කෙලවීම කිව්වම ඉතින් කෙලවීමෙත් ඉවරයක් නෑ. ඔය ගොඩක් අය කියනවනේ අපි වලක් කැපුවොත් එකෙත් ගෙම්බෙක්. එහෙමත් නැත්තන් අපි ගහකට නැග්ගොත් එකෙත් දෙබරයක් වගේ කතා. හැබැයි මට තරං ඕව වෙන්නේ නෑ වෙන කාටවත්. මම හිතන්නෙ මං තුමා ඉපදිච්ච නැකත නම් ඔය ග්‍රහයෝ ටික ඔක්කොම කාලක් හරි බාගයක් හරි ක්‍රියාකරල හිටපු වෙලාවක් වෙන්ඩ ඕනෙ.
නිකන් ඒවත් නෙවෙයි අර බල්ලොන්ට ගහන ඒව. මොකද මට තොප්පියක් නැතුව කාක්කො වහල ඉන්න ගහක් යටින් යන්ඩවත් බෑ. ඒ තරම් ලකී. ඒ ඕනෙ නෑ, ලඟදි ලංකාවට ගියපු වෙලාවක අපි යාළුවො කට්ටිය සෙට් වෙලා ඉවර වෙලා ගෙවල් වලට යන ගමන් මම වෙන එකෙක් එක්ක උගේ වාහනේ ආව. වෙලාව පාන්දර 2.30 විතර ඇති. අපි කොළඹ පාර දෙපැත්තේ රූස්ස ගස් තියෙන පාරකට හැරෙව්ව. අඩි දහයක් ගියේ නෑ වින්ඩ්ස්ක්රීන් එකේ මම හිටපු පැත්තට කාක්කෙක් දුන්නේ නැද්ද 'තොක්' ගාල එකක්. යකෝ මට මගේ පාඩුවේ වාහනේක යන්ඩවත් ඉඩ නැද්ද? අනික මේ පාන්දර? මීට පස්සෙ නං පහන්තිර දාපු කිරිබත් ගුලි ඕකුන්ට දෙනව බොරු .
මට මේ කෙලවිම ගැන කතා මතක් උනේ මේ ළඟදිත් ඒ වගේ එකක් උන නිසා. මෙච්චර කල් කල්දදා ඉඳල මමත් අන්තිමට ගියා මෙහේ රියදුරු බලපත්‍රය ගන්ඩ. ලංකාව කොච්චර හොඳද කියල හිතෙන්නෙ එතකොට. මෙහේ දාහක් දේවල් බලනව ටෙස්ට් එකේදී. ඕකේ තියෙනව එක එක වාහන හැසිරවීම් කරලා පෙන්නන්ඩ. reverse parking, 3 point turn වගේ එක එක ඒවා. ඕව ඔක්කොම පුරුදු වෙන්ඩ ඕනෙ. හැබැයි ටෙස්ට් එකේදී කරන්ඩ වෙන්නේ එකයි. ඒක මොකද්ද කියල ඒ වෙලාවට තමයි කියන්නේ. කොහොමහරි ඉතින් මමත් ටෙස්ට් එකට කලින් ඕව ටිකක් පුරුදු උනා ලර්නර්ස් එකකට ගිහින්. ඔය ඔක්කොම ජාතියේ වාහන හැසිරවීම් පුරුදු උනත්, එකක් පුරුදු වෙන්ඩ වෙලාව මදි උනා. දැන් ඉතින් හිතගත්තහැකි නෙ? ටෙස්ට් එකේදී ඇහුවේ ඒ පුරුදු නොවිච්ච එක කරල පෙන්නන්ඩ කියල තමයි. කාල වරෙන්කො. කොහොමහරි ඉතින් ලංකාවේ කරල පුරුදු විදිහට කොරල පෙන්නුව. ටෙස්ට් ඒක ෆේල් !!! කාට කියන්නද මේ දුක.
මගෙන් පස්සෙ වැඩියෙන්ම කෙල වෙන එවුන් මම හිතන්නෙ මගේ අවුරුද්දෙම ඉපදිච්ච එවුන්. (දැන් ඒකට හේතු ගලපන්ට එහෙම ලෑස්ති වෙන්ඩ එපා හොඳේ?). අපිට එරෙහිව සොබාදහම විතරක් නෙවෙයි, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කුමන්ත්‍රණයක් තියෙනව කියල අපිට ඒ කාලෙම හිතිලා තිබුනේ. බොරු නෙමේ. අපි O/L කරපු අවුරුද්දෙ තමයි පළවෙනියට අර සයන්ස් පේපර් එකයි, මැත්ස් පේපර් එකයි දෙකට කඩල ප්‍රශ්න පත්තර 4 කලේ. දැන් ඕකට ඉතින් කට්ටිය එක එක කතා කියනව. "මැත්ස් වන් එකයි, සයන්ස් වන් එකයි පාස් උනාම ඇතිලු ආට් කරන්න"
" පේපර් 4ම පාස් උනේ නැත්තන් A/L කරන්න දෙන්නේ නෑලු........"
"සයන්ස් I එකයි, මැත්ස් I ලේසි කරල සයන්ස් II එකයි මැත්ස් II පේපර්ස් පට්ට අමාරු කරනවලු......"
"පේපර් I එකත් එච්චර ලේසි නෑලු, කලින්ට වැඩිය අමාරු ලු....."
"කොන්දොස්තර කෙනෙක් වෙන්ඩත් සයන්ස් I එකයි මැත්ස් I එකයි පාස් වෙලා ඉන්ඩ ඕනෙලු....."
ඔය වගේ කතා කෝටියයි. අපිත් ඉතින් ඉරාගෙන පාඩං කරල ගිහින් ලිව්ව. එහෙම විභාගේ තිබ්බේ ඒ අවුරුද්දේ විතරයි මම හිතන්නෙ. ඊට පස්සෙ ආව A/L කරන්ඩ. මෙන්න යකෝ ඒපාර අගෝස්තු තිබ්බ විභාගේ අප්‍රේල් වලට ගේනවලු!! ඔය කාලෙත් අර වගේ තමයි. ඒ පාර ඉස්කෝලෙ ගුරුවරුයි ටියුෂන් ගුරුවරුයි එක එක කතා කියනව.
"අනේ මේ පාන් ගෙඩියක් ගන්ඩ කඩයක් ඇරල නෑ ඔය අවුරුදු දවස් වල, මොන විභාගද? ඒක නිසා බය වෙන්ඩ එපා. ඕක වෙන්නෙ නෑ. අපි කලින් අවුරුදු වල විදිහට සිලබස් එක කවර් කරමු ......"
"ළමයි ඕගොල්ලොන්ට ලැස්ති වෙන්ඩ තියෙන කාලේ අඩුයි. ඒ නිසා අපි මේ පන්තියේ සිලබස් එක අග ඉඳන් මුලට කරමු. ඉස්කෝලේ මුල ඉඳන් අගට කරනවනෙ."
"අපිට මුළු සිලබස් එකම කවර් කරන්ඩ වෙලාවක් නෑ. මම විභාගෙට එයි කියල හිතෙන පාඩං ටික විතරක් උගන්නනව!..."
අපිත් ඉතින් ඕ.පු කියල එක සබ්ජෙක්ට් එකට ක්ලාස් දෙක තුන බඩ ගාල සිලබස් කවර් කරගෙන යන්තන් විභාගෙ ලිව්ව.
දැන් ආයෙම විභාගෙ තියෙන්නෙ අගෝස්තු වල!!!
ඉතින් ඔන්න ඔහොම හැලහැප්පිලි මැද්දෙ ඇවිත් අපි A/L ලිව්ව. අන්තිම දවසෙ පේපර් එක ලියල ඉවර වෙලා කට්ටිය කොහේ හරි යන්ඩ කතා වෙනව. විභාගෙ ඉවර වීම සමරන්ඩ වෙනම දවසක් දාගෙන තිබ්බ නිසා එදා හවසට මුකුත් වැඩසටහනක් තිබ්බෙ නෑ. ඔය අස්සේ එකෙක් කිව්ව ඌ අඳුරන කෙල්ලෙක් කිව්ව කියල උන් ටික විභාගෙ ඉවර වෙලා ගෝල් ෆේස් යනවා කියල. ඌ කියල කට ගන්ඩ කලින් අපේ අය්යල බස් එකේ නැගල ඉවරයි. ඔන්න ඉතින් අපිත් ගෝල් ෆේස් ගිහින් පුෂ්ප නෙලල, මධු හලල ආයෙ පිටකොටුවට එන්ඩ බස් එකක් එනකන් ඉන්නව. මම හිතන්නෙ ඒ දවස් වල රුපියල් 4 ක විතර ටිකට් එක. ඔය ඉන්න අතරෙ එකෙක් ගෙනාව යෝජනාවක් හොරෙන් බස් එකේ යමු කියල. අපි 10 විතර හිටිය. කට්ටියම හොරෙන් යනව කියන්නෙ බොරු. එත් ඉතින් අපේ එවුන් විභාගෙ ඉවර වෙච්ච ආතල් එකේ හිටපු නිසා කොහොමහරි කරමු කියල වැඩේට බැස්ස. ටිකකින් ආව C.T.B. බස් එකක්. කට කපල සෙනග. අපි කට්ටියම නැග්ග. මගේ ඔය අදින්නාදානය කොහොමටත් නෑ. ඉතින් මම කලින්ම උන්ට කිව්ව මම නං ටිකට් ගන්නව කියල. ඉතින් කිව්ව වගේම මම පිටකොටුවට ටිකට් ගත්ත. අනිත් එවුන් දැන් තැන් තැන් වල හැංගිලා යනව. කොහොමහරි බස් එක පිට කොටුවට ඇවිත් නැවැත්තුව. අපි කට්ටිය බහින්ඩ සෙට් උනා විතරයි මෙන්න බොලේ දොරවල් දෙකෙන් දෙන්න ගානේ 4 දෙනෙක් 'බාප්පල' නැග්ග "කවුරුත් බහින්ඩ එපා, ටිකට් අරගන්ඩ එලියට" කියාගෙන. ඔය මම ගියපු බස් එකකට ටික්කො පැන්නමයි.
මල කෙලියයි. අපේ සෙට් එකේ හිටපු සමහර 'මීටර්' ළමයි ඔය ටිකට් නැතුව බස් එකේ ගියාමලු! මම ටිකට් අරගෙන තියෙද්දිත් බාප්පල නැග්ගේ කාගේ කරුමෙටද මන්ද! දැන් ඉතින් මොනවා කරන්නද. කට්ටියම මාට්ටු. අනික් මිනිස්සු බැහැල ගියා. දැන් අපිව පෝලිමට බස් එකෙන් බැස්සුව. ඔන්න ඉතින් අර 4 දෙනාගෙන් එක්කෙන් මගෙ ගාවට ඇවිත් ඇහුව "පුතාල මොන ඉස්කෝලෙද ?" කියල. කරුමෙට අපේ ඉස්කෝලෙ ඊට ටික කාලෙකට කලින් ෂර්ට් එකේ ගහගන්ඩ බැජ් එකක් අදුන්නල දීල තිබ්බ. ඉස්කෝලෙ අවුරුදු සීයකටත් වැඩි ඉතිහාසෙ ප්‍රයිමරි එකෙන් උඩ එවුන්ට බැජ් එකක් අඳුන්නල දුන්න පලවෙනි සැරේ මම හිතන්නෙ. පොර ඕක ඇහුවේ මගෙ ෂර්ට් එකේ බැජ් එක දිහා බලාගෙන. ඇයි දෙයිහාමුදුරුවනේ මේවා අපිටම වෙන්නෙ? මම ඉතින් මුකුත් නොකිය දන්න හොඳම හිනාව දැම්ම.
"පුතාල මරිය කඩේ ඉස්කෝලෙ නේද?"
දැන් මොකෝ නෑ කියන්ඩ යැ? අනික මිනිස්සුත් වට වෙලා බලාගෙන ඉන්නව. අපි ඔක්කොම ඉස්කෝලෙ කිට පිටින්. මම ටිකට් අරගෙනත් යාලු ෆිට් එකට අරුන් එක්කම ඉන්නව. මම ආයෙම කලින් ගොන් හිනාවම දැම්ම.
"හ්ම්ම්... කමක් නෑ, දඩේ ගෙවන්ඩ ඕනෙ නෑ, කට්ටියම ටිකට් එකේ ගාන විතරක් ගෙවල යන්ඩ. කොලු කාලෙ ඔහොම දෙයක් කලේ නැත්තන් ගතියක් නෑනේ. "
අපේ එවුන් ඒ අන්කල් ට වැන්දේ නැති ටික විතරයි.
හැබැයි ඉතින් ඒ වෙනකොට අපිව නිකන් ෂෝ කේස් එකේ දැම්ම වගේ පිටකොටුව මැද්දෙ චාටර් වෙලා ඉවරයි.
ඔන්න ඔහොමයි ඉතින් අපි වැඩක් කලොත්....
ප/ලි : කෙලවිම ගැන ලස්සන ෆිල්ම් එකක තියෙනව "Just My Luck" කියල. බලල නැති කට්ටිය හොයාගෙන බලන්ට. මම හිතන්නෙ මටත් මගෙ ලක් එක වෙනස් කරගන්ඩ ඔය ෆිල්ම් එකේ ඉන්න Lindsay Lohan වගේ එක්කෙනෙක් හොයාගන්ඩ වෙයි වගේ.
167. ප්‍රසංගයක් ද මේ ජිවිතය?
3 weeks ago