අද කතන්දර දාල තිබ්බ 'ගෑනු බොස් ලා හෙවත් බොසීලා' පොස්ට් එක දැකල තමයි මට මේක දාන්න හිතුනෙ. කතාවෙ ගෑනු බොස් කෙනෙක් ම කියනවනේ ගෑනු එක්කෙනෙක් යටතේ වැඩ කරන එක අමාරුයි කියල. හැබැයි මම නං ඕක හරිද නැද්ද කියල දන්නේ නෑ, මොකද මට තාම ගෑනු බොස් කෙනෙක් අහු වෙලා නෑ. හැබැයි දන්න කීප දෙනෙක් නං කියල තියෙනව එක පිරිමි බොස් කෙනෙක් යටතෙ වැඩ කරනවට වඩා අමාරුයි කියල. මම මේ කියන්ඩ යන්නෙ ගෑනු බොස් ලා ගැන තියරියක් නෙවෙයි. ගෑනු අය ගැනම වෙන තියරියක්. හැබැයි තියරියක් කිව්වට මේක හයිපොතිසිස් එකක් විතරයි. මටත් වෙන කෙනෙක් කියපු එකක්. කැමති කෙනෙක් ඉන්නවනං ඕක රිසර්ච් කරල තියරි එකක් රෙජිස්ටර් කරන්න පුළුවන්. මේකයි කතාව, මොනවහරි වැඩක් කරගන්ඩ ඕන උනාම, ඔප්ෂන් එකක් තියෙනවනන් නිතරම පිරිමි එක්කෙනෙක් ගාවට යන්ඩ ගෑනු කෙනෙක් ගාවට නැතුව!! ඒ කියන්නෙ දැන් ඔය බැංකුවක, තැපැල් කන්තෝරුවක වගේ පෝලිමක ඉන්න කොට නිතරම පිරිමි කෙනෙක් ඉන්න කවුන්ටර් එකක පෝලිමකට සෙට් වෙන්ඩ. දැන් මේක කියවන ගෑනු අය පොඩ්ඩක් ඉවසල වදාරන්ඩ. වැරද්දක් කියනව නෙවෙයි, ඕගොල්ලො උනත් එහෙම පෝලිමේ ඉන්ඩ උනොත් පිරිමි කෙනෙක් ඉන්න පෝලිමකට සෙට් වෙන එක ඇඟට ගුණයි. වෙන මොකවත් නිසා නෙවෙයි, ගෑනු අය ගොඩක් වෙලාවට අකුරට වැඩ කරනව. ඒක නිසා ෆ්ලෙක්සිබිලිටි එක අඩුයි.
මට ඕක අහන්න ලැබුනට පස්සේ මම ඕක ක්‍රියාවට නැගල බැලුව කීප සැරයක් ම. 'ගොඩක් වෙලාවට' කතාව ඇත්ත. ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකේ වටේ මත් එහෙමයි කියල තමයි මට තේරුනේ. අපිට එක සැරයක් ප්‍රොජෙක්ට් එකකට රට ගිහින් ඉන්න උනා ටීම් එකටම මාස කීපයක්. අපි නැවතිලා හිටියෙ හොටෙල් එකක. මාස ගානක් හිටියට හැම මාසෙකම අන්තිමේ හොටෙල් එක අපිට බිලක් කඩනව. අපි ඒක මාසෙන් මාසෙට ගෙවන්ඩ ඕනෙ. ඉතින් ඔය වැඩ භාර වෙලා තිබ්බෙ මට. ඉතින් හොටෙල් එකට යන මුළු ගානම වගේ මම ට්‍රැවලර්ස් චෙක්ස් වලින් තමයි ගෙනිහින් තිබ්බෙ. ඉතින් මාසෙකට සැරයක් මම බැංකුවට ගිහින් ට්‍රැවලර්ස් චෙක්ස් කෑෂ් කරල හොටෙල් එකට සල්ලි ගෙවනව. ඔය බැංකුවෙ කොල්ලෙක් හිටිය ගියහම නිතරම ඔය වැඩේ කරල දෙන. දවසක් ගියාම එදා මු නෑ. එතන ඉන්නෙ කෙල්ලෙක්. මම ඉතින් වෙනද වගේ ගිහින් ට්‍රැවලර්ස් චෙක්ස් ටික දුන්න කෑෂ් කරල දෙන්න කියල. කෙල්ල මගෙන් ඉල්ලුව චෙක්ස් ගත්ත රිසිට් එක කෝ කියල. අර කොල්ල කවදාවත් එහෙම එකක් මගෙන් ඉල්ලුවෙ නෑ. මම කිව්ව ඒක මගේ ගාව නෑ කියල. ඒක නැතුව මෙච්චර ලොකු ගානක් කෑෂ් කරන්න බෑ කියල මෙන්න එයා කියනව. මගේ ගාව කලින් චෙක්ස් කෑෂ් කරපු රිසිට් තිබ්බ ඒ බ්‍රාන්ච් එකෙන්ම දීපු ඒවා. මම ඒව පෙන්නල කිව්ව මේ මම මෙතනින් කලිනුත් කෑෂ් කරගෙන තියෙනව කීප පාරක් ම, හැබැයි ඔහොම එකක් ඉල්ලුවෙ නෑ කියල. ට්‍රැවලර්ස් චෙක්ස් ටික මගේමද කියල ඔප්පු කරන්න ඒක ඕනෙමයි කිව්ව. වැඩේ කියන්නෙ හදිස්සියකට වෙන එකෙකුට බැංකු යන්ඩ උනොත් කියල මම ඔය චෙක්ස් පිටිපස්සේ අත්සන් කරල නෙවෙයි තිබ්බෙ. ගෑනි දැක්ක මම අත්සන් දෙකම ඒක වෙලාවෙ ගහනව. ඒකයි දැන් මේ ගේම ඉල්ලන්නෙ. අර කොල්ල ඉන්න දවස් වලත් ඕක ඔහොම කරාට ඌ නෙවෙයි කවදාවත් මට ඔහොම බාල්දියක් දැම්මෙ. පස්සෙ මම කිව්ව මැනේජර් ට කතා කරන්ඩ ඕනෙ කියල. පොරට කතා කරල තමයි යන්තන් වැඩේ ගොඩ දාගෙන ආවේ.
ඊට පස්සෙ අපි ප්‍රොජෙක්ට් එක ඉවර කරල ආයේ ලංකාවට එන ගමන් ට්‍රාන්සිට් එකක් තිබ්බ. අපි ඒ රටේ දවස් දෙකක් නැවතිලා එන්ඩ ප්ලෑන් කරන් හිටියෙ මොකද, මාස කීපයක් එක දිගට කට්ට කාපු නිසා පොඩි විවේකයක් ගන්ඩ. ඉතින් දැන් අපි ප්ලේන් එකෙන් බැහැල ඉමිග්රේෂන් කවුන්ටර් ගාවට ආව. මම ඉතින් මගේ හයිපොතිසිස් එක අනුව පිරිමි කෙනෙක් ඉන්න කවුන්ටර් එකක පෝලිමට සෙට් උනා. මාත් එක්ක ට්‍රාන්සිට් රටේ නවතින්ඩ ආපු තව එකෙක් හිටිය. පොර මට එහා තිබ්බ පෝලිමට සෙට් උනා. ඒකෙ සෙනග ටිකක් අඩුයි. ඌ මට කතා කරා ඒකට එන්ඩ කියල. මම බැලුව කවුන්ටරේ. ඉන්නෙ ගෑනු කෙනෙක්. මම ඌට ඔලුවෙන් පෙන්නල කිව්ව බෑ කියල. ඌ දන්නවා මගේ තියරිය. ඌ මට කින්ඩි හිනාවක් දාල ඒ පෝලිමේම හිටිය. දැන් ඉතින් කට්ටිය අඩු නිසා ඌ මට කලින් කවුන්ටරේ ට ගියා. පාස්පෝර්ට් එහෙම චෙක් කරල මම දැක්ක අර ගෑනු කෙනා මගේ යාලුවගෙන් ප්‍රශ්න අහනව. ඌ කවුන්ටරේට යද්දී මගේ පෝලිමේ මට ඉස්සරහින් කීප දෙනෙක් හිටිය. කොහොමහරි මම මගේ කවුන්ටරේට යද්දිත් අරූ හරස් ප්‍රශ්න වලට උත්තර දෙනව. මම ඉමිග්රේෂන් එකෙන් ඇතුලටත් ඇවිත් තව ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි ඌ ඇතුලට ආවේ.
"උඹේ තියරිය හරි තමයි බං". ඌට මල.
"මොනවද බං උඹෙන් ඔච්චර ඇහුවෙ?"
"කොහෙ ඉඳන් ද ආවෙ?, මොකටද එහෙ ගියෙ? මොනවද එහෙ කලේ? ඇයි ලංකාවට යන්නෙ නැතුව මෙහෙ නවතින්නෙ?. ඔය වගේ අනන් මනං ගොඩක් ඇහුව බං!!"
ඌයි, මායි හිටියෙ එකම ප්‍රොජෙක්ට් එකේ, ආවෙ එකම ප්ලේන් එකේ. තියෙන්නෙ එකම රටේ පාස්පෝර්ට්. හැබැයි මගෙන් නෙවෙයි කවුන්ටර් එකේ පොර වචනයක්වත් ඇහුවෙ!
ඔන්න ඔහොමයි තියරියෙ රිසල්ට්ස් මෙච්චර කාලෙකට. මේක කිව්වේ කාන්තා පාර්ශවයට කිසිම මඩ ගැසීමේ චේතනාවකින් නෙවෙයි. මම කලින් කිව්ව වගේ කාන්තාවො කරන වැඩේ අකුරටම කරන නිසා විකල්ප විසඳුම් ඒ ගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්ඩ අමාරුයි. අනික හැමෝම මෙහෙම නෑ. දැන් ඉතින් මේක කියවන කාන්තාවො, මෙතන කාන්තා විමුක්තියේ දෝංකාරය ඇති කොරන්ට එහෙම හදන්ඩ එපා! එහෙම උනොත් මේ බ්ලොග් එකත් නිකන් ලුවී වැන්ඩස්ට්‍රාටන් ගේ ෆිල්ම් එකක් වගේ වෙයි.!!
167. ප්‍රසංගයක් ද මේ ජිවිතය?
2 months ago