එක උඩට වෙලා අපි පැය ගානක් තිස්සෙ පරණ පට්ටන්දර දිග ඇරිය. ඒ අලුත් වෙච්ච මතකයත් එක්ක මට හිතුන පරණ ඉස්කෝලෙ කතා ටිකක් කියන්ඩ. මම කලින් පෝස්ට් එකකත් කිව්වනෙ අපේ පන්තියෙ අමුතු අමුතු චරිත හිටිය කියල. ඔයින් එක්කෙනක් තමා කෙපා. කෙපාගෙ කෙප්ප ගොඩක් තිබ්බත් කෙප්ප සිරිස් එකේ ආරම්භය විදිහට අපේ පන්තියෙ සාමාජිකයො සලකන්නෙ මේ කතාව. ඒ දවස් වල මිනිහ වාඩි වෙන්නෙ මට එහා පැත්තෙ. දවසක් පීරියඩ් එකක කෙපා ඉස්සරහ පේලියෙ එකත් එක්ක බර කතාවක්. මමත් වෙන මොකද්ද වැඩක් කරන ගමන් ඇන්ටනාව දාගෙන හිටිය. කෙපා ඊට කලින් සතියෙ වෙච්ච චන්ද්‍රග්‍රහණයක් ගැන ඉස්සරහ පේලියෙ එකත් එක්ක කියවනව. 
'මචන් උඹ බැලුවෙ නැද්ද? මාර ලස්සනට හඳ වැහෙනව බන්. කියල වැඩක් නෑ. මම දැක්කමයි එහෙම එකක්'
'නෑ බන්, මට බලන්න බැරුව ගියා. කාටද බන් පුළුවන් රෑ 12 ට ඇහැරගෙන ඕව බලන්ඩ'
'උඹට මාර චාන්ස් එකක් මිස් වෙලා තියෙන්නෙ. අවුරුදු ගානකට සැරයක් ඔය වගේ එකක් වෙනව කියන්නෙ මචන්.'
එහෙම කියල දැන් කෙපා හෝ ගාල චන්ද්‍රග්‍රහණය වෙච්ච හැටි ගැන කියවනව. මමත් ඉතින් තාම ඇලට් එකේ ඉන්නව.
'උඹ කියන විදිහට ඔච්චර සිරා නං උඹට තිබ්බෙ ෆොටෝ එකක් ගන්ඩ' ඉස්සරහ හිටපු එකා කිව්ව.  
'මම ෆොටෝ එකක් ගත්ත'
'එහෙනං ගෙනෙන්කෝ අපිටත් බලන්ඩ'
'නෑ බන්, ෆොටෝ එකා සුද්ද කරලා බලද්දී කාක්කෙක් පියාඹල ඒක වැහිලා'
'මචන් කෙපා' මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය මමත් සෙට් උනා.
'ඇයි'
'අපේ පැත්තෙ නං රෑ 12 ට පියාඹන්නෙ වවුල්ලු. උඹලගෙ පැත්තෙ කාක්කොත් පියාඹනවද?'
පොරට කට උත්තර නෑ! එදා ඉඳන් තමා ඌ කෙපා උනේ!

කෙපා ඒ දවස් වල, ඒකියන්නෙ අපි දිග කලිසමට බැහැපු මුල් දවස් වල,  අඳින්නෙ ටයිට් කලිසම්. හරියට අර 70 දසකේ බෙල් බොටම් වගේ එව්ව. හැබැයි බෙල් එක නැතුව මොකද එහෙම ඇඳලා ඉස්කෝලෙ ඇතුලට එනව බොරු. දවසක් ෆ්‍රී පීරියඩ් එකක අපි පිස්සු කෙල කෙල ඉද්දි අංශ භාර ගුරුතුමා කඩා වැදුන වේවැලකුත් අරගෙන. අපි ගොඩ දෙනෙක් ට නැවත හිටපු තැන් වලට යන්ඩ පුළුවන් උනත් කෙපා ට වෙලාවට දුවගන්ඩ බැරි උනා. 
'තමුසෙලට ෆ්‍රී පීරියඩ් එකක් හම්බුනාම අනික් මිනිස්සුන්ට කරදරයක් නොවී ඉන්ඩ බැරිද? තමුසෙ මෙහෙ එනව!' පොර කතා කරේ කෙපාට.
කෙපා මරන්ඩ ගෙනියන හරකෙක් වගේ ඉස්සරහට ගියා. අපේ අංශ භාර පොර සැරයි. ඒ වෙලාවෙ තවත් මල පැනල හිටියෙ. දැන් පොර වේවැලත් උරුක් කරන ඉන්නව කෙපාට නෙලන්ඩ. අපි දැන් බලාගෙන ඉන්නව කෙපාට නොසැහෙන්ඩ වේවැලෙන් කන්ඩ වෙන හැටි. හැබැයි උනේ අපි කවුරුත් නොහිතපු දෙයක්.
කෙපා ඉස්සරහට ගිය ගමන් අත්දෙක එකතු කරල සර් ට වැන්ද!.
'සර් සමාවෙන්ඩ සර්!'
'ගහන්ඩ එපා සර්'
කෙපාට නෙලන්ඩ  ගියපු සර් එක පාරට මේක උන ගමන් නැවතුනා. මාරා වේස වෙලා හිටපු සර් ට එක පාරට බකස් ගාල හිනා ගියා.
'තමුසෙගෙ තාත්ත නළුවෙක්ද?' 
ඒ පාර අපේ එවුන් බඩවල් අල්ලන් හිනා වෙනව. 
'මෙයාගෙ තාත්ත නළුවෙක්ද?' සර් අපෙනුත් ඇහුව.
'නෑ සර් ඉන්ජිනියර් කෙනෙක්. හැබැයි හොඳට රඟ පාන්ඩත් දන්නව!' ඉස්සරහ හිටපු එකෙක් කෑ ගැහුව.
'හ්ම්! සමාවෙන්ඩත් කිව්වනෙ. කමක් නෑ. අදට යනව. ආයේ අහු උනොත් හම ගහනව.' සර් කිව්ව.
මේ වෙච්ච දේ ගැන දෙයියන්ට පින් දිදී කෙපා ආයේ තමන්ගෙ තැනට ගියා. ටයිට් කලිසමක් ගහන් නලෝ නලෝ කෙපා යන තාලෙ දැක්කම සර් ආයේ කතා කරා.
'හෝව් හෝව්! මෙහෙ එනව මෙහෙ එනව!'
මේ මොන මරාලයක් වෙන්ඩ යනවද කියල හිතා ගන්ඩ බැරුව කෙපා ආයේ ආව. පංතියෙ කොල්ලොත් බලන් ඉන්නව මේ මොකෝ වෙන්නෙ කියල. 
'තමුසෙගෙ කලිසම මොකෝ මෙච්චර තද??'
සර් එහෙම ඇහුව විතරයි මුළු පන්තියම සිනා සාගරයක් උනා. ඒ දවස් වල කෙපා තියන හැම ස්ටයිල් එකක් ම ට්‍රයි කරනව.
'තමුසෙ හෙට එනකොට තාත්තට කියල ලියුමක් ලියාගෙන එන්ඩ ඕනෙ. "මගේ පුතාගේ කලිසම් මෙච්චර තද ඇයි?" කියල!'
දැන් පන්තියෙ එවුන් පෙරලි පෙරලි හිනා වෙනව. කොහොමහරි කෙපා ගේ තාත්ත ෆිට් පොර. පොර පහු වෙනිද ලියල දීල තිබ්බ ' මේ වයසේ ළමුන්ගේ සිදුවන සීග්‍ර වර්ධනය නිසා, මුලින් බුරුලට මැසුවද දැන් කලිසම් හිර වී ඇත' කියල. කෙපා ඊට පස්සේ ඔය 'සර් සමාවෙන්ඩ සර්' ජවනිකාව රඟපාලා ගොඩක් ගුටිකෑම් වලින් ගැලවුනා. හැබැයි මිනිහට වැඩ වැරදුනේ ඉස්කෝලේ වසවර්ති සර් කෙනෙක් වෙච්ච කැඩෙට් භාර සර් ගෙන් ගුටි කන්න උන වෙලාවෙ. ඒ වෙලාවෙ කෙපා 'සර් සමාවෙන්ඩ සර්' එකේ දෙවෙනි 'ස' යන්නට එද්දී කරකැවිල වැටෙන්න කම්මුල් පාරක් හම්බුනා. එයින් පස්සෙ ඌ නෙවෙයි ආයෙ සමාව ඉල්ලන්ඩ ගියෙ.

කෙපා වගේම අමුතු චරිතයක් තමා අපි ගාව කාලයක් වාඩි වෙලා හිටපු පසනා. පසන ගේ තාත්ත ප්‍රයිවට් කම්පැනි එකක ඩිරෙක්ටර් කෙනෙක්. අම්ම ලෝයර්. උගෙ ගෙදර, මිනිස්සු ගානට වඩා වාහන. හැබැයි කවදාවත් ඌ ඉස්කෝලෙ විෂයන් ගානට හරියන්න පොත් ගෙනාවෙ නෑ. පොර අරන් ආවෙ පොත් තුනයි. හරියට කිව්වොත් පොත් දෙකයි, ඩයරියයි. එක පොතක් ගණන් ලියන්න. අනිකෙ විද්‍යාව. ඉතුරු ඔක්කොම විෂයන් ඩයරියේ ඒ ඒ වෙලාවට පෙරලෙන කොලේ! දවසක් සිංහල පීරියඩ් එකේ සර් මොනවද කියෙව්ව අපිට ලියගන්ඩ. අපිත් ඉතින් අසා ලිවිම කරනව. පසනා උගෙ ඩයරියේ ලියනව. පන්තියෙ ඇවිද ඇවිද කියවපු සර් මේක දැක්ක. සර් ආව පසන් ගාවට.
'නැගිටිනවා! තමුසේ මොකද ඩයරියක ලියන්නෙ? පොතක් නැද්ද?'
පසනා නැගිට්ට.
'තිබ්බ සර්!'
'තිබ්බ ? මොකෝ උනේ ඒකට?'
'ඒක ඉවර උනා සර්'
'ඉවර උනානං අයිසේ අලුත් පොතක් ගන්ඩ එපැයි'
ඊට පස්සෙ පසනා බොහොම දුක්මුසු හඬකින්, දුක මූණක් දාගෙන කිව්ව මෙන්න මෙහෙම.
'තාත්ත කිව්ව සර් මේ මාසෙ පඩි හම්බුනාම පොතක් අරන් දෙන්නං කියල !'
මට පනින්න ගියපු හිනාව බොහොම අමාරුවෙන් විකාගෙන, ඒත් අමාරු නිසා ඩෙස්ක් එක හයියෙන් අල්ල ගත්ත. ඒත් නිකන් ඇඟ ගැහෙනව වගේ. පන්තියෙ අනික් කොල්ලො හයියෙන් පැන්සල්, පෑන් විකාගන්නව, ඩෙස්ක් අස්සේ ඔලුව හංගගෙන හිනාව තද කරන්  ෆිට් එක හැදිල වගේ ගැහෙනව මම ඇස් කොනින් දැක්ක. පසනගේ පැටිකිරිය දන්නෙ නැති සර් හිතුවේ මු සිරාවට කිව්ව කියල. සර්  ගේ මූණ එක පාරට වෙනස් උනා.
'ආ කමක් නෑ පුතා. හවසට යනකොට එන්න මාව හම්බෙන්න. මම පොතක් අරන් දෙන්නං'
'නෑ සර් කමක් නෑ'
' නෑ. නෑ ලැජ්ජ වෙන්ඩ එපා. මම අරන් දෙන්නං'
'නෑ සර් තාත්ත කියල තියෙනව කාටවත් කරදර කරන්න එපා කියල'
'හ්ම් එහෙනං කමක් නෑ. වාඩි වෙන්න. ඔය වගේ දෙයක් ඕන උනොත් බය නැතුව මට ඇවිත් කියන්න'
'හා සර්!'
සර් ආයෙ කියවන්න ගත්ත. ඔය දෙබස තව එක වචනයක් ඉස්සරහට ගියානං පන්තියෙ කොල්ලො ටික තද කරන් හිටපු හිනාවල් බඩ ඇතුලෙ පුපුරල මැරෙනව!! 
ඔය මොන මගෝඩි කරත් පසනා තමන් ගේ ආස විද්‍යා විශයෙන් ඉස්සරහට ගියා. ( ඌ ගණන් වලට වෙනම පොතක් ගෙනාවෙ, කොටු රූල් ඩයරි හොයාගන්න නැති නිසා). පසනා දැන් ඩොකෙක්. හැබැයි උගෙ මගෝඩි කට නං හැදිල නෑ. ඌට ලංකාවෙ ස්පීඩ් ලිමිට් අදාළ නෑ. හය්යෙන් ගිහින් අහුඋනොත් දෙන ස්ටෑන්ඩඩ් උත්තරේ, ඩොකා අයිඩෙන්ටිය පෙන්නල 'මම අහවල් හොස්පිටල් එකේ ඉන්නෙ, මේ හදිසියක් කියල කෝල් එකක් ආව. ඒකට යනගමන්' කියල කියනව. පොලිසියත් 'හා එහෙනං යන්ඩ සර්' කියනව විතරක් නෙවෙයි, සමහර වෙලාවට ඉස්සරහ චෙක් කරන්න ඉන්න අයට කියනව මේ නොම්මරේ තියෙන වාහනේට යන්න දෙන්න කියල. උගෙන් බෙහෙත් ගන්න මිනිස්සුන්ට මොනව කියනවද කියල දෙයියො තමා දන්නෙ.


image: http://es.toonpool.com/cartoons/full%20time%20school_21754

Tuesday 4 October 2011

සල්ලි දී ගල් බැලීම.....

පහුගිය දවසක මගෙ අපාය සහායක මිත්‍රයෙකුගෙන් එනව කෝල් එකක්.
"මචන් උඹ වීක්එන්ඩ්  එකේ මොනවද කරන්නෙ?"
"දැනට මුකුත් ප්ලෑන් එකක් නෑ මචන්. ඔය කඩේ යන ගෙවල් අස් පස් කරන වගේ එව්ව තමා තියෙන්නෙ"
"උඹ නිකන් බැඳපු එකෙක් වගේනෙ බන් කතාව !"
"ඇයි බොලාගේ ගෙදර අස් පස් කරල දෙන්නෙ පොලිසියෙන්ද.....?? "
"හරි හරි බන්, ඒක නෙවේ, වීක් එන්ඩ් එකේ මොනව හරි කරමු "
"මොනවද ඉතින් කරන්නෙ? "
"අර රොබින් හුඩ් එකේ පෙන්නපු ගල් බලන්න යමුද? "
"සල්ලි දීල ගල් බලන්න? බොලා වගේ යාළුවො ඉන්නකන් අපිට හතුරො ඕනෙ නෑ.....!!!! "

ඔන්න ඉතින් ඔහොම තමයි අපි සල්ලි දීල ගල් බලන්න යන්න සෙට් උනේ. දුරු කතර ගෙවාගෙන බලන්න ගියපු ඒවයෙ පින්තුර තමා ඔය පහල තියෙන්නෙ.


මේ තියෙන්නෙ Stonehenge. මේක තියෙන්නෙ එංගලන්තෙ සොල්ස්බරි කියන නගරේ. රොබින් හුඩ් කතා මාලාව බලපු අයට නං මේක මතක ඇති. මේක හදල තියෙන්නෙ මිට අවුරුදු 5000 කට විතර කලින්. නමුත් අද වෙනකන් කවුරුත් හරියටම දන්නෙ නෑ මේක හදපු එකේ පරමාර්ථය මොකක්ද කියන එක.  මේව ටොන් ගණනක් බර පාෂාණ. මේ විදිහේ පාෂාණ මේ නගර කිට්ටුවෙන් හොයා ගන්න නෑ. ඒ කියන්නෙ මේක හදපු අය මේ පාෂාණ කොහේ හරි ඉඳන් මෙතනට ගෙනල්ල තියෙනව. ඒ විතරක් නෙවෙයි. ඒව මේ විදිහට හැඩතල වලට කපල, කෙලින් හිටවලත් තියෙනව. දැන් කාලෙ වගේ  දොඹකර, බැකෝ යන්ත්‍ර, ඉංජිනේරුවන් නැතිව මේ වගේ දෙයක් අවුරුදු 5000 කට කලින් කලේ කොහොමද කියන එක ගැටළුවක්. අද මේ නටබුන් වටේම පැතිරිලා තියෙන්නෙ තැනිතලා මිටියාවතක් උනත්, ඒ කාලෙ මේක පයින් ගස් බහුල වනාන්තර ප්‍රදේශයක් ව තිබුණු බව තමයි අපිට එතැනදී කියපු විස්තර වල තිබ්බෙ.
තවත් දෙයක්. අද මේ අපි දකින ස්ටෝන් හෙන්ජ් එක නෙවෙයි මෙතන මුලින් ම හැදිලා තියෙන්නෙ. මුලින් තිබිල තියෙන්නෙ දැව වලින් නිර්මාණය උන ව්‍යුහයක්. පස්සේ ඒක නිල් පාෂාණ වලින් නිර්මාණය වෙලා තියෙනව. ඊටත් පස්සෙ තමයි මේ අද අපි දකින නටබුන් වුන නිර්මාණය හැදිල තියෙන්නෙ.  ඔය අවධි තුන ගතවෙන්න අවුරුදු 700 කට විතර කිට්ටු කාලයක් ගත වෙලා තියෙනව. මේ ගොඩනැගිල්ලෙ තියෙන එක විශේෂත්වයක් තමයි එක හරියට කැලැන්ඩරයක් වගේ වැඩකිරීම.  ශීත ඉර්තුවේ එන දහවල කෙටිම දවසෙ ඉර පායන්නෙ හරියටම මේකෙ එක ආරුක්කුවක මැද්දෙන්. ගිම්හාන ඉර්තුවේ දහවල දිගම දවසෙ ඉර පායන කෙලින් තියෙන තවත් ආරුක්කුවක් තියෙනව. 

මේ ගල් කුළුණු මේ වගේ හැඩතලයන් වලට කපල තියෙන්නෙ තවත් පාෂාණ වලින් හදාගත්තු බොහොම ප්‍රාථමික මෙවලම් වලින් පහර දීල. සෑහෙන මිනිස් ශ්‍රමයක් මේ වෙනුවෙන් වැය වෙන්න ඇති. මේ අවට කැනීම් වලින් ඒ දවස් වල සෑහෙන පිරිසක් මේ අවට ලැගුම්ගෙන හිටිය කියල හොයාගෙන තියෙනව. ඒ වගේම තමයි මේ නගරේ පුරා විසිරුණු පුරාණ සුසාන භූමි තියෙනව. තැනින් තැන තියෙන පස් කඳු වගේ ඒව අදටත් දැකගන්න පුළුවන්. මේ මිහිදන් කිරීම් වල අමුතු ලක්ෂණයක් තමයි, එකම පවුලේ කට්ටිය ඔක්කොම එකම තැනක මිහිදන් කිරීම. ඒ වගේම සමහර වලවල් තුලින්, පසුව ඒ වලවල් වලට එකතු කෙරුණු, සිරුරු වගේම, අශ්වයො, බල්ලො වගේ සත්තුත් හම්බවෙලා තියෙනව.

ස්ටෝන්හේන්ජ් එක නරඹන්න එන ජනකාය. මේක වැඩිවෙන්නෙ ගිම්හානයේ දිගම දවස ( Summer Solstice ) සහ ශිතයේ කෙටිම දවස ( Winter Solstice ) දවස් වලට.

පාෂාණ බාල්කයට සවිවෙන්න කණුවක් මුදුනේ කපපු උලක් සහ කණුවේ වහල ඉන්න ස්ටාලින්ග් කුරුල්ලෙක්. ( ඌ රුසියානු දේශපාලනයට කොහෙත්ම සම්බන්ධ නැත! )




ඒ දවස් වල ඔය පාෂාණ කුට්ටි ගෙනාවයි කියන්නෙ මෙන්න මේ වගේ ඇලවල් දිගේ. ඔය කිව්වට මට නං ඕක පොඩ්ඩක්වත් විස්වාස නෑ!. මේ වගේ පොඩි ඇලකින් කොහොමද අච්චර ලොකු ගල් කුට්ටි ගේන්නෙ? හැබැයි අවුරුදු 5000 කට විතර කලින් මේව ලොකු ගංගාවල් වෙලා තිබ්බද දන්නෙ නෑ . සමහර ඇලවල් ඔවුන් තාම හඳුන්වන්නෙ ගංගාවල් විදිහට. සොල්ස්බරි නගරය පුරාම මේ වගේ ඇලවල් දකින්න පුළුවන්. ඒක හරිම ලස්සන මධ්‍යතන යුගයේ ඉඳන් එන නගරයක්. තාමත් නගරේ ඒ ගතිය ටිකක් තියෙනව.ඒ ගෙනාපුව ඊට පස්සෙ කොටන් උඩින් දැන් තියෙන තැනට තල්ලු කරගෙන ගියාලු. මට ඒ කතාවත් සත පහක් වත් විස්වාස නෑ. මේ ඇලවල් තියෙන හරියේ ඉඳන් Stonehenge  එක තියෙන හරියට සෑහෙන දුරයි. අනික සැහෙන්න කඳු. ඉතින් කොහෙද මේව තල්ලු කරන්නෙ? හැබැයි ඉතින් ඒ කාලෙ මිනිස්සුන්ට බ්ලොග් ලියන්න, බ්ලොග් බලන්න, ෆේස් බුක් බලන්න, ටි.වී. බලන්න වගේ වැඩ තිබ්බෙ නැති නිසා සමහරවිට කම්මැලි කමටත් එක්ක කරන්ඩ ඇති. දැන් ඉන්න සුද්දො මේවයෙ විස්තර කියන්නෙ හරියට බලාගෙන හිටිය වගේ! 


දැන්නං මේ ඇලවල් වල ඉන්නෙ මේ ගොල්ලො!. හරිම ලස්සනයි.

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!