Wednesday 20 March 2013

යුරෝපය මුදුනේ හිඳිනා කන්‍යාව


හිමෙන් වැහුණු ගිරි ශිඛර .... නිල්ම නිල් පාට වලාකුළු නැති අහස... ඒ නිල් අහස යට , ඒ ගිරි ශිඛර වලින් වටවුනු විසල් විල්, “මෙතනට අඩු ශාරුක් කානුයි, කාජලුයි, බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකයි විතරයි”. මේ පහු වෙන දර්ශන දිහා බලන් හිටපු මට හිතුනෙ එහෙම. ඇත්තටම ඒ වට පිටාව හින්දි චිත්‍රපටියක මවා පාන මනෝ ලෝකයට හරිම සමානයි.



මේ මනස්කාන්ත දර්ශන දිහා දවසක් උනත් එක දිගට බලාගෙන ඉන්න පුළුවන්. මම ගමන් ගනිමින් හිටියෙ ස්විට්සර්ලන්තයේ Jungfrau (යුන්ග්ෆ්රව්‍ ) නමින් හැඳින් වෙන කඳු මුදුන කරා. ස්විස් ඇල්ප්ස් කඳු පන්තියේ පිහිටල තියෙන මේ කන්ද සංචාරකයන් අතර ප්‍රසිද්ධයි . Jungfrau කියන්නෙ ජර්මන් භාෂාවෙන් කන්‍යාවට. මේ කඳු මුදුන අවුරුද්ද පුරාම සුදු පාටට හිමෙන් වැහිල තියෙන නිසාත්, සුදු පැහැය පිරිසිදු බවේ සංකේතය නිසාත් මේ නම වැටුන කියල තමයි අපේ මග පෙන්වන්නා කිව්වෙ. මේ කන්දත් එක්කම Eiger සහ Monch කියන කඳු දෙකකුත් පිහිටල තියෙනව. මාස කිහිපයක් තිස්සෙ රැකියාවට හැම සතියකම මේ රටට එන්න සිද්ද වෙලා තිබ්බත්, ටිකක් රට තොට බලන්න ඉස්පාසුවක් ලැබුනෙ මේ දවසෙ විතරයි. වාසනාවකට වගේ ඒ වෙනකල් තිබ්බ ශිශිරයේ අඳුරු ගතිය එදා තිබ්බෙ නෑ. ඒ වෙනුවට කහ පාට හිරු එලිය මුළු පරිසරයම වෙලාගෙන තිබ්බ. ඊට කලින් සතියවල් වල වැටුණු හිම, අලුතෙන් කඩෙන් ගත්තු සුදු ඇඳ ඇතිරිල්ලකටත් වඩා සුදුවට ගස් කොළන් වහගෙන වැතිරිලා හිටිය.


Jungfraujoch (යුන්ග්ෆ්රව්‍ යොහඃ) කියන්නෙ මම අර කලින් කිව්ව Jungfrau කන්දත් Monch කන්දත් අතර තියෙන කපොල්ලක්. කන්දෙ මුදුනට ආසන්නයෙන් තියෙන, Top of Europe කියල හඳුන්වන මේ කපොල්ල ලොකු සංචාරක ආකර්ශනයක්. එතනට යන ගමන පටන් ගන්නෙ Grindelwald කියන ගමෙන්. මේ ගමේ පාමුලට එනකල් වාහනයක යන්න පුළුවන්.



එතනින් පස්සෙ මීටර් 3500 ගණනක් හෙවත් අඩි 13000 කටත් වඩා උස මේ කන්දෙ මුදුනට යන්න එක්දහස් නවසිය දොළහ වසරේදී විවුර්ත කරපු දුම්රිය සේවයක් තියෙනව. Grindelwald වලින් මේ දුම්රියක් ගන්න පුළුවන්. දුම්රිය කිව්වට මේවයෙ දුමක් නෑ. දුවන්නෙ විදුලි බලයෙන්. විදුලියෙන් කන්ද උඩට යන කෝච්චිය පහලට එන්නෙ ගුරුත්වයෙ බලයෙන්. ඒ එන ගමන් එව්වයෙන් විදුලිය නිපදවල නැවතත් ජාලයට ලබා දෙනව. ඒ වගේම මේ කෝච්චි වලට අවශ්‍ය විදුලිය නිපදවන්නෙ මේ කඳු ආශ්‍රිතව තියෙන ජල විදුලි බලාගාරයකින්. ඒ නිසා පරිසර දුෂණයක් ඇත්තෙම නැති තරම්.

                            

Grindelwald වලින් පටන් ගන්න කෝච්චිය ඉවර වෙන්නෙ කන්දෙ මැද හරියෙ තියෙන Klein Scheidegg දුම්රිය පලෙන්. (මෙව්වට මේ දිව පැටලෙන නම් තියෙන්න හේතුව මේව තියෙන්නෙ ජර්මන් භාෂාවෙන්. ස්විට්සර්ලන්තයේ වැඩියෙන්ම භාවිතා වෙන්නෙ ජර්මානු භාෂාව).එතනට එනකල් ඔය දකුණු අත පැත්තෙ තියෙන ජාතියෙ කෝච්චියකින් ඇවිත්, වම් අත පැත්තෙ තියෙන ජාතියෙ දැති රෝද කෝච්චියකට මාරු වෙන්න ඕන.


ඔය උඩින් තියෙන්නෙ Klein Scheidegg වල ඉඳන් කන්ද තුලට යන දුම්රියක්. මේ දුම්රිය ස්ථානය හරිම කාර්ය බහුලයි. මේ වගේ හොඳින් කාලගුණය තියෙන ගොඩක් දෙනා හිම ක්‍රීඩා වලට මේ කඳු වලට එනව.ස්විස් ජාතිකයො හිම ක්‍රීඩා වලට හරිම ලැදියි. මේ අවට කඳු වල දහස් ගණනක් දෙනා හිම ක්‍රීඩා කරනව දැක ගන්න පුළුවන්. මේ පහල තියෙන්නෙ Klein Scheidegg වල ඈත ඉඳන් ගත්තු පින්තුරයක්. ඒකට උඩ ක්ලික් කරලා ලොකු කලාම පෙනෙයි දුම්රිය පල ට පිටිපස්සෙන් කන්ද උඩට තියෙන කුළුණු වගයක්. එව්ව තමා හිම ක්‍රීඩා කරන්නන් කන්ද උඩට අරගෙන යන කේබල් කාර්. ඒ කන්දෙ තියෙන බෑවුම දැක්කම පහල ඉඳන් බලන අපෙත් කකුල් හිරි වැටෙනව. ඒත් skiing කරන ගොඩක් දෙනා ඒ තද බෑවුම් වල පහලට ලිස්සල එන්නෙ අපි සමතලා පොළවක ඇවිදිනවටත් වඩා පහසුවෙන්.


ඒකට හේතුව මම හිතන්නෙ මේ අය හිම ක්‍රීඩා පුහුණුව ලබන්නෙ අවුරුදු 4 -5 වගේ පොඩි වයස් වල ඉඳන්. මේ බලන්න මේ පොඩ්ඩෝ ටික.



ඉතින් මේ හිම ක්‍රීඩා කරන්නන් පසු කරගෙන ඇදෙන දැති රෝද දුම්රිය ටිකකින් කන්දෙ තියෙන උමගට ඇතුල් වෙනව. ඊට පස්සෙ මුළු ගමනම සිද්ධ වෙන්නෙ මේ උමග තුල.



කෝච්චිය යද්දි උමගෙ ආනතිය හොඳට දැනෙනව විතරක් නෙවේ, ඒ ඇතුලේ තියන දුම්රිය ස්ථාන දෙකකත් නවත්තනව. දුම්රිය ස්ථාන කිව්වට, මෙව්ව ලොකු ගුහාවක් වගේ. ඒකෙ එක කෙළවරක උස විදුරුවක් දාල තියෙනව සංචාරකයන්ට එලිය නරඹන්න. මට දැනගන්න ලැබුණු විදිහට මෙව්ව ඒ දවස් වල මේ උමග තනද්දි අයින් කරපු පස්, ගල් ආදිය ඉවත් කරන්න පාවිච්චි කරපු විවරයන්. උමගේ ඇතුලෙ පලවෙනි නැවතුම Eigerwand. මේ එතනින් එලිය පේන විදිහ.



විනාඩි පහකින් නැවතත් ගමන ආරම්භ කරන දුම්රිය, Jungfrau කන්දට කලින් උමග තුල තියෙන Eismeer කියන දුම්රිය ස්ථානයේත් නවත්තනව. Eismeer කියන්නෙ අයිස් මුහුද කියන එකලු. කිව්වත් වගේ එතනින් එලිය බැලුවම පේන්නෙ අයිස් මුහුදක්.


නැවතත් ගමනේ යෙදෙන කෝච්චිය ඊළඟට අපේ ගමනාන්තය වෙන Jungfraujoch වෙත ලඟා වෙනව. Jungfraujoch කියන්නෙ යුරෝපයේ තියෙන උසම දුම්රිය ස්ථානය. මීටර් 3450 ක් හෙවත් අඩි 11, 000 කටත් වඩා උසින් තියෙන මේකෙ ඉඳන් එලියට ගිහින් අවට බලන්න පුළුවන්. මේ තමා යුරෝපය මුදුනේ ඉඳන් අවට පේන හැටි.


මම ගියපු දවසෙ පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍන 17.5 ක්. උඩ ආපන ශාලා වගේම අයිස් වලින් කරපු කැටයම් තියෙන අයිස් මාලිගයකුත් තියෙනව.


Ice Age බලපු කට්ටිය මේ උන්දැව දැකල ඇතිනෙ!


අන්තිමට, බැහැගෙන යන ඉර Jungfrau කඳු මුදුන තවමත් එලිය කරද්දී, අඳුරින් වැහෙන මිටියාවත මැදින් ගලන දොළ පාරවල් පහු කරගෙන අපි නැවතත් නගරයට ආව.


මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!