Wednesday 11 April 2012

ඔරිජිනල් සහ ඩුප්ලිකේට් (18+ පොඩිහිටියන්ට තහනම්!)

මතකද ලම්බාඩා??  එක පාරක් අහපු කෙනෙකුට ආයෙ අමතක වෙන්නෙ නැති සින්දුවක්. කියන්නෙ මොනවද කියල මෙලෝ සංසාරයක් තේරුනේ නැති උනත් ඉබේ නැටවෙන සින්දුවක්. කාලයක් ලංකාවෙ, ගෙයක්, දොරක්, ගහක්, ගලක්, ත්‍රිවිල් එකක්, බස් එකක් ගානෙ ප්ලේ වෙච්ච සින්දුවක්. තාමත් ඇහෙද්දි හිත අතීතෙට අරන් යන සින්දුවක්.  ඕක නැගල ගියාම අපේ කට්ටිය ගැහුව ඕක කොපි කරල සින්දුවක්. මේ තියෙන්නෙ ඒ ඩුප්ලිකේට් එක.
 අපි කව්රුත් අහල තියෙන ඔරිජිනල් එක Kaoma කියන ගායක කණ්ඩායම ගායනා කරන Lambada. සින්දුව. මේ සින්දුව ගැයෙන්නේ පෘතුගීසි භාෂාවෙන් උනත්, Kaoma සංගීත කණ්ඩායම කියන්නෙ ප්‍රංශ ජාතික කණ්ඩායමක්. ඔවුන්ගෙන් සමහරු කලින් Toure Kunda කියල සෙනගාල සංගීත කණ්ඩායමක හිටපු අය. ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙක්, බ්‍රසීලයට ගියපු වෙලාවක, ඔහු හිටපු ප්‍රදේශයේ මිනිස්සු බොලිවියානු සංගීතයකට නටන Lambada කියන නර්තනය දැකල, ඔහු නැවතත් ප්‍රංශයට ආවම කරන්නෙ Kaoma කියන සංගීත කණ්ඩායම ආරම්භ කරනව මේ සංගීතය ප්‍රසිද්ධ කරන්න. ඔවුන් 1989 නිකුත් කරන Lambada සින්දුව ඉතාම ජනප්‍රිය වෙනව.   ඒ නිකුත් කරපු පලවෙනි ගීතය සහ වීඩියෝ එක තමා මේ. (පොඩි එවුන් ඇස් වහගනිල්ලා.. )
(හා දැන් ඇරපල්ලා) නැටවෙන සංගීතය වගේම, දකුණු ඇමෙරිකානු නර්තන වලට උරුම උන ශෘංගාරය කැටි කරගත් Lambada නැටුමත් මේ ගීතයේ ජනප්‍රියත්වයට දායක උනා. Lambada නැටුමට ආභාෂය ලැබිල තියෙන්නෙ තවත් ලතින් නර්තන වෙන salsa, merengue සහ carimbo වගේ නර්තනයන්ගෙන්.ඕක ඇවිල්ල ටික කාලෙකින් රාවයක් ගියා මේ සින්දුව තහනම් කලාය කියල. ඒකට හේතුව කිව්වෙ ඔය වීඩියෝ එක. දැන් නම් බැලුවට මහලොකු දෙයක් නැති උනත් ඒකාලේ ඔව්ව මැජික් නිසා ගොඩක් අය හිතුවෙ ඒක තමා හේතුව කියල. ඇත්තටම මේ සින්දුව තහනම් උනා. නමුත් ඒ ඔය වීඩියෝ එක නිසා නෙවේ. ඒකට හේතුව මට ලඟදි හම්බුනා. ඒ මෙන්න මේක,
මේ බොලිවියානු සංගීත කණ්ඩායමක් වන Los Kjarkas ගායනා කරන Llorendo se fue ගීතය. මේක තමයි lambada සින්දුවෙ ඔරිජිනල් එක. හැබැයි මේකත් ඔරිම ඔරිජිනල් එක නෙවේ මම හිතන්නෙ. මොකද මේකත් ඔවුන් හදල තියෙන්නෙ, බොලිවියානු ජන සංගීතයක තනුවක් යොදාගෙන. මේ ගීතය lambada විදිහට ගායනා කරන්න ගන්නකොට මේ සංගීත කණ්ඩායමෙන් හෝ මේ ගීතය ලියපු කෙනාගෙන් කිසිම අවසරයක් නැතුව තමා Kaoma ගායක කණ්ඩායම ඒක අරගෙන තියෙන්නෙ. ඒක නිසා lambada ගීතයට විරුද්ධව  Los Kjarkas නඩු මගට බහිනව. ඒකෙ ප්‍රතිපලයක් විදිහට තමා lambada සින්දුව තහනම් වෙන්නෙ. මේ ඔරිජිනල් ඒක ඇහුවට පස්සෙ නං මට lambada සින්දුවට වඩා මේ සින්දුවට ආස හිතුන. මේකෙන් මොකද්ද වඩා හොඳ සින්දුව? lambada නැටුමට මුලික උණු carimbo නැටුම හඳුන්වන්නේ Forbidden Dance කියල. අන්තිමට ඒක අල්ලන් හැදුන සින්දුවත් තහනම් උනා.

ප.ලි.
ඔය ලතින් ඇමෙරිකානු නර්තන කරද්දී කියන දෙයක් තමා විලුඹ බිම තියන්නෙ නැතුව, යටි පතුලෙ ඇඟිලි වලින් පොඩ්ඩක් පස්සට වෙන්න තියෙන හරිය ( සිංහලෙන් කිව්වොත් ball of the foot) පොලොවෙ වදින්න අඩිය තියල නටන්න කියල. නර්තන ඉරියව් ඉලිප්පිලා පෙනෙන්නත්, චලනය පහසු කරන්ටත් ඒක උපකාර වෙනව. දැන් මේ අධ්‍යාපනික වීඩියෝව බලන්න. ඒකෙ ඉන්න ගෑනු ළමය කොයි වෙලාවකවත් විලුඹ බිම තියනවද කියල. :D :D

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!