මගේ කවදත් ආසාව තිබ්බේ වීර වික්‍රමාන්විත, ත්‍රාසජනක කතා තියෙන පොත් වලට. ටාසන් කතා මාලාවට මම දැඩිව ඇලුම් කලේ එකයි කියල හිතෙනව. Treasure Island , king solomon's mine's, Around the world in 80 days , Twenty thousand leagues under the sea වගේ කතා බොහොම අසාවෙන් කියෙව්ව. ඕව ඔක්කොගෙම පරිවර්තන කියෙව්වෙ. සමහර ඒව සඟරා වල කොටස් වශයෙන් ඒ දවස් වල ගියා. මුලින්ම ඉංග්‍රීසි පොතක් මුල ඉඳන් අගට කියෙව්වෙ A tale of two cities එකේ සංක්ෂිප්ත මුද්‍රණය. ඉංගිරිසියෙන් කතා කියවන්න පෙළඹුනේ ඉස්කෝලේ මගේ එහා පැත්තෙ හිටපු එකා ලොකු ලොකු කඩු පොත් ගෙනත් පන්තියේ කියවන්න ගත්තම. මම කොහොමද ඌට සෙකන්ඩ් වෙන්නෙ? මට හොඳට මතකයි පොත් ප්‍රදර්ශනයකින් තාත්තත් එක්ක ගිහින් ගත්ත තරමක් ලොකු ඉංග්‍රීසි නවල් එකක්. ගෙදර ගෙනත් මලලසේකර ඩික්ෂනරියත් ළඟ තියන් දුන්න ඇට්ටි හැලෙන්න. පොතට වඩා බැලුවෙ ඩික්ෂනරිය. ඒක මට මතක විදිහට Sin Bin කියල ටීන් නවල් එකක්. එක ඉවර වෙනකන් කියෙව්වෙ නෑ. ඔන්න ඊට පස්සෙ ඉන්ග්ලිෂ් ටීන් නවල්ස් කියවන්න උණක් ආව. ඇත්තටම කිව්වොත් අපේ පංතියේ ගොඩක් එවුන්ට Hardy Boys උණ හැදුන. ඔකේ තියෙන්නේ Hardy කියන වාසගම තියෙන ඇමරිකාවේ නව යොවුන් වියේ ඉන්න අයිය මලෝ දෙන්නෙකුගෙ රජ වැඩ කිඩ. මම හිතන්නෙ අපි එතකොට අට වසරෙ විතර ඇති. Hardy Boys එකේ සිරිස් දෙකක් තිබ්බ. Adventure සිරිස් එකයි. Case Files සිරිස් එකයි. ඔය දෙකේ වෙන වෙනම නොම්මර දාල පොත් තිබ්බෙ. ඉතින් අපි පන්තියට ඇවිත් පම්පෝරි ගහනවා මම අහවල් නම්බර් එක වෙනකන් ඔක්කොම පොත් කියවල ඉවරයි කියල. මට මතක විදිහට Nancy Drew එහෙමත් එහෙන් මෙහෙන් කියෙව්ව. හැබැයි ප්‍රසිද්දියේ නෙවෙයි. මොකද ඒකත් Hardy Boys වගේ එකක්. හැබැයි කතා නායිකාව කෙල්ලෙක්. ඉතින් ඒක කෙල්ලොන්ට තියෙන පොතක්. තාම ළමයි මේ පොත් කියවනවද දන්නෑ.
ඕකත් එක්ක සමගාමීව තිබ්බ අනික් උණ තමා විද්‍යා ප්‍රබන්ධ සහ රහස් පරීක්ෂක කතා කියවිල්ල. රහස් පරීක්ෂක කතා කිව්වොත් ඉතින් ෂර්ලොක් හෝම්ස් ට ගහන්න පුළුවන් ජගතෙක් මට තාම හම්බෙලා නෑ ( අගතා ක්‍රිස්ටිගේ කතා වල මට සර් ආතර් කොනන් ඩොයිල් ගේ තරං ගතියක් නෑ). විද්‍යා ප්‍රබන්ධ වැඩි හරියක් කියෙව්වෙ ආතර් සි ක්ලාක් මහත්මයගේ පොත් තමයි. මොන හේතුවක් නිසාද මන්ද මට රුසියන් සාහිත්‍ය අල්ලල ගියෙ නෑ. ඒකෙ තිබ්බෙ ත්‍රාසය, වීර කමට වඩා ගැඹුරින් මිනිස් චර්යාවන් විනිවිද දැකපු පොත් නිසාද දන්නෑ. මම ගෝර්කි, ටෝල්ස්ටෝයි, ෆ්‍රාන්ස් කෆ්කා (ජර්මානු) වගේ අයගේ කතා කියෙව්වත් කවදාවත් මට අමතක නොවෙන කතා පොත් වලට ඒව ගන්න බෑ. ක්ලැසික් නවල්ස් වලින් මට අමතකම නොවන එක ඇලෙක්සැන්ඩර් ඩුමා ගේ Three Musketeers. සමහර සීන් වලට හිනා වෙලා ඉල ඇදෙනව. ඩුමා ගැන අහල නැති කෙනෙක් ඉන්නව නං, ඔහු තමයි මොන්ත ක්රිස්තෝ සිටුවරයා, යවෙස් ලු මිනිසා වැනි කතා පොත් වල කතුවරය.
මට එතෙක් මෙතෙක් හමු උණ අපේ කාලයේ කතුවරුන් අතරින් මම කැමතිම කතුවරය මට හම්බ උනේ උසස් පෙළ කරන කාලෙදි. ඒ මම කලින් ලිපියකත් කියපු මයිකල් ක්‍රයිටන්. ඔහුගෙ පොත් වල විශේෂත්වයක් වෙන්නෙ කතාවට අමතරව මොනවහරි විෂයක් ගැන සැහෙන්ඩ ඉගෙන ගන්න හම්බවෙන එක. ඔහුගෙ කතා ගැන මෙහෙම කියන්න බෑ. ඒකට දවසක වෙනම පොස්ට් එකක් ලියනව. උසස්පෙළ කාලෙ වෙද්දී ඇත්තටම පොත් කියවන්න වෙලාවක් තිබ්බෙ නෑ. මගේ ජීවිතේ පලවෙනි සහ අන්තිම වතාවට සුකුරුත්තන් ආදර කතා පොතක් කියෙව්වෙ උසස් පෙළ කරන කාලෙදි. ඒ දිනේෂ් කොළඹගේ ලියපු 'සුළඟ වගේ ඇවිදින්' පොත. ඒ දවස් වල හිතට සමීප සබ්ජෙක්ට් එකක් ගැන ලියවිලා තිබ්බ නිසාත්, පොත ලියවිලා තිබ්බ පරිසරය සහ ඒකෙ තිබ්බ අත්දැකීම් අපි ඒකාලේ බොහොමයක් අත් විඳපු සහ අත් විඳිමින් හිටපු අත්දැකීම් නිසාත්, බොරු බොළඳ කවි වලින් පොත පිරිල තිබ්බෙ නැති නිසාත් ඒ කතාව අල්ලල ගියා. ලඟදි මට ඒ පොතේ pdf එකක් හම්බ උනාම අයෙම අතීතෙට ගියා වගේ උනා.
උසස්පෙළින් පස්සෙ කතා පොත් කියවන එක සැහෙන්ඩ අඩු උනා. ඊට පස්සෙ වැඩි හරියක් කියෙව්වෙ කළමනාකරණය හා සම්බන්ධ වෙච්ච පොත්. In search of excellence, Good to great, Built to last ඒ අතරින් විශේෂයි. තව ව්‍යාපාරික ලෝකයේ නමක් දිනාගත්තු සුවිශේෂී පුද්ගලයොන්ගෙ ජීවිත කතා කියවන්ඩත් ගත්ත. Virgin සමාගම් වල අයිතිකරු වන Sir Richard Branson ගෙ ජීවිත කතාව තමයි මගේ ප්‍රියතම කතාව. ඔහුගෙ පොතේ නම 'Losing my virginity'. ව්‍යාපාරික කන්‍යාභාවය නැති කරගනිමින්, 'කන්‍යාව' නමින් නම් කරපු තමන්ගෙ ව්‍යාපාරය ජාතන්තර මට්ටමට ගෙනියන හැටි ඒකෙ අපුරුවට විස්තර වෙනව. මම හිතන්නෙ ඔබට හෝ මට ඔහුට තරං ජීවිතයෙ කරදර වලට මුහුණ දෙන්න උනා නං, අපි සටන අත හැරලා ගොඩක් කල්. නමුත් තමන්ට එන බාධක ඉදිරියේ නොසැලී ඉස්සරහට යන්න ඔහුට තිබ්බ ධහිර්ය හිතාගන්න බැරි තරම්. ගොඩක් වෙලාවට ඔය වගේ ස්වයං චරිතාපදාන වල තියෙන්නෙ 'මම පොර' ජාතකේ. හැබැයි Sir Branson ගෙ පොතේ ඔහුට වැරදුනු තැන් පවා ඔහු කිසිම පැකිලීමක් නැතිව විස්තර කරනව. පොත් ගැන කියද්දි, කියවන්ඩ ආසාවක් ඇති කරවපු දෙමව්පියන් සිහිපත් නොකර බෑ. ඉන්ටර්නෙට් තිබ්බෙ නැති අපි පොඩි කාලෙ, මට ඉන්ටර්නෙට් එක උනේ, නොවරදවා ගෙදරට ගෙනාපු මුතුහර, සිව්දෙස, සමුදුර වගේ සඟරා. රිඩර්ස් ඩයිජස්ට් කියවන්න තරං පුළුවන් කමක් නොතිබ්බ ඒ කාලෙ, එවයේ පරිවර්තන කියෙව්වෙ මුතුහර වගේ සඟරා වලින් තමයි.
අතීතේ ඉඳන් කියවපු පොත් පත් මතක් වෙද්දි ආයෙම අතීතෙට ගියා වගේ. තාමත් ඉස්සර කියවපු පොතක් දැක්කම හරියට පරණ යාලුවෙක් හම්බුනා වගේ හැගීමක් තමා දැනෙන්නෙ.
Image: http://usedbooksblog.com/blog/category/book-statistics/
පොත් කියවන එක හරිම නිදහස් විනෝදාංශයක්. ඒත් බොහෝදෙනා සාපෙ/උපෙ ලියනකොට පොත්වලින් ඈත්වෙලා ආයෙත් පොත් කියවන්න එන්නෙ අඩුවෙන්.
ReplyDeleteබොළඳ ආදර කතා (ආරච්චි ලියන) ඒවාට වඩා හරයක් විදෙස් පොත්වල තියෙනවා. අපේඅය කරන්නෙ ලොකුහීන ලෝකයක් මවලා ඒවායේ පාඨකයා අතරමංකිරීමක්. මාර්ටින් වික්‍රමසිංහ ගත්තත් වෙන කාගෙ පොතක් ගත්තත් ඒ ප්‍රායෝගිකත්වයෙන් ඈතට ගිය ගතිය තියෙනවා බොහෝ සිදුවීම් වලදි.
පොත් ......!!!!! කියන්න දේවල් ගොඩක් ඇත . පටන් ගත්තොත් මන් අද හිතා හිටි වැඩ සේරම අඩාල වන බැවින් පස්සේ වෙලාවක් එමි. එකක් කිව යුතුය . රුසියන් පොත් වලට නම් මන් පුදුම ආදරේය. පොස්ට් දෙකක්ම කියා මාගල් දිගට කමෙන්ටුද ලැබී ඉන්න නිසා දැන් මුකුත් නොකියමි .
ReplyDelete@ රොෂාන් ..
මාර්ටින් වික්‍රමසිංහ ගේ පොත් ප්‍රායෝගික බැවින් ඔබ්බට ගිහින් නැහැ නේද . මට නම් අදටත් ඔහුගේ පොත් වල මොකක්ද ජිවන දර්ශනයක් දකින්න පුළුවන්. නන්දල ...පියල්ල ...අරවින්දලා බොහොම මට හමුව වෙලා තියන නිසාද මන්ද එහෙම හිතෙන්නේ .
පරිවර්තන වලට තමයි මමත් වැඩිය කැමති . මොකද අපට නුහුරු පරිසරයන් ..අලුත් දේවල් අතපත ගාන්න තියන ආසාවට වෙන්න ඇති. ඒ වගේම දේශීය ලේඛකයෝ ගොඩකුත් ඉන්නවා මන් කැමති. එක්කෝ ,මන් පස්සේ එන්නම් ආයේ
Nancy Drew කතා සීරීස් එකත් සෑහෙන ආසාවෙන් කියවපු පොත් ටිකක්. මතකය අලුත් උනා මේ පෝස්ට් එක කියවලා.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteරොෂාන් - දැන් තියෙන තොරොම්බල් ආදර කතා පොත් වලයි, හින්දි මෙගා ටෙලි නාට්‍ය වලයි වෙනසක් නෑ. මම ඒ පොත් කියවල නෑ. නමුත් ප්‍රචාරණ කටයුතු වලදී යොදා ගන්න පොතේ උපුටා ගැනීම් දැක්කම ඇති පොත ගැන හිතාගන්න. හැබැයි වික්‍රමසිංහයන් නම් බොහොම ප්‍රයෝගික භාවයකින් ලිව්ව කියල මට හිතෙන්නෙ. උදාහරණයකට, ගම් පෙරලිය කතාව ඔහු පෙන්වා දීපු රදල පැලැන්තියේ බිඳ වැටීම හා සාමාන්‍ය පැලැන්තියේ පවුල් වල දියුණුව මම හිතන්නෙ අපි ප්‍රයෝගිකව අත් දැකපු දෙයක්. වික්‍රමසිංහයන් ඒක කල් තියාම දැක්ක. මඩොල් දුවේ කතාව උනත් ඔහු වටා තිබ්බ දේවල්. අත්දැකීම් උපයෝගී කරගෙන ප්‍රයෝගිකව ලිව්ව කියල මම පෞද්ගලිකව හිතන්නෙ.
ReplyDeleteBindi - බින්දි ඔහොම කියයි කියල මට හිතුන. :D රුසියන් කතා ගැන පොස්ට් මම දැක්කනෙ. බුරා හිටියනං තව ටිකක් අහගන්න තිබුන. හැබැයි මොන හේතුවක් නිසාද මන්ද මට රුසියන් කතා ඇල්ලුවෙ නෑ. ඒවායේ ශයිලිය වෙන්න ඇති. ලෝකය දකින්න, දේශාටනය කරන්න උනන්දුව පොඩි කාලේ ඉඳන් තිබ්බ නිසා, ලෝකේ වෙනත් රටවල්, සංස්කෘතීන් ගැන දැනගත්තෙ පරිවර්තන පොත් වලින්. සමහරවිට රුසියන් පොත් වල තිබ්බ කතා බර සාර වැඩි උන නිසාද මන්ද.
ReplyDeleteපිණිබිඳු - Nancy Drew ? ඒ මොකද්ද? මම නං එහෙම පොතක් කියවල නෑ! :D :D
ReplyDeleteCry Freedom හොඳ පොතක්, පස්සෙ චිත්‍රපටයක් හැටියටත් ආව, සමහර පොත් චිත්‍රපට වලට ගැහුවම එච්චර හොඳ නැති වුනත් මේක එහෙම නැහැ.
ReplyDeleteobserver - ඔව්, වෙලාවක ඒක බාල බලන්න ඕනෙ. පොත හොයන් කියවන්න හිටියට එහෙම හිටියොත් කාලාන්තරයක් යයි වගේ මේ වැඩත් එක්ක. පොත් ෆිල්ම් කරන එක ගැන කියපු කතාව නං සහතික ඇත්ත. ෆිල්ම් බොහොම ටිකයි, පොතේ කතාව ඒ විදිහටම ප්‍රේක්ෂකයාට ගෙනියන්නෙ.
ReplyDeleteතුන් යහලු වික්‍රමය, බස්තියන්ගේ සොහොන, කල්ලන්දුවේ මුතු කොල්ලය, සෝමපුර වීරයෝ
ReplyDeleteඔය සෙට් එකනම් මමත් පට්ට ගැහුවා....
තව ඔය පැහරෙගෙන ගිහින් කප්පම් ගන්න ( නෙල්ලි කැලේ වීරයෝ... හපනා ) ලුණු ලේවයන්ට උස්සන් යන සීන් තියෙන පොත් සෙට් එකක්ම කියෙව්වා....
ඊට පස්සෙ ටාසන් සෙට් එක.. කොනෑන්... ශර්ලොක් හෝල්ම්ස්... ඔය සෙට් ටික තමා...
සුලග වගේ ඇවිදින් මගේ ඕල් ටයිම් ෆේවරිට්.
ඒ ඇරුනම හුඟක් ස්කෝලෙ කාලේ ලව් ස්ටෝරෙස් වලට මම පට්ට ආසයි.
අතට අහුවෙන කියවන්න හිතෙන පොත් ඕනි එකක් මටනම්...
සුජීව අයිය උනත් අවුලක් නෑ...
පිස්සා පලාමල්ල - මමත් නෙල්ලි කැලේ වීරයෝ සහ හපනා කියවල තියෙනව. කරවල වාඩි වල වැඩ කරන කතා කිව්වම මතක් උනේ පාලු දූපත. කතාව වගේම ඉගෙන ගන්නත් ගොඩක් දේවල් ඒ පොතේ තිබ්බ.
ReplyDeleteරුසියන් පොත් වලට ආදරේ වුනේ ඒ කාලේ අනුව වෙන්න ඇති. සෝවියට් දේශය බිඳවැටිලා අපේ රටේ කට්ටියගේ විප්ලවත් අසාර්ථක වුනාට පස්සේ යුගයේ ඔව්ව කියවන්න ගත්ත අයට ඒ ලස්සන දැනෙන්නේ ඇතුව ඇති . ඒක පුදුමයක් නෙමේ . කොයිදේත් කාලෙට සාපෙක්ෂයිනේ . හැබැටම බුරා ඉගිල්ලෙනවා කිව්වට අන්තර්ජාලය හෙම නැති පාලු දුපතකටද ගියේ කියල සැකයි.
ReplyDeleteදැන් තියන ආදර කතා කියවන්නේ නැත්තේ එකක් අමාරුවෙන් හොයන් කියවන්න තරම් වටින්නේ නැති නිසා . ලංකාවේ ඉඳල ඔය අතට අහුවෙන හරියේ තිබ්බ නම් නිකන් දෙනවා නම් හෙම්බිරිස්සාව වුනත් ගන්න නිසා කියවන්නත් ඉඩ තිබ්බා . හැබැයි ඔය ආදරේ පටන් ගත්තු ගමන් පොඩි එව්වෝ ඕව කියවල අඟුණ කොලයි බතුයි කන්න හිතන් පැනල යන්න ..එහෙම නැත්තම් එයා නොලැබුනත් එයාගෙන් දරුවෙක් හරි හදා ගන්න ඇත්නම් වගේ ඔලමොට්ටල වැඩ කරන්න ගත්තොත් විනාශයි.
කරුණාසේන ජයලත් එක්ක අහලින් වත් තියන්න බැහැ ඔය ආරච්චිල
පොත් කියවන්න නම් හිත නිදහස් වෙන්නම ඕන ඒත් මමට ඉස්සර තරම් දැන් නිදහසක් නෑ දවස් හතේම වැඩට යන මට දැන් පොතක් දැක කාලයක් මතක නෑ
ReplyDeleteමමත් ඉතින් උපතින්ම ආස ආතර් මහත්තයාගේ රහස් පරීක්ෂක කතා වලට තමා . ඇයි එයා ලීව අනික් පොත් කීපයටූ මම ලයික් ..
දැන් වැඩියම කියවන්නේ බ්ලොග් පොත් මගෙන් ඈත් වෙලා ගිහින්
Bindi - මමත් හිතන්නෙ ඒක වෙන්නැති. රුසියාව, කෑලි කෑලි වලට කැඩිලා, සීතල යුද්දෙන් පරාද වෙලා, බර්ලින් තාප්පෙත් කැඩිලා තිබ්බ කාලෙක, ඔය පොත් වල කලින් තිබ්බ රොමැන්ටික් ගතිය නැතුව යන්නැති. අපොයි ඔව්. පොඩි එව්වෝ ඕව කියවල හැබෑ ජීවිතෙත් ඒව බලාපොරොත්තු උනාම තමා ලෙඩේ. අපි පොඩි කාලේ කට ඇරන් හින්දි ෆිල්ම් බලපු හැටි මතක් උනා! :)
ReplyDeleteසඳරු - ඇත්ත. හිතේ නිදහසක් නැතිව පොත් කියවන්න බෑ. වැඩ කොච්චර තිබ්බත් මම තාම කොහොම කොහොම හරි අහුවෙන වෙලාවට ටික ටික කියවල පොත් ඉවර කරනව. හොඳ පොතක් අහු උනාම කියවන්න වෙලාව ලැබෙනවා ඉබේටම.
ReplyDeleteමම මුලිනම කියවපු පොත කල්ලන්දුවේ මුතුකොල්ලය 3 වසරෙදිද කොහෙද . එතන ඉඳන් අද වෙනකම් ඔය උඩ තියෙන පොත් වලින් ගොඩක් කියවල තියනව.
ReplyDeleteමාත් ඉතින් අතට අහුවෙන ඕන පොතක් කියවනව.
නිශ් - අපි ගොඩක් දෙනෙකුට වීර කතා පොත් වල රහ වැටෙන්නෙ කුලසේන ෆොන්සේකා මහත්මයගෙ ඔය පොත් තුනෙන් තමයි.
ReplyDeleteසිරිල් සී පෙරේරා පරිවර්තනය කරපු මේ පොත් දෙක කියවල තියෙනවද ? ශේන් සහ නීලෝදකය. මේ දෙක පොඩි කාලෙ ඉදන් ආසාවෙන් කියවපු පොත් දෙකක්. ශේන් ගෙ තියෙන්නෙ ශේන් කියල වෙඩික්කාර්යෙක් ගැන කතාවක්, නීලෝදකයෙ තියෙන්නෙ සහෝදරයො තුන් දෙනෙක් ගෙ කතාවක්. තව පොතක් තමයි මර්ටින් වික්‍රමසින්හගෙ රෝහිනී. රුසියන් පොත් ගැන කියන කොට අමතක කරන්න බැරි නමක් තමයි දැදිගම වී රුද්‍රිගු. සුජීව ගැන කියන කොට මතක් උනේ, අපේ පන්තියේ කොල්ලෙක් හිටියා, ඌට වෙච්ච ලව් සීන් හින්ද දාල තිබ්බ නම කදුලේ නවකතාකරු. :)
ReplyDeleteමං ආසාවෙන්ම කියෙව්ව ඉංගිරීසි පොත් තමයි Jack Higgins සහ Fredrick Forsyth ගේ පොත්
ReplyDeleteමේ සැරේ පොත් ප්‍රදර්ශනෙන් ගත්තෙ අරුණ පත්තිණිගේ ගෙ "ශ්‍රෝණි මේකලා" තාම කියවනව. අමුතුයි, වෙනස්, සාම්බාරු හොද්දකට අහම්බෙන් වැඩිච්ච මස් කුටියක් වගේ. ඇදල වික වික ඉන පුළුවන්.
ReplyDeleteකියාපු පරණ පොත් සෙට් එකෙන් බස්තියන්ගේ සොහොන, තුන්යහළු වික්‍රමය පොත් පොඩිකාලෙ ආසාවෙන් කියෙව්ව කියල මතකයි [කතාව නම් මතක නෑ] ඊටපස්සෙ දිනේෂ් කොළඹගේ ගෙ "සුළඟ වගේ ඇවිදින්" ඒ කාලෙ අපි අරුණි අක්කලත් හෙව්වා. පස්සෙ කියවපු සන්නස්ගලගෙ "ආදරණීය වස්සානය" ත් ටිකක් ඒ වගේ කියල හිතුන.
ගුණේ - මට මතක විදිහට මම නීලොදකය කියවල තියෙනව. සිරිල් සි පෙරේරා පරිවර්තනත් කරා නේද?
ReplyDeleteකතන්දර - මම කියවල නෑ. හොයාගෙන කියවන්ඩ ඕනේ.
ReplyDeleteනවම් - දීල තියෙන උපමාව දැක්කම පොත අරන් බලන්නමයි හිතෙන්නෙ. ඒක 'වස්සාන සිහිනය' නේද? මම ඒක කියෙව්වෙ නෑ. ටිකක් බොළඳ වැඩියි වගේ හිතුන.
ReplyDelete