Wednesday 31 October 2012

කිඹුලෝ, ඉස්සෝ සහ කෙල්ලෝ - Miami සටහන්

ගිම්හානයේ තිබ්බ සීතල බැහැල ගිහින් (ඔව් ඔව්! සීතල තමයි ) දැන්  සිසිරයේ සීතල එන්න පටන් අරං.  මේ වෙලාවට ගෙදර සීතලේ ඉන්නකොට පහු ගිය දවසක උණුසුම් දේශ ගුණයක් තිබ්බ නගරයකට  ගියපු ගමනක් ගැන ලියල දාන්න හිතුන. කිඹුලන්, ඉස්සන් සහ කෙල්ලන් මුණ ගැහුණු ඒ නගරය ඇමරිකාවෙ  ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි නගරය. නගරයට පය ගහල වැඩි වෙලාවක් යන්න කලින් තේරිච්ච දෙයක් තමයි මේ නගරයෙ මිනිස්සු, විශේෂයෙන් ගැහැණු කොච්චර දරිද්‍රතාවයකින් පෙලෙනවද කියන එක. ගොඩක් අය පරණ වෙච්ච,ඉරුණු,කෑලි හැලෙන ඩෙනිම් කොට ගහගෙන තමා එහා මෙහා ඇවිද්දෙ. තව සමහරු ලොකු ඇඳුම් ගන්න සල්ලි නැති නිසා වියත් දෙක තුනක් දිග රෙදි කෑලි යන්තම් ඇඟේ පටලගෙන. තවත් අය උඩට අඳින්න ඇඳුම් ගන්න බැරි නිසා යටට අඳින එව්ව පිටින්ම පාරෙ යනව. අපොයි දුකේ බෑ. දැන්අහන්න එපා ඒ දුප්පත් බවලතුන්ගෙ පින්තුරයක් වත් නැද්ද බලන්න කියල. විස්සෝප වේවි ඉන්න වෙලාවට කොහෙද ෆොටෝ ගන්න මතක් වෙන්නෙ?

 Miami Vice, Dexter  වගේ කතා බලපු අය දැකල ඇති මයාමි කියන්නෙ වෙරළාශ්‍රිත සුන්දර නගරයක්. අවුරුද්ද පුරාම පවතින උණුසුම් දේශ ගුණය නිසාත් සුන්දර වෙරල තීරය නිසාත් පදිංචියට මිනිස්සු එනව වගේම, සෑහෙන්න සංචාරකයන් මේකට ඇදිල එනව. මයාමි නගරයෙ ජනගහනයෙන් සෑහෙන ප්‍රමාණයක් දකුණු ඇමරිකානු සම්භවයක් ඇති අය. මේ නිසාම නගරයෙ හැම තැනකම ස්පාඥ්ඳ භාෂාව සෑහෙන්න භාවිත වෙනව. කොටින්ම දුම්රිය ස්ථාන, ගුවන් තොටුපළවල් වල කෙරෙන නිවේදන, උපදෙස් පුවරු, මේ හැම එකක් ම ඉංග්‍රීසි සහ ස්පාඥ්ඳ භාෂා දෙකෙන්ම තියෙනව. මෙහෙ ඉන්න Senorita ලත් ඔක්කොගෙම දකුණු ඇමරිකානු ලක්ෂණ හොඳට පේන්න තියෙනව. මම කල්පනා කලේ චාල්ස් ඩාවින් ගලපගෝස් ගිහින් එහෙ සත්තු දිහා බලන් ඉඳල පරිනාමවාදය ඉදිරිපත් කළා. පොර එහෙ යන්නෙ නැතුව මයාමි ආව නං මේ ගොල්ල පද්ද පද්ද යන හැටි බලන් ඉඳල මොන වගේ තියරියක් ලියවෙන්න තිබ්බද?

මයාමි වල වැඩිය දකින්න තියෙන දෙයක් තමා නා නා මාදිලියෙ නවීන බෝට්ටු. ගොඩක් දෙනෙකුට පවුද්ගලික බෝට්ටු තියෙනව වගේම සංචාරකයන් ට කුලියට දෙන එව්වත් සෑහෙන්න තියෙනව.

 

 ඔය අලුත් තාලෙ බෝට්ටු අස්සෙ මෙන්න මේක මූදෙ යනව දැක්කම මට ඇති උන චිත්තප්රීතිය හිතා ගත්තහැකි නෙ?


උඩට මිනී ඔලුව ගහපු කළු කොඩිය විතරයි අඩු!

මයැමි නගරයෙ තවත් ප්‍රසිද්ද තැනක් තමයි Everglades ජාතික උද්‍යානය. අක්කර පහළොස් ලක්ෂයක් විතර ලොකු මේ ජාතික උද්‍යානයේ වැඩි හරිය වගුරු බිම්. ඉතිං වගුරු බිම් ආශ්‍රිතව ජිවත් වන ජීව පද්ධතින් මේ ආශ්‍රිතව දැක ගන්න පුළුවන්. ඇතුල් වෙන හරිය මට මතක් කලේ  මාදු ගඟේ  කඩොලාන පරිසරය.




ඇතුල් වෙලා වැඩි වෙලාවක් යන්න කලින් අපි බලන්න ආපු යාලුවෙක් ඉස්සරහට එනව දැක්ක. මේ ඉන්නෙ එයා.




ටික  දුරක් යද්දී තවත් කෙනෙක් ඉන්නව.


මේගොල්ලොන්ව බලල, දවාලට කිඹුල් මසුත් කාල තමයි ආවෙ. මම හිතන් හිටියෙ කිඹුල්ලු ඝන පිට පොත්තක් තියෙන්න සත්තු කියල. නමුත් ඇල්ලුවහම හරියට දැනෙන්නෙ මාලුවෙක් ව අල්ලනව වගේ. කඩොලාන තියෙන හරිය පහු කලාම අපි ඇතුල් වෙන්නෙ අක්කර ගානක් විශාල වතුරෙන් යට වෙච්ච තණ බිමක් වගේ හරියකට.



සිතිජය වෙනකල් පේන්නෙ මේ වගුරු බිම


 මේ උද්‍යානය නරඹද්දී සතුන් බලනව වගේම හොඳ අත්දැකීමක් තමයි අපි යන බෝට්ටුව. Air Boat  කියල හඳුන්වන පිටි පස්සට ලොකු අවර පෙත්තක් හයි කරපු මේ බෝට්ටු වේගෙන් එහා මෙහා යනව දැක්කම මට මතක් උනේ Water World චිත්‍රපටිය.


වෙට්ටු දාල වංගු එහෙම ගන්නකොට මරු!


මයෑමි නගරයෙ තියෙන ආකර්ශනීය බව නිසාම ලෝකෙ ඉන්න ධනවත්, ප්‍රසිද්ධ පුද්ගලයන් මේ නගරයට ඇදෙනව. ගොඩක් දෙනෙකුට මේ නගරයේ ගෙවල් තියෙනව. ඒ වගේ 'තරු' රැසක ගෙ ගෙවල් තියෙන දුපතක් තමයි 'Star Island' එක. නමෙන් කියවෙනව වගේ මේකෙ වැඩියෙන්ම ගෙවල් අරං තියෙන්නෙ ප්‍රසිද්ද පුද්ගලයන්. බෝට්ටුවක ගිහින් ඒ එක එක අයගෙ ගෙවල් බලන්නත් පුළුවන්. හැබැයි ඉතිං ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය එක්කෙනෙක්වත් එලියට බැහැල අපිට පේන්න ඉන්නෙ නෑ. මග පෙන්වන්නා එක ගෙවල් පෙන්න පෙන්න, මේක අරයගෙ ගෙදර මේක මෙයාගෙ ගෙදර කියල කියනව. අපිත් ඉතිං හුම් !හුම්! කියල අහගෙන ඉන්නව. ඒක නිසා මේ පහල තියෙන පින්තුර වල තියෙන ගෙවල් වල අයිතිවාසිකම් ඔක්කොටම අන්තිමට ලුයන්නක් දාගන්න.

මේ තියෙන්නෙ ප්‍රසිද්ධ ගායිකාවක් වන Gloria Estefan ගෙ ගෙදර. 



මේත් ලෝකප්‍රසිද්ධ පුද්ගලයෙක් ජිවත් වෙච්ච නිවසක්. මේ ඇතුල් වෙන තැන. නිවස  තියෙන්නෙ තව ඇතුලට වෙන්න. මෙහි ජිවත් උන ඔහු  ගායකයෙක්වත්, ක්‍රීඩකයෙක්වත්, ව්‍යාපාරිකයෙක් වත් නෙවේ. ඔහු නම ගියපු අපරාධ කාරයෙක්! මේ Al Capone  ජිවත් වෙච්ච නිවස.



Star Island එකේ තියෙන ලොකුම නිවස තමා මේ. අයිතිකාරය බිලියනපතියෙක් වන දොස්තර පිලිප් ෆ්රොස්ට්. ඔහු ඖෂධසමාගම් මගින් දියුණු වුනු කෙනක්. මේ ගෙදර ඉස්සරහ දිගටම පාම් ගස් වවල තියෙනව.  මෙතන පේන්නෙ ටිකයි නමුත් ගස් 30 විතර දිගට හිටවල තියෙනව. හිතා ගත්තැකි නෙ ඉඩමෙ විශාලත්වය ? මේ ගස් දකුණු අප්‍රිකාවෙන් ආනයන කරපු එව්ව බවයි අපේ මග පෙන්වන්න කිව්වෙ. මේ ගෙදර තවත් හොඳට පේනව මෙතනින්. පිලිප් ෆ්රොස්ට් ට දරුවන් නැති නිසා ඔහුගෙ මරණින් පස්සෙ මේක ආණ්ඩුවට යන්න ලු ලියල තියෙන්නෙ. සන්දුක්කාරේ! 



මේ තියෙන්නෙ සුප්‍රසිද්ධ හොලිවුඩ් නිලියක් වෙච්ච එලිසබත් ටේලර් ජිවත් වෙච්ච නිවස.



Star Island එකේ ගොඩක් ගෙවල් ඉස්සරහ මේ වගේ බෝට්ටු නවත්තල තියෙනව.



ඒ වගේම මුහුදෙ යද්දී වටේටම මේ වගේ යාන්ත්‍රික බෝට්ටු වගේම රුවල් බෝට්ටුත් දැකගන්න පුළුවන්.





Forrest Gump චිත්‍රපටිය බලපු අයට මතක ඇති Bubba Gump Shrimp Company එක. චිත්‍රපටියෙන් පස්සෙ ඒකෙ අයිතිකාර පැරමවුන්ට් සමාගම ඒ නමින් අවන්හල් සමුහයක් විවුර්ත කළා. එයින් එකක් තියෙන්නෙ මයෑමි නගරයෙ.



 ඒකට ගිහින් රසබර ඉස්සො කෑම වේලක රහ බලන්නත් අමතක කලේ නෑ. කෑම නං හරිම රසයි. ආයෙත් යන්න ලැබුනොත් අනිවාර්යෙන් මෙතනට යනව කියල හිතාගෙන තමයි ආවෙ.








මයෑමි හරිම සුන්දර නගරයක් කියල මම කලිනුත් කිව්වනෙ. නගරය   ඈතට ලස්සනට දිස් වෙන්නෙ මේ විදිහට.





මේ රාත්‍රී කාලයට නගරය පේන හැටි.



මයෑමි ගැන ලියවෙන පෝස්ට් එකක බීච් එකේ ෆොටෝ එකක් නැත්තන් ඒක පරිප්පු නැති හෝටලේ වගේ. මේ තියෙන්නෙ මයෑමි මුහුදු තීරය.





ප.ලි.
ෆොටෝ ලොකු කරල බලන්න එව්ව උඩ ක්ලික් කරන්න. මේ පෝස්ට් එකට සමහර පින්තුර ලබා දුන් ග්‍රේ ට මගේ විශේෂ ස්තුතිය. මචං, උඹ සෑහෙන ගානක් දීල ගත්ත කැමරාවෙන් අන්තිමට බලන්න පුළුවන් ෆොටෝ එකක් ගත්ත එක ගැන අපි අවංකවම සතුටුයි!! 

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!