Monday, 12 December 2011

බයිස්කෝප් කියුම්!

චිත්‍රපටි බලන්න අපි කවුරුත් ආසයි. ගොඩක් වෙලාවට හිතට වදින චිත්‍රපටියක් බලපුවම ඒකෙ තියෙන සමහර දෙබස් කෑලි කවදාවත් අමතක වෙන්නෙ නෑ. මම ඔය වගේ පණ්ඩිත දෙබස් කෑලි,  වාක්‍ය ඛණ්ඩ වලට කැමතියි. ( ඒ වගේ දෙබස් දෙන්ඩත් දන්නව!). ඒකට වැඩියමත් හේතුව මම හිතන්නෙ ඔය වාක්‍ය රචනාවකින් දෙන්න පුළුවන් පණිවිඩයට වඩා ප්‍රභල පණිවිඩයක් පොඩි දෙබසකින් දෙන්න පුළුවන් වීම. මට හිතුන ඒ වගේ චිත්‍රපටි බලද්දී හිතට වැදුණු දෙබස් ඛණ්ඩ කීපයක් ආයෙම මතක් කරන්ඩ. මුලින්ම spoiler alert එකක් දාල ඉන්ඩ ඕනෙ මේ චිත්‍රපටි බලපු නැති කවුරුහරි ඉන්නව නං ඔන්න කතාව එලි උනා කියල මට බනින්න එපා. පුළුවන් තරං කතාව කියන්නෙ නැතුව දෙබස් විතරක් කියන්න බලන්නං.
මම සිංහල චිත්‍රපටි බලල තියෙන්නෙ නං අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් මම හිතන්නෙ. ඒකට හේතුව මේකයි. දැන් ඔය සිදුහත් කුමාරය ගිහි ගෙයින් නික්මෙන්න කලින් සතර පෙරනිමිති දැකලනේ ගිහි ගෙය කල කිරුනෙ. මට හොඳ ෂුවර් එකක් තියෙනව, මයිත්‍රී බෝධි සත්වයො ගිහි ගෙයින් නික්මෙන්නෙ සිංහල ෆිල්ම් එකක් බලල කියල. මට දැම්ම අභිනිෂ්ක්‍රමණය කරන්න අදහසක් නැති නිසා මම වැඩිය සිංහල ෆිල්ම් බලන්නෙ නෑ. හැබැයි බලපු ඒවයෙන් හොඳට හිතට වැදුණු දෙබස් ඛණ්ඩයක් තමා මේක,

සුරිය අරණ.

ෆිල්ම් එක බලල නැති අයට: මේකේ ජැක්සන් ඇන්තනි රඟපානව වැද්දෙකුගේ චරිතයක් (සේදිරිස්). වනවාසී හාමුදුරු නමක් සමග නෝක්කඩුවක් ඇති උනාට පස්සෙ, එදා රැ බීගෙන ඇවිත් ගිනි මැලයක් ඉස්සරහ ඉඳන් කියනව මෙහෙම
"හාමුදුරුවොන්ගේ පින් පව් වෙනයි, අපේ පින් පව් වෙනයි!. උන්දලා මැරුණම යන්නෙ නිවන්!! අපි යන්නෙ අපායේ!! යකෝඕඕඕඕඕව්!!!! මොන මගුලෙ හරි යන්නෙ මැරුණට පස්සෙ! එතකන් තොපිට කන්න දෙන්නෙ මගෙ අහවල් එක විකුනලද බොලව්!! "

ඔය ෆිල්ම් එකේ තව හිතට වැදුණු දෙබසක් තමා, සේදිරිස් තමන්ගෙ පුතාව (ටිකිරව)   එක්කන් යනව දඩයම් කරන්න උගන්නන්න. එක්ක ගිහින් මුවෝ රංචුවක් ඉන්න තැනකදී දුන්නෙන් විදින හැටි කියල දීල කියනව විදින්න කියල. පොඩි එකා මානනව. එතකොට යන දෙබස මෙහෙමයි:

සේදිරිස් : තෝ මොකාටද ඔය මානන්නේ?
ටිකිර : අර පැටිය එක්ක ඉන්න එකාට.
සේදිරිස්: පැටිය එක්ක ඉන්නෙ උගෙ අම්මනෙ බොල! ඌ මැරුණම පැටිය කිරිබොන්නෙ තොගෙ අම්මගෙන් ද? මානපිය අන්න අරහෙට!
මම හිතන්නෙ වැද්දන්ගේ සතුන් දඩයම ගැන කියන්න ඕන සියලුම දේ මේ දෙබස් ඛණ්ඩයෙන් කියවෙනව කියල.  



Invictus

සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච, පටන් ගනිද්දිම අවසානය මේකයි කියල දැනගෙන හිටියත් ඒ අවසානයේ තීව්‍ර බව අඩුවක් නැතුව දැනෙන්න සලස්වන ෆිල්ම් එකක්. මේකට පාදක වෙන්නෙ නෙල්සන් මැන්ඩෙලා ඔහුගේ පලවෙනි ධුර කාලය ඇතුලත, දකුණු අප්‍රිකානු රගර් කණ්ඩායමේ නායකයත් සමග එකතු වෙලා, දකුණු අප්‍රිකාවට රගර් ලෝක කුසලානය දිනා දෙන්න සහ ඒ මගින් ජාතික සමගියක් ඇති කරන්න දරන වෑයම. මේකෙ එක තැනක තියෙනව නෙල්සන් මැන්ඩෙලා ට දැනගන්න ලැබෙනව, කළු මිනිසුන් කණ්ඩායමක් විසින් පවත්වන රැස්වීමක් ගැන. ඔවුන් මේකෙදි කතා කරන්නෙ පහුගිය අවුරුදු ගානක් තිස්සෙ තමන් ව පාගගෙන හිටපු සුදු මිනිස්සුන්ගෙන් ඒ පලිය ගන්න හැටි.  බහුතරය වන කළු ජාතිකයින් ගේ චන්ද වලින් බලයට ආවත්, තමන් සුදු මිනිසුන්ගේ වර්ණ භේද වාදය නිසා හිරබත් කැවත්, මැන්ඩෙලා මේක දැනගත්ත ගමන් නැගිටල කාර්යාලයෙන් එලියට බහිනව මේක නවත්තන්න යන්න. ඒ වෙලාවෙ, ඔහු හා ඔහුගේ ලේඛම් වරිය වන බ්‍රෙන්ඩා අතර අපුරු දෙබසක් වෙනව,

බ්‍රෙන්ඩා : Where are you going? You're risking your political capital, you're risking your future as our leader!

මැන්ඩෙලා: The day I am afraid to do that is the day I am no longer fit to lead.

අනේ අපිටත් මෙහෙම නායකයො හිටියනං!


Goodwill Hunting
මේ චිත්‍රපටියෙ විල් හන්ටින් කියන්නෙ ඉතාම දක්ෂ තරුණයෙක්. නමුත් ඔහු රස්තියාදුකාරයෙන්. තමන්ට උපතින් ම ලැබුණු විශ්මිත ඉගෙන ගැනීමේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව තමන්ගෙ යාළුවන් සමග තක්කඩිකම් කරමින් ඉන්නව. ඔහුට මුණ ගැහෙනව ෂෝන් කියන බොහෝ ඇසු පිරු තැන් ඇති වියපත් මිනිසෙක්ව. ගහට ගහක් මොරටුවෙ දී හම්බෙනව වගේ, මේ ෂෝන් විල් ගෙ ජීවිතය වෙනස් කරන්න දායක වෙනව. අපි ගොඩක් වෙලාවට. කියවපු, අහපු දේවල් අනුව හිතනව අපි පුද්ගලයෝ ගැන, රටවල් ගැන විස්තර දන්නව කියල. හරියට ලංකාවට පය ගහල නැති සුද්දො BBC එකෙන් CNN එකෙන් නිව්ස් බලල ලංකාව ගැන ඔපිනියන් දෙනව වගේ. මේ විල් කාරයත් බොහොම දේවල් දන්න නිසා හැම දෙයක් ගැනම මේ වගේ ඔපිනියන් දෙන්න යනව. ෂෝන් ඇඳපු චිත්‍රයක් දැකල විල් ෂෝන් ගෙ ජිවිතේ ගැන අර්ථකතනයක් දෙනව මහා ලොකු දැනුමැත්තෙක් විදිහට.  මේ ඊට පස්සෙ ඔවුන් දෙන්න අතර යන සංවාදය. ෂෝන් කියන්නෙ යුද්ධයක සටන් කරපු, තමන් ගෙ බිරිඳ පිළිකාවකින් මිය යනව බලන් ඉඳපු මනුස්සයෙක්. මේ දෙබස මම හිතන්නෙ අපි දන්නව කියල හිතාගෙන ඉන්න දේවල් ගැන වෙනස් විදිහකට හිතන්න පෙන්වල දෙනව. මේ දෙබස ටිකක් දිගයි.

ෂෝන්: Thought about what you said to me the other day, about my painting. Stayed up half the night thinking about it. Something occurred to me... fell into a deep peaceful sleep, and haven't thought about you since. Do you know what occurred to me?
විල්: No.
ෂෝන්: You're just a kid, you don't have the faintest idea what you're talkin' about.
විල්: Why thank you.
ෂෝන්: It's all right. You've never been out of Boston.
විල්: Nope.
ෂෝන්: So if I asked you about art, you'd probably give me the skinny on every art book ever written. Michelangelo, you know a lot about him. Life's work, political aspirations, him and the pope, sexual orientations, the whole works, right? But I'll bet you can't tell me what it smells like in the Sistine Chapel. You've never actually stood there and looked up at that beautiful ceiling; seen that. If I ask you about women, you'd probably give me a syllabus about your personal favorites. You may have even been laid a few times. But you can't tell me what it feels like to wake up next to a woman and feel truly happy. You're a tough kid. And I'd ask you about war, you'd probably throw Shakespeare at me, right, "once more unto the breach dear friends." But you've never been near one. You've never held your best friend's head in your lap, watch him gasp his last breath looking to you for help. I'd ask you about love, you'd probably quote me a sonnet. But you've never looked at a woman and been totally vulnerable. Known someone that could level you with her eyes, feeling like God put an angel on earth just for you. Who could rescue you from the depths of hell. And you wouldn't know what it's like to be her angel, to have that love for her, be there forever, through anything, through cancer. And you wouldn't know about sleeping sitting up in the hospital room for two months, holding her hand, because the doctors could see in your eyes, that the terms "visiting hours" don't apply to you. You don't know about real loss, 'cause it only occurs when you've loved something more than you love yourself. And I doubt you've ever dared to love anybody that much. And look at you... I don't see an intelligent, confident man... I see a cocky, scared shitless kid. But you're a genius Will. No one denies that. No one could possibly understand the depths of you. But you presume to know everything about me because you saw a painting of mine, and you ripped my f***ing life apart.

Gladiator

කවුරුහරි කැමතිම චිත්‍රපටිය මොකද්ද කියල ඇහුවොත් හරියට එකක් කියන්න බැරි උනත්, ඒ කැමතිම චිත්‍රපටි ගොන්න අතරෙ අනිවාර්යෙන්ම තියෙන චිත්‍රපටියක් තමා ග්ලැඩියේටර්.  මරණ මංචකයේ ඉන්න එවකට රෝම අධිරාජ්‍යයා, තමන්ගේ පුතාට උඩින්, තමන්ගෙ හමුදාවෙ ඉන්න දක්ෂ ජෙනරාල් කෙනෙක් වන මැක්සිමස් ට පාලනය භාර දෙනව. නමුත් බලතන්හාවෙන් පෙලෙන ඔහුගෙ පුතා රජකම පැහැර ගන්නව විතරක් නෙවෙයි, මැක්සිමස් ගෙ බිරිඳ, දරුව ඇතුළු මුළු පවුලම ඝාතනය කරනව. හමුදාවෙන් නෙරපිලා වහල් සේවයට වැටෙන මැක්සිමස් ගෙ එකම අරමුණ වෙන්නෙ මේකට පලි ගන්න එක.  ග්ලැඩියේටර් කෙනෙක් විදිහට තමන්ගෙ වහල් ජීවිතය ගෙවන මැක්සිමස් ට අවසානයේ තමන්ගෙ සතුරා මුණ ගැහෙනව. ඒ රෝමයේ කොලෝසියම් එකේ දී පැවැත්වෙන ග්ලැඩියේටර් තරඟයකදී. ඒකෙදි මැක්සිමස් ගෙ අතිශූර සටන් දකින රෝම අධිරාජ්‍යයාට තේරෙනව මේ ඉන්නෙ නිකම්ම නිකන් වහලෙක් නෙවෙයි කියල එක. ඔහු සටන් භූමියට බැහල මැක්සිමස් ගෙන් අහනව මෙතරම් හොඳින් සටන් කරන ඔහු කව්ද කියල. මැක්සිමස් කියන්නෙ තමන් ග්ලැඩියේටර් කෙනෙක් කියල. ඒ වෙලාවෙ අධිරාජ්‍යයා ඔහුට අණ කරනව වහාම තමන් ගෙ නියම නම හෙළි කරන්න. ඒ වෙලාවෙ ඔහු කියන මේ වදන් මම හිතන්නෙ ග්ලැඩියේටර් බලපු කෙනෙකුට අමතක වෙන එකක් නෑ.     

මැක්සිමස් : My name is Maximus Decimus Meridius, commander of the Armies of the North, General of the Felix Legions, loyal servant to the true emperor, Marcus Aurelius. Father to a murdered son, husband to a murdered wife. And I will have my vengeance, in this life or the next.        


චිත්‍රපටිය බලල වසර ගානකට පස්සෙ ඇත්තටම කොලෝසියම් එක ඇතුලට ගිහින් ප්‍රේක්ෂකාගාරයේ ඉහල මහලක ඉඳන්, මැද තියෙන අංගනය දිහා බලාගෙන ඉද්දි මට මේ වචන ඒක ඇතුලෙ දෝංකාර දෙනව වගේ ඇහුන. 

ලියන්න තව ගොඩක් තිබුනත් පොස්ට් එක දැනටමත් දිග වැඩි නිසා මෙහෙම නවත්තනව. කියවන අයට හිතට වැදුණු දෙබස් තියෙනවනම් කමෙන්ට් වල දාන්න

image:http://archive.epica-awards.com/pages/results/2008/2008agency01306.html

Friday, 4 November 2011

අන්තෝ ජටා, බහි ජටා!




මේ දවස් වල උදේට පත්තරේ බැලුවම කියවන ප්‍රවෘති වලට කටින් හිනා වෙන්නද වෙන කොහෙන් හරි හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ. මේ දවස් ටිකේ යුරෝපෙ කැළඹිලා . ග්‍රීසියට තමන්ගෙ ගත්ත ණය ගෙවා ගන්න බැරිලු. තමන්ගෙ අදායමට වඩා වියදං කරලා ජීවත් වෙන්න ග්‍රීසියට මේ ණය වැඩියෙන්ම දීල තියෙන්නෙ ප්‍රංශයයි, ජර්මනියයි. ඉතින් පහුගිය ටිකේ මේ රටවල් වල කට්ටිය හතර අතේ සමුළු තිය තිය, ඔලුව ගිනි අරන් වගේ හැම තැනම දුවල අන්තිමේ තීරනෙකට ආව. ඒ ග්‍රීසිය බේර ගන්න පැකේජ් එකක් දෙන්න. මොකද ග්‍රීසිය සම්පූර්ණයෙන් තමන්ගෙ ණය පැහැර හැරියොත් ජර්මනියටයි, ප්‍රංශෙටයි හුලං!. ඉතින් සමහර ණය කපා හැරලා, තව එව්වට කල් දීල, ණය ගෙවන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය දෙන්න ලැස්ති කරලා වගේ වැඩ ගොඩක් කරලා තමා ඔය පැකේජ් එක හැදුවෙ. ඉතින් ණය ගෙවා ගන්න බැරුව, රට බංකොලොත් වෙන්න යද්දී අනික් රටවල් එකතු වෙලා මෙහෙම ගලවා ගැනීමේ පැකේජ් එකක් දුන්නම දෝත බදලා පිළිගන්න එපැයි? 
ඒකට ග්‍රීසියේ අගමැති මොකෝ කලේ? ?
අපි ජන මත විචාරණයක් තියල රටේ මිනිස්සුන්ගෙන් මේ පැකේජ් එකට කැමතිද කියල අහල කියන්නං කිව්ව!!!
ඒක හරියට ගේ ගිනිගනිද්දි  ගිනි නිවන හමුදාවෙන් ඇවිත් නිවන්න හදනකොට, පොඩ්ඩක් ඉන්න මම වයිෆ් ගෙන් අහල කියන්නං නිව්වට කමක් නැද්ද කියල කියනවා වගේ වැඩක්.   ඕකට සාකෝසි අන්කල් ටයි ඇන්ජෙලා ඇන්ටිටයි අම්බානක මල පැනල. ඇයි යකඩෝ මේ දවස් ගණන් නිදි මරාගෙන, ටුක පුට්ටු කරන් ප්ලෑන් ගහල, චීනෙට වැඳලා සල්ලි ඉල්ලලා, යන්තන් මේ අටමගලෙ අටෝ ගත්තම මේකා කියනව අහල කියන්නං කියල. ඉතින් මල පනින්නෙ නැතුව තියෙයිද? පස්සෙ දෙන්නම තදින් කිව්වම 'හොඳ හිතින් මේක ගනිං!' කියල, ග්‍රීසියේ අගමැති ජනමත විචාරණය අකුලගෙන. 

ඔය අස්සෙ මෙහෙ ලොක්කත් ගිහින් ඔව්වට හොට දානව. හැබැයි ඉතින් එහෙම කලාට පොර ගාව ඔව්වට දෙන්ඩ සතයක් වත් නෑ. අනික මෙහෙ යුරෝ පාවිච්චියකුත් නෑනෙ. ඉතින් පොරව වැඩිය කවුරුත් ගණන් ගන්නෙ නෑ. ඒ උනාට ඉතින් මේ 'හිරු නොබසින අධිරාජ්‍ය' තිබ්බ රටනෙ. ( හිරු නගින්නෙ නැති එක වෙනම කතාවක්).  ඒක නිසා මොනවට හරි හොට දැම්මෙ නැත්තන් පොරට නිකන් කෑවේ නැතුව වගේ ඇති. ඒ අස්සෙ දැන් ඉරානෙට ගහන්ඩ ලෑස්ති වෙනව. අනෙ අම්මප. මේ සල්ලි නෑ කිය කිය ඉස්පිරිතාල, පුස්තකාල, ඉස්කෝල වහනව. හැබැයි කොහෙවත් ඉන්න රටවල් වලට කෙලින්ඩ සල්ලි තියෙනව. ඒවාට කෙලින්ඩ යන්නෙත් මේගොල්ලොන්ට ඕනවට නෙවෙයි. ඇමරිකාව යන නිසා. ඇමරිකන් ලොකු අයිය 'මල්ලි දෙමුද පොඩි සප් එකක්?' කියල අහන පරක්කුවෙන් මේ මල්ලිත් 'බොක්ක උනත් දෙන්නං අයියෙ' කියල යනව. ඇෆ්ගනිස්ථානේ, ඉරාකෙ, ලිබියාව, දැන් ඊළඟට ඉරානෙ. මේක පටන් ගත්තොත් නං කොහෙන් කෙලවර වෙයිද දන්නෑ. මේ යුද්ධ කතා ඇහුවම ලඟදි දැකපු බම්පර් ස්ටිකර් එකක් මතක් උනා.


"Be nice to America. Or we will bring democracy to your country!!"


image:http://www.cer.org.uk/publications/archive/essay/2009/europe-doomed-fail-power

Monday, 24 October 2011

ෂර්ලොක් හෝම්ස් හමුවීමට ගියෙමි.....

පහුගිය දවසක මුහුදු කොල්ලකාරය එයාගේ සගයෝ ටික බෝට්ටුවක හම්බවෙච්ච හැටි මම කිව්වනෙ. ඒක කියවල පොඩි කුමාරිහාමි මෙන්න මෙහෙම නිගමනයකුත් දීල තිබ්බනෙ හරියට නිකන් ෂර්ලොක් හෝම්ස් වගේ. (මේ ගෑනුන්ටත් ඕන්නැති දෙයක් නැති හැටි අම්මප!). කොහොමහරි ඉතින් මට පොඩි රහස් පරීක්ෂක වැඩකට කෙනෙක් ඕන කරල, ඔය ගැන කල්පනා කරලා කරලා අන්තිමේදි හිතුව මේ සම්බන්දයෙන් ලෝකේ ඉන්න හොඳම කෙනා ගිහින් හම්බ වෙන්ඩ. ඒ කිව්වේ ෂර්ලොක් හෝම්ස් ව! ඉතින් මුහුදු කොල්ලකාරය දවසක් උදේ පාන්දර කුකුලත් අතේ ගිරවත් කරේ තියාගෙන ගියා පොරව හම්බ වෙන්ඩ බේකර් ස්ට්‍රීට් එකේ නොම්මර 221 B ගෙදරට.  හැබැයි යද්දී පොර ගෙදර හිටියෙ නෑ. පොඩි සීන් එකක් මෙව්ව කරන්ඩ එලියට ගිහින්. ඉතින් පොර එනකන් ඉන්න ගමන් මම ගෙදර පින්තුර ටිකක් ගත්ත. 

මාකටින් පාර නියමෙට දෙනව වගේ!
මේ තියෙන්නෙ ඉස්සරහ දොර

පහල ඉඳන් පලවෙනි තට්ටුවෙ හෝම්ස් ගේ කාමරේට යන තරප්පු පේලිය. කට්ටිය දන්නව ඇතිනෙ. ඕකෙ හරියටම තරප්පු 17 ක් තියෙනව. මම ගැන්නා. හරියට හරි. 17 තමයි.
හෝම්ස් ගෙ විසිත්ත කාමරය. මේකෙ ඉඳන් තමයි හෝම්ස් සුරුට්ටු උර උර අභිරහස් විසඳන්නෙ
කෑම මේසෙ. ඉටිපන්දන් පත්තු කරල තියෙන්නෙ ලයිට් කපලද දන්නෙ නෑ
හෝම්ස් එලියට ගිහින් තියෙන්නෙ වොට්සන් එක්ක වගේ. ඔය තියෙන්නෙ වොටා ගෙ බෑග් එක මුලකුරුත් කොටල.
වොට්සන් ගෙ බෑග් එක
හෝම්ස් ගෙ විසිත්ත කාමරයෙ තව පැත්තක්. මතකනෙ බේකර් විදිය පැත්තට මුහුණ දාල තියෙන අර ලොකු ජනෙල දෙක. ඔය තියෙන්නෙ ඒ දෙක
වොට්සන් ගෙ කාමරය. මේ මනුස්සය හරි අපිළිවෙලයි වගේ. හැම තැනම බඩු විසිකරල දාල.
වොට්සන් ගෙ කාමරේ තව පැත්තක්.
හෝම්ස් ගෙ අත්අකුරින් වොට්සන් ට ලියපු ලියුමක්
හෝම්ස් ගෙ ගෙදර අයිතිකාර මිසිස් හඩ්සන් ගෙ කාමරේ
හෝම්ස් ව බලන්ඩ ආපු කට්ටිය ආව කියල ලියල යන පොත
හෝම්ස් ට ආපු ලියුං
"මිස්ටර් හෝම්ස්,
මට බයයි ඔයාගේ ආරක්ෂාව ගැන. අද මම යන 154 බස් එකේ මම ප්‍රොෆෙසර් මොරියාටි ව දැක්ක. මිනිහ ලොකු රැවුලකුත් වවාගෙන වෙස්වලාගෙන ඉන්නෙ. මට තේරුණා ඒ මිනිහ කියල එයා ළමයින්ට හරි සැරයි. මම මිනිහගෙ හැඩරුව දන්නව ඩොක්ට වොට්සන් ලියපු පොතෙන්. එයා ලෝකෙ විනාස කරන්න ප්ලෑන් එකක් ගහනව වගේ. ඔබට ඔහුව අල්ලගන්න ලැබෙයි කියල හිතනව.
මීට රොනන් බ්‍රෙනන් (අවු 12).
ප.ලි. මට ඔයාගෙයි වොට්සන් ගෙයි 
සමරු සටහන් එවනවද?" 
"ආදරණීය හෝම්ස්,
ඔයාට පුලුවන්ද දන්නෙ නෑ මට පොඩි රහස් පරීක්ෂක වැඩකට උදව් කරන්න? මගෙ පූසො හැමදාම රෑට අතුරුදහන් වෙනව. ආයෙම උදේට මුකුත් නොවිච්ච ගානට මතු වෙනව. ඊට පස්සේ ඒ ගොල්ල දවසම නිදියනව. ඔබට සුභ අලුත් අවුරුද්දක්.
මීට ලුයිස් (අවු 10)"
"හෝම්ස් මහත්මයා, මම දන්නව ඔබට ඔය ලන්ඩන් වල ඉන්න කොල්ලෝ ඉඳල හිටලා අපරාධ විසඳන්න උදව් කරනව කියල. මම කියන්න කැමතියි මමත් ඔබට උදව් කරන්න ඉන්න බව. ඔබට ඇමරිකාවේ මොනවා හරි අපරාධයක් විසඳන්න උදව් අවශ්‍ය නම් මට කියන්න. මම උදව් කරන්නන්. විශේෂයෙන් ඩයිනෝසරයන් හා මාළුන් වගේ මගෙ ප්‍රියතම විෂයන් ගැන සම්බන්ධ අභිරහස්. වොට්සන් වත් මතක් කලා කියන්න.
මීට බ්‍රෑන්ඩන් සෙලස්. (අවු 5)" 
"ආදරණීය මැරුණු ෂර්ලොක් හෝම්ස්, මට හරිම ගොන් ගතියක් දැනෙනව ඔබට ලිපියක් ලියන්න. මොකද මම දන්නව ඔබ දැනටමත් අඩි 6 යට වැළලිලා කියල. මේක මගෙ ටීචර් ගෙ අයිඩියා එක. ඒක නිසා හිතන්ඩ එපා මට පිස්සු කියල. බය වෙන්ඩ එපා, මම හිතන්නේ අපේ ටිචට බාගෙට පිස්සු. අඩු ගානෙ මේක නිසා මට ලකුනුවත් වැඩිය ලැබෙයි නෙ. මම යන්න ඕනෙ. පස්සේ හම්බෙමු.
ප.ලි. මේක හරි මෝඩයි!!"

හරි දැන් හතර බීරි කතා ඉවරයි. දැන් කට්ටියට ප්‍රශ්නෙ නෙ, මේ ඇත්තටම හෝම්ස් ගෙ ගෙදරද? ඇත්තට හෝම්ස් කෙනෙක් හිටියද? අපි හිතුවෙ ඒක ප්‍රභන්දයක් කියලනෙ? කොහොමද මේ කතාවෙ වගේම ගෙයක් තියෙන්නෙ? මේ සර් ආතර් කොනන් ඩොයිල් ගෙ ගෙදරද? වගේ ඒව. කතාව මෙහෙමයි. සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් කතා මාලාව ලිව්වෙ එක්දහස් අටසිය ගණන් වල අග භාගයෙ. ඒ කාලෙ බේකර් විදියෙ නොම්මර තිබිල තියෙන්නෙ 100 ට වෙනකන් විතරයි. ඒක නිසා තමයි සර් ඩොයිල් ඔහුගේ කතාවට කල්පිත නොම්මරයක් වෙච්ච 221B යොදා ගත්තෙ. ඒකට හේතු තිබ්බ. 1930 දී බේකර් විදියෙ නොම්මර වැඩි කලාම නොම්මර 219 ඉඳන් 225 දක්වා හම්බෙලා තියෙන්නෙ Abbey National කියන බැංකුවෙ බිල්ඩිමකට. ඉතින් එදා ඉඳන් ලෝකෙ නං දෙසින් හෝම්ස් ට එන ලියුං බැංකුවට එන්න ගත්තලු!. කොච්චර ලියුං ආවද කිව්වොත් බැංකුවෙන් පූර්ණ කාලීන 'හෝම්ස් ගෙ ලේකම්' තනතුරකුත් දීල තිබ්බලු කෙනෙකුට, එන ලියුං වලට උත්තර ලියන්න. ඉතින් හිතන්න, එච්චර කාලෙකට පස්සෙත් එහෙම ලියුම් එනව නං, සර් කොනන් ඩොයිල් ඔය කතා ලියන දවස් වල ඇත්ත නොම්මරයක් දුන්න නං එහෙම කොහොම වෙයි ද?අද අපි දකින හෝම්ස් ගෙ ගෙදර හෙවත් 'ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරය' ආරම්භ වෙලා තියෙන්නෙ එක්දහස් නවසිය අනු ගණන් වල. ඒ වෙලාවෙ නොම්මර 221B ඒ කෞතුකාගාරයට දෙන්න කියල කොච්චර ඉල්ලීම් කලත් බැංකුවෙන් ඒකට කැමති වෙලා නෑ. පස්සේ 2002 වර්ෂේ බැංකුව ඔතනින් අරන් ගියහම තමා කෞතුකාගාරයට ලියුම් එන්න පටන් අරන් තියෙන්නෙ. මේ තියෙන්නෙ අද ඒ බිල්ඩිම. කෞතුකාගාරය තියෙන්නෙ ඕකට පොඩ්ඩක් එහා.
ප.ලි.
මේ තියෙන්නෙ ෂර්ලොක් හෝම්ස් ගෙ බාත් රූම් එක. ඒක දැක්කට පස්සෙ තමයි මම දැනගත්තෙ හෝම්ස් ලංකාවෙ කොල්ලෙක් කියල. හොඳයි දන්න වොට්සන් කෙනෙක් ඉන්නව නං කියන්න බලන්න ඒක කොහොමද හොයාගත්තෙ කියල.  :D

Thursday, 20 October 2011

තමුසෙගෙ තාත්ත නළුවෙක්ද?


පහුගිය දවසක මගේ ඉස්කෝලේ යාළුවො කට්ටියක් සෙට් උනා. සමහරු ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙ දැක්කමයි. ඉතින් හේමන්ත ඍතුවේ හවසක,  ගිනි සීතලේ, තේම්ස් ගඟේ පාවෙන බෝට්ටුවක ඩෙක් එක උඩට වෙලා අපි පැය ගානක් තිස්සෙ පරණ පට්ටන්දර දිග ඇරිය. ඒ අලුත් වෙච්ච මතකයත් එක්ක මට හිතුන පරණ ඉස්කෝලෙ කතා ටිකක් කියන්ඩ. මම කලින් පෝස්ට් එකකත් කිව්වනෙ අපේ පන්තියෙ අමුතු අමුතු චරිත හිටිය කියල. ඔයින් එක්කෙනක් තමා කෙපා. කෙපාගෙ කෙප්ප ගොඩක් තිබ්බත් කෙප්ප සිරිස් එකේ ආරම්භය විදිහට අපේ පන්තියෙ සාමාජිකයො සලකන්නෙ මේ කතාව. ඒ දවස් වල මිනිහ වාඩි වෙන්නෙ මට එහා පැත්තෙ. දවසක් පීරියඩ් එකක කෙපා ඉස්සරහ පේලියෙ එකත් එක්ක බර කතාවක්. මමත් වෙන මොකද්ද වැඩක් කරන ගමන් ඇන්ටනාව දාගෙන හිටිය. කෙපා ඊට කලින් සතියෙ වෙච්ච චන්ද්‍රග්‍රහණයක් ගැන ඉස්සරහ පේලියෙ එකත් එක්ක කියවනව. 
'මචන් උඹ බැලුවෙ නැද්ද? මාර ලස්සනට හඳ වැහෙනව බන්. කියල වැඩක් නෑ. මම දැක්කමයි එහෙම එකක්'
'නෑ බන්, මට බලන්න බැරුව ගියා. කාටද බන් පුළුවන් රෑ 12 ට ඇහැරගෙන ඕව බලන්ඩ'
'උඹට මාර චාන්ස් එකක් මිස් වෙලා තියෙන්නෙ. අවුරුදු ගානකට සැරයක් ඔය වගේ එකක් වෙනව කියන්නෙ මචන්.'
එහෙම කියල දැන් කෙපා හෝ ගාල චන්ද්‍රග්‍රහණය වෙච්ච හැටි ගැන කියවනව. මමත් ඉතින් තාම ඇලට් එකේ ඉන්නව.
'උඹ කියන විදිහට ඔච්චර සිරා නං උඹට තිබ්බෙ ෆොටෝ එකක් ගන්ඩ' ඉස්සරහ හිටපු එකා කිව්ව.  
'මම ෆොටෝ එකක් ගත්ත'
'එහෙනං ගෙනෙන්කෝ අපිටත් බලන්ඩ'
'නෑ බන්, ෆොටෝ එකා සුද්ද කරලා බලද්දී කාක්කෙක් පියාඹල ඒක වැහිලා'
'මචන් කෙපා' මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය මමත් සෙට් උනා.
'ඇයි'
'අපේ පැත්තෙ නං රෑ 12 ට පියාඹන්නෙ වවුල්ලු. උඹලගෙ පැත්තෙ කාක්කොත් පියාඹනවද?'
පොරට කට උත්තර නෑ! එදා ඉඳන් තමා ඌ කෙපා උනේ!

කෙපා ඒ දවස් වල, ඒකියන්නෙ අපි දිග කලිසමට බැහැපු මුල් දවස් වල,  අඳින්නෙ ටයිට් කලිසම්. හරියට අර 70 දසකේ බෙල් බොටම් වගේ එව්ව. හැබැයි බෙල් එක නැතුව මොකද එහෙම ඇඳලා ඉස්කෝලෙ ඇතුලට එනව බොරු. දවසක් ෆ්‍රී පීරියඩ් එකක අපි පිස්සු කෙල කෙල ඉද්දි අංශ භාර ගුරුතුමා කඩා වැදුන වේවැලකුත් අරගෙන. අපි ගොඩ දෙනෙක් ට නැවත හිටපු තැන් වලට යන්ඩ පුළුවන් උනත් කෙපා ට වෙලාවට දුවගන්ඩ බැරි උනා. 
'තමුසෙලට ෆ්‍රී පීරියඩ් එකක් හම්බුනාම අනික් මිනිස්සුන්ට කරදරයක් නොවී ඉන්ඩ බැරිද? තමුසෙ මෙහෙ එනව!' පොර කතා කරේ කෙපාට.
කෙපා මරන්ඩ ගෙනියන හරකෙක් වගේ ඉස්සරහට ගියා. අපේ අංශ භාර පොර සැරයි. ඒ වෙලාවෙ තවත් මල පැනල හිටියෙ. දැන් පොර වේවැලත් උරුක් කරන ඉන්නව කෙපාට නෙලන්ඩ. අපි දැන් බලාගෙන ඉන්නව කෙපාට නොසැහෙන්ඩ වේවැලෙන් කන්ඩ වෙන හැටි. හැබැයි උනේ අපි කවුරුත් නොහිතපු දෙයක්.
කෙපා ඉස්සරහට ගිය ගමන් අත්දෙක එකතු කරල සර් ට වැන්ද!.
'සර් සමාවෙන්ඩ සර්!'
'ගහන්ඩ එපා සර්'
කෙපාට නෙලන්ඩ  ගියපු සර් එක පාරට මේක උන ගමන් නැවතුනා. මාරා වේස වෙලා හිටපු සර් ට එක පාරට බකස් ගාල හිනා ගියා.
'තමුසෙගෙ තාත්ත නළුවෙක්ද?' 
ඒ පාර අපේ එවුන් බඩවල් අල්ලන් හිනා වෙනව. 
'මෙයාගෙ තාත්ත නළුවෙක්ද?' සර් අපෙනුත් ඇහුව.
'නෑ සර් ඉන්ජිනියර් කෙනෙක්. හැබැයි හොඳට රඟ පාන්ඩත් දන්නව!' ඉස්සරහ හිටපු එකෙක් කෑ ගැහුව.
'හ්ම්! සමාවෙන්ඩත් කිව්වනෙ. කමක් නෑ. අදට යනව. ආයේ අහු උනොත් හම ගහනව.' සර් කිව්ව.
මේ වෙච්ච දේ ගැන දෙයියන්ට පින් දිදී කෙපා ආයේ තමන්ගෙ තැනට ගියා. ටයිට් කලිසමක් ගහන් නලෝ නලෝ කෙපා යන තාලෙ දැක්කම සර් ආයේ කතා කරා.
'හෝව් හෝව්! මෙහෙ එනව මෙහෙ එනව!'
මේ මොන මරාලයක් වෙන්ඩ යනවද කියල හිතා ගන්ඩ බැරුව කෙපා ආයේ ආව. පංතියෙ කොල්ලොත් බලන් ඉන්නව මේ මොකෝ වෙන්නෙ කියල. 
'තමුසෙගෙ කලිසම මොකෝ මෙච්චර තද??'
සර් එහෙම ඇහුව විතරයි මුළු පන්තියම සිනා සාගරයක් උනා. ඒ දවස් වල කෙපා තියන හැම ස්ටයිල් එකක් ම ට්‍රයි කරනව.
'තමුසෙ හෙට එනකොට තාත්තට කියල ලියුමක් ලියාගෙන එන්ඩ ඕනෙ. "මගේ පුතාගේ කලිසම් මෙච්චර තද ඇයි?" කියල!'
දැන් පන්තියෙ එවුන් පෙරලි පෙරලි හිනා වෙනව. කොහොමහරි කෙපා ගේ තාත්ත ෆිට් පොර. පොර පහු වෙනිද ලියල දීල තිබ්බ ' මේ වයසේ ළමුන්ගේ සිදුවන සීග්‍ර වර්ධනය නිසා, මුලින් බුරුලට මැසුවද දැන් කලිසම් හිර වී ඇත' කියල. කෙපා ඊට පස්සේ ඔය 'සර් සමාවෙන්ඩ සර්' ජවනිකාව රඟපාලා ගොඩක් ගුටිකෑම් වලින් ගැලවුනා. හැබැයි මිනිහට වැඩ වැරදුනේ ඉස්කෝලේ වසවර්ති සර් කෙනෙක් වෙච්ච කැඩෙට් භාර සර් ගෙන් ගුටි කන්න උන වෙලාවෙ. ඒ වෙලාවෙ කෙපා 'සර් සමාවෙන්ඩ සර්' එකේ දෙවෙනි 'ස' යන්නට එද්දී කරකැවිල වැටෙන්න කම්මුල් පාරක් හම්බුනා. එයින් පස්සෙ ඌ නෙවෙයි ආයෙ සමාව ඉල්ලන්ඩ ගියෙ.

කෙපා වගේම අමුතු චරිතයක් තමා අපි ගාව කාලයක් වාඩි වෙලා හිටපු පසනා. පසන ගේ තාත්ත ප්‍රයිවට් කම්පැනි එකක ඩිරෙක්ටර් කෙනෙක්. අම්ම ලෝයර්. උගෙ ගෙදර, මිනිස්සු ගානට වඩා වාහන. හැබැයි කවදාවත් ඌ ඉස්කෝලෙ විෂයන් ගානට හරියන්න පොත් ගෙනාවෙ නෑ. පොර අරන් ආවෙ පොත් තුනයි. හරියට කිව්වොත් පොත් දෙකයි, ඩයරියයි. එක පොතක් ගණන් ලියන්න. අනිකෙ විද්‍යාව. ඉතුරු ඔක්කොම විෂයන් ඩයරියේ ඒ ඒ වෙලාවට පෙරලෙන කොලේ! දවසක් සිංහල පීරියඩ් එකේ සර් මොනවද කියෙව්ව අපිට ලියගන්ඩ. අපිත් ඉතින් අසා ලිවිම කරනව. පසනා උගෙ ඩයරියේ ලියනව. පන්තියෙ ඇවිද ඇවිද කියවපු සර් මේක දැක්ක. සර් ආව පසන් ගාවට.
'නැගිටිනවා! තමුසේ මොකද ඩයරියක ලියන්නෙ? පොතක් නැද්ද?'
පසනා නැගිට්ට.
'තිබ්බ සර්!'
'තිබ්බ ? මොකෝ උනේ ඒකට?'
'ඒක ඉවර උනා සර්'
'ඉවර උනානං අයිසේ අලුත් පොතක් ගන්ඩ එපැයි'
ඊට පස්සෙ පසනා බොහොම දුක්මුසු හඬකින්, දුක මූණක් දාගෙන කිව්ව මෙන්න මෙහෙම.
'තාත්ත කිව්ව සර් මේ මාසෙ පඩි හම්බුනාම පොතක් අරන් දෙන්නං කියල !'
මට පනින්න ගියපු හිනාව බොහොම අමාරුවෙන් විකාගෙන, ඒත් අමාරු නිසා ඩෙස්ක් එක හයියෙන් අල්ල ගත්ත. ඒත් නිකන් ඇඟ ගැහෙනව වගේ. පන්තියෙ අනික් කොල්ලො හයියෙන් පැන්සල්, පෑන් විකාගන්නව, ඩෙස්ක් අස්සේ ඔලුව හංගගෙන හිනාව තද කරන්  ෆිට් එක හැදිල වගේ ගැහෙනව මම ඇස් කොනින් දැක්ක. පසනගේ පැටිකිරිය දන්නෙ නැති සර් හිතුවේ මු සිරාවට කිව්ව කියල. සර්  ගේ මූණ එක පාරට වෙනස් උනා.
'ආ කමක් නෑ පුතා. හවසට යනකොට එන්න මාව හම්බෙන්න. මම පොතක් අරන් දෙන්නං'
'නෑ සර් කමක් නෑ'
' නෑ. නෑ ලැජ්ජ වෙන්ඩ එපා. මම අරන් දෙන්නං'
'නෑ සර් තාත්ත කියල තියෙනව කාටවත් කරදර කරන්න එපා කියල'
'හ්ම් එහෙනං කමක් නෑ. වාඩි වෙන්න. ඔය වගේ දෙයක් ඕන උනොත් බය නැතුව මට ඇවිත් කියන්න'
'හා සර්!'
සර් ආයෙ කියවන්න ගත්ත. ඔය දෙබස තව එක වචනයක් ඉස්සරහට ගියානං පන්තියෙ කොල්ලො ටික තද කරන් හිටපු හිනාවල් බඩ ඇතුලෙ පුපුරල මැරෙනව!! 
ඔය මොන මගෝඩි කරත් පසනා තමන් ගේ ආස විද්‍යා විශයෙන් ඉස්සරහට ගියා. ( ඌ ගණන් වලට වෙනම පොතක් ගෙනාවෙ, කොටු රූල් ඩයරි හොයාගන්න නැති නිසා). පසනා දැන් ඩොකෙක්. හැබැයි උගෙ මගෝඩි කට නං හැදිල නෑ. ඌට ලංකාවෙ ස්පීඩ් ලිමිට් අදාළ නෑ. හය්යෙන් ගිහින් අහුඋනොත් දෙන ස්ටෑන්ඩඩ් උත්තරේ, ඩොකා අයිඩෙන්ටිය පෙන්නල 'මම අහවල් හොස්පිටල් එකේ ඉන්නෙ, මේ හදිසියක් කියල කෝල් එකක් ආව. ඒකට යනගමන්' කියල කියනව. පොලිසියත් 'හා එහෙනං යන්ඩ සර්' කියනව විතරක් නෙවෙයි, සමහර වෙලාවට ඉස්සරහ චෙක් කරන්න ඉන්න අයට කියනව මේ නොම්මරේ තියෙන වාහනේට යන්න දෙන්න කියල. උගෙන් බෙහෙත් ගන්න මිනිස්සුන්ට මොනව කියනවද කියල දෙයියො තමා දන්නෙ.


image: http://es.toonpool.com/cartoons/full%20time%20school_21754

Tuesday, 4 October 2011

සල්ලි දී ගල් බැලීම.....

පහුගිය දවසක මගෙ අපාය සහායක මිත්‍රයෙකුගෙන් එනව කෝල් එකක්.
"මචන් උඹ වීක්එන්ඩ්  එකේ මොනවද කරන්නෙ?"
"දැනට මුකුත් ප්ලෑන් එකක් නෑ මචන්. ඔය කඩේ යන ගෙවල් අස් පස් කරන වගේ එව්ව තමා තියෙන්නෙ"
"උඹ නිකන් බැඳපු එකෙක් වගේනෙ බන් කතාව !"
"ඇයි බොලාගේ ගෙදර අස් පස් කරල දෙන්නෙ පොලිසියෙන්ද.....?? "
"හරි හරි බන්, ඒක නෙවේ, වීක් එන්ඩ් එකේ මොනව හරි කරමු "
"මොනවද ඉතින් කරන්නෙ? "
"අර රොබින් හුඩ් එකේ පෙන්නපු ගල් බලන්න යමුද? "
"සල්ලි දීල ගල් බලන්න? බොලා වගේ යාළුවො ඉන්නකන් අපිට හතුරො ඕනෙ නෑ.....!!!! "

ඔන්න ඉතින් ඔහොම තමයි අපි සල්ලි දීල ගල් බලන්න යන්න සෙට් උනේ. දුරු කතර ගෙවාගෙන බලන්න ගියපු ඒවයෙ පින්තුර තමා ඔය පහල තියෙන්නෙ.


මේ තියෙන්නෙ Stonehenge. මේක තියෙන්නෙ එංගලන්තෙ සොල්ස්බරි කියන නගරේ. රොබින් හුඩ් කතා මාලාව බලපු අයට නං මේක මතක ඇති. මේක හදල තියෙන්නෙ මිට අවුරුදු 5000 කට විතර කලින්. නමුත් අද වෙනකන් කවුරුත් හරියටම දන්නෙ නෑ මේක හදපු එකේ පරමාර්ථය මොකක්ද කියන එක.  මේව ටොන් ගණනක් බර පාෂාණ. මේ විදිහේ පාෂාණ මේ නගර කිට්ටුවෙන් හොයා ගන්න නෑ. ඒ කියන්නෙ මේක හදපු අය මේ පාෂාණ කොහේ හරි ඉඳන් මෙතනට ගෙනල්ල තියෙනව. ඒ විතරක් නෙවෙයි. ඒව මේ විදිහට හැඩතල වලට කපල, කෙලින් හිටවලත් තියෙනව. දැන් කාලෙ වගේ  දොඹකර, බැකෝ යන්ත්‍ර, ඉංජිනේරුවන් නැතිව මේ වගේ දෙයක් අවුරුදු 5000 කට කලින් කලේ කොහොමද කියන එක ගැටළුවක්. අද මේ නටබුන් වටේම පැතිරිලා තියෙන්නෙ තැනිතලා මිටියාවතක් උනත්, ඒ කාලෙ මේක පයින් ගස් බහුල වනාන්තර ප්‍රදේශයක් ව තිබුණු බව තමයි අපිට එතැනදී කියපු විස්තර වල තිබ්බෙ.
තවත් දෙයක්. අද මේ අපි දකින ස්ටෝන් හෙන්ජ් එක නෙවෙයි මෙතන මුලින් ම හැදිලා තියෙන්නෙ. මුලින් තිබිල තියෙන්නෙ දැව වලින් නිර්මාණය උන ව්‍යුහයක්. පස්සේ ඒක නිල් පාෂාණ වලින් නිර්මාණය වෙලා තියෙනව. ඊටත් පස්සෙ තමයි මේ අද අපි දකින නටබුන් වුන නිර්මාණය හැදිල තියෙන්නෙ.  ඔය අවධි තුන ගතවෙන්න අවුරුදු 700 කට විතර කිට්ටු කාලයක් ගත වෙලා තියෙනව. මේ ගොඩනැගිල්ලෙ තියෙන එක විශේෂත්වයක් තමයි එක හරියට කැලැන්ඩරයක් වගේ වැඩකිරීම.  ශීත ඉර්තුවේ එන දහවල කෙටිම දවසෙ ඉර පායන්නෙ හරියටම මේකෙ එක ආරුක්කුවක මැද්දෙන්. ගිම්හාන ඉර්තුවේ දහවල දිගම දවසෙ ඉර පායන කෙලින් තියෙන තවත් ආරුක්කුවක් තියෙනව. 

මේ ගල් කුළුණු මේ වගේ හැඩතලයන් වලට කපල තියෙන්නෙ තවත් පාෂාණ වලින් හදාගත්තු බොහොම ප්‍රාථමික මෙවලම් වලින් පහර දීල. සෑහෙන මිනිස් ශ්‍රමයක් මේ වෙනුවෙන් වැය වෙන්න ඇති. මේ අවට කැනීම් වලින් ඒ දවස් වල සෑහෙන පිරිසක් මේ අවට ලැගුම්ගෙන හිටිය කියල හොයාගෙන තියෙනව. ඒ වගේම තමයි මේ නගරේ පුරා විසිරුණු පුරාණ සුසාන භූමි තියෙනව. තැනින් තැන තියෙන පස් කඳු වගේ ඒව අදටත් දැකගන්න පුළුවන්. මේ මිහිදන් කිරීම් වල අමුතු ලක්ෂණයක් තමයි, එකම පවුලේ කට්ටිය ඔක්කොම එකම තැනක මිහිදන් කිරීම. ඒ වගේම සමහර වලවල් තුලින්, පසුව ඒ වලවල් වලට එකතු කෙරුණු, සිරුරු වගේම, අශ්වයො, බල්ලො වගේ සත්තුත් හම්බවෙලා තියෙනව.

ස්ටෝන්හේන්ජ් එක නරඹන්න එන ජනකාය. මේක වැඩිවෙන්නෙ ගිම්හානයේ දිගම දවස ( Summer Solstice ) සහ ශිතයේ කෙටිම දවස ( Winter Solstice ) දවස් වලට.

පාෂාණ බාල්කයට සවිවෙන්න කණුවක් මුදුනේ කපපු උලක් සහ කණුවේ වහල ඉන්න ස්ටාලින්ග් කුරුල්ලෙක්. ( ඌ රුසියානු දේශපාලනයට කොහෙත්ම සම්බන්ධ නැත! )




ඒ දවස් වල ඔය පාෂාණ කුට්ටි ගෙනාවයි කියන්නෙ මෙන්න මේ වගේ ඇලවල් දිගේ. ඔය කිව්වට මට නං ඕක පොඩ්ඩක්වත් විස්වාස නෑ!. මේ වගේ පොඩි ඇලකින් කොහොමද අච්චර ලොකු ගල් කුට්ටි ගේන්නෙ? හැබැයි අවුරුදු 5000 කට විතර කලින් මේව ලොකු ගංගාවල් වෙලා තිබ්බද දන්නෙ නෑ . සමහර ඇලවල් ඔවුන් තාම හඳුන්වන්නෙ ගංගාවල් විදිහට. සොල්ස්බරි නගරය පුරාම මේ වගේ ඇලවල් දකින්න පුළුවන්. ඒක හරිම ලස්සන මධ්‍යතන යුගයේ ඉඳන් එන නගරයක්. තාමත් නගරේ ඒ ගතිය ටිකක් තියෙනව.ඒ ගෙනාපුව ඊට පස්සෙ කොටන් උඩින් දැන් තියෙන තැනට තල්ලු කරගෙන ගියාලු. මට ඒ කතාවත් සත පහක් වත් විස්වාස නෑ. මේ ඇලවල් තියෙන හරියේ ඉඳන් Stonehenge  එක තියෙන හරියට සෑහෙන දුරයි. අනික සැහෙන්න කඳු. ඉතින් කොහෙද මේව තල්ලු කරන්නෙ? හැබැයි ඉතින් ඒ කාලෙ මිනිස්සුන්ට බ්ලොග් ලියන්න, බ්ලොග් බලන්න, ෆේස් බුක් බලන්න, ටි.වී. බලන්න වගේ වැඩ තිබ්බෙ නැති නිසා සමහරවිට කම්මැලි කමටත් එක්ක කරන්ඩ ඇති. දැන් ඉන්න සුද්දො මේවයෙ විස්තර කියන්නෙ හරියට බලාගෙන හිටිය වගේ! 


දැන්නං මේ ඇලවල් වල ඉන්නෙ මේ ගොල්ලො!. හරිම ලස්සනයි.

Friday, 30 September 2011

සංවේගයෙන් දැනුම් දෙමි.....

බ්ලොග් අවකාශයෙන් අප හඳුනාගත්, බ්ලොග් එකක් නොකෙරුවත්, කොමෙන්ට් වලින් අප හා දැනුම විනෝදය බෙදාගත් බුරා හෙවත් බුරතිනෝ ගේ පියාණන් අභාවප්ප්‍රාප්ත වී ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි.
බුරා ගේ පියාට නිවන් සුව!
බුරා, මේ අසීරු මොහොත දරාගන්නට අවශ්‍ය ශක්තිය ධ්‍ය්ර්ය නුඹට ලැබේවා!

"නොගොස් එන්නට බැරිය 
නෑවිත් යන්නට බැරිය
මෙලොව ඇත්තේ යාම් සහ ඒම් ය........"
                                          -මලගිය ඇත්තෝ 

Tuesday, 27 September 2011

බස්තියන්ගෙ සොහොන, තුන් යහළු වික්‍රමය සහ තවත් කතා සමගින් පරණ මතක.....

මේ සාහිත්‍ය මාසෙනෙ. ඉතින් හැමෝම පොත් ගැන ලියනව. ඉතින් සාහිත්‍ය මාසෙ ඉවර වෙන්න දවසක් හරි තියල මගේ සත දෙකත් ඕකට දැම්මෙ නැත්තන් නිකන් හරි නෑ වගේ. මගේ කියවීමේ ජීවිතේ බොහොම ආසාවෙන් කියවපු ගොඩක් ලේඛකයො ඉන්නව. පොඩි කාලෙ නං පොත පත කියෙව්වෙ හුදු විනෝදෙට. තුන් යහලු වික්‍රමය, බස්තියන්ගේ සොහොන, කල්ලන්දුවේ මුතු කොල්ලය, සෝමපුර වීරයෝ වගේ කතා මම හිතන්නෙ අපි කාටවත් ජිවිතේ අමතක නොවෙන පොත්. ඊට පස්සෙ පරිවර්තන කියවන්න හුරු උනා. කේ.ජි කරුණාතිලක මහත්මයට පින්සිද්ද වෙන්න එඩ්ගර් රයිස් බරෝස් ගේ ටාර්සන් කතා මාලාව මම පිස්සුවෙන් වගේ කියෙව්ව. ඒ කාලෙ ඒව කඩ්ඩෙන් කියවන්ඩ ගියා නං එහෙම කියවන එක නවත්තල ගොඩක් කල්! මම මුලින්ම පරිවර්තනයක් කියෙව්වෙ 'හඬනු මැන නිදහස' කියල සුනිල් මාධව ප්‍රේමතිලක සිංහලට පරිවර්තනය කරපු Cry Freedom කියන පොත. අම්ම ඔෆිස් එකේ පුස්තකාලෙන් මටයි තාත්තටයි පොත් ගෙනල්ල, මගේ පොත් ටික මට දීල, ඔය පොත අරන් තිබ්බ 'මේක එහෙම ඔයා කියවන්නෙ නෑ' කියල. ඒක අහපු වෙලේ ඉඳන් ඕක කියවනකන් නින්ද ගියේ නෑ. අම්මල ගෙදර නැතිවෙන වෙලාවක් බලල ඕක අරන් කියෙව්ව සම්පුර්නෙන්ම. මෙලෝ මගුලක් තේරුනේ නෑ. මොකද මම එතකොට පහ වසරෙ! කව්දෝ මනුස්සයෙක් ව නිවාස අඩස්සියේ තියපු එකක් ගැන කතාවක් කියල විතරයි ඔලුවට ගියෙ. ඔය පොත දකුණු අප්‍රිකාවෙ වර්ණභේද වාදය ගැන ලියවිච්ච පොතක්. සැබෑ සිද්දියක් ඇසුරෙන් ලියඋන එකක්. 

මගේ කවදත් ආසාව තිබ්බේ වීර වික්‍රමාන්විත, ත්‍රාසජනක කතා තියෙන පොත් වලට. ටාසන් කතා මාලාවට මම දැඩිව ඇලුම් කලේ එකයි කියල හිතෙනව. Treasure Island , king solomon's mine's, Around the world in 80 days , Twenty thousand leagues under the sea වගේ කතා බොහොම අසාවෙන් කියෙව්ව. ඕව ඔක්කොගෙම පරිවර්තන කියෙව්වෙ. සමහර ඒව සඟරා වල කොටස් වශයෙන් ඒ දවස් වල ගියා. මුලින්ම ඉංග්‍රීසි පොතක් මුල ඉඳන් අගට කියෙව්වෙ A tale of two cities එකේ සංක්ෂිප්ත මුද්‍රණය. ඉංගිරිසියෙන් කතා කියවන්න පෙළඹුනේ ඉස්කෝලේ මගේ එහා පැත්තෙ හිටපු එකා ලොකු ලොකු කඩු පොත් ගෙනත් පන්තියේ කියවන්න ගත්තම. මම කොහොමද ඌට සෙකන්ඩ් වෙන්නෙ? මට හොඳට මතකයි පොත් ප්‍රදර්ශනයකින් තාත්තත් එක්ක ගිහින් ගත්ත තරමක් ලොකු ඉංග්‍රීසි නවල් එකක්. ගෙදර ගෙනත් මලලසේකර ඩික්ෂනරියත් ළඟ තියන් දුන්න ඇට්ටි හැලෙන්න. පොතට වඩා බැලුවෙ ඩික්ෂනරිය. ඒක මට මතක විදිහට Sin Bin කියල ටීන් නවල් එකක්. එක ඉවර වෙනකන් කියෙව්වෙ නෑ. ඔන්න ඊට පස්සෙ ඉන්ග්ලිෂ් ටීන් නවල්ස් කියවන්න උණක් ආව. ඇත්තටම කිව්වොත් අපේ පංතියේ ගොඩක් එවුන්ට Hardy Boys උණ හැදුන. ඔකේ තියෙන්නේ Hardy කියන වාසගම තියෙන ඇමරිකාවේ නව යොවුන් වියේ ඉන්න අයිය මලෝ දෙන්නෙකුගෙ රජ වැඩ කිඩ. මම හිතන්නෙ අපි එතකොට අට වසරෙ විතර ඇති. Hardy Boys එකේ සිරිස් දෙකක් තිබ්බ. Adventure සිරිස් එකයි. Case Files සිරිස් එකයි. ඔය දෙකේ වෙන වෙනම නොම්මර දාල පොත් තිබ්බෙ. ඉතින් අපි පන්තියට ඇවිත් පම්පෝරි ගහනවා මම අහවල් නම්බර් එක වෙනකන් ඔක්කොම පොත් කියවල ඉවරයි කියල. මට මතක විදිහට Nancy Drew එහෙමත් එහෙන් මෙහෙන් කියෙව්ව. හැබැයි ප්‍රසිද්දියේ නෙවෙයි. මොකද ඒකත් Hardy Boys වගේ එකක්. හැබැයි කතා නායිකාව කෙල්ලෙක්. ඉතින් ඒක කෙල්ලොන්ට තියෙන පොතක්. තාම ළමයි මේ පොත් කියවනවද දන්නෑ.

ඕකත් එක්ක සමගාමීව තිබ්බ අනික් උණ තමා විද්‍යා ප්‍රබන්ධ සහ රහස් පරීක්ෂක කතා කියවිල්ල. රහස් පරීක්ෂක කතා කිව්වොත් ඉතින් ෂර්ලොක් හෝම්ස් ට ගහන්න පුළුවන් ජගතෙක් මට තාම හම්බෙලා නෑ ( අගතා ක්‍රිස්ටිගේ කතා වල මට සර් ආතර් කොනන් ඩොයිල් ගේ තරං ගතියක් නෑ). විද්‍යා ප්‍රබන්ධ වැඩි හරියක් කියෙව්වෙ ආතර් සි ක්ලාක් මහත්මයගේ පොත් තමයි. මොන හේතුවක් නිසාද මන්ද මට රුසියන් සාහිත්‍ය අල්ලල ගියෙ නෑ. ඒකෙ තිබ්බෙ ත්‍රාසය, වීර කමට වඩා ගැඹුරින් මිනිස් චර්යාවන් විනිවිද දැකපු පොත් නිසාද දන්නෑ. මම ගෝර්කි, ටෝල්ස්ටෝයි, ෆ්‍රාන්ස් කෆ්කා (ජර්මානු) වගේ අයගේ කතා කියෙව්වත් කවදාවත් මට අමතක නොවෙන කතා පොත් වලට ඒව ගන්න බෑ. ක්ලැසික් නවල්ස් වලින් මට අමතකම නොවන එක ඇලෙක්සැන්ඩර් ඩුමා ගේ Three Musketeers. සමහර සීන් වලට හිනා වෙලා ඉල ඇදෙනව. ඩුමා ගැන අහල නැති කෙනෙක් ඉන්නව නං, ඔහු තමයි මොන්ත ක්රිස්තෝ සිටුවරයා, යවෙස් ලු මිනිසා වැනි කතා පොත් වල කතුවරය.

මට එතෙක් මෙතෙක් හමු උණ අපේ කාලයේ කතුවරුන් අතරින් මම කැමතිම කතුවරය මට හම්බ උනේ උසස් පෙළ කරන කාලෙදි. ඒ මම කලින් ලිපියකත් කියපු මයිකල් ක්‍රයිටන්. ඔහුගෙ පොත් වල විශේෂත්වයක් වෙන්නෙ කතාවට අමතරව මොනවහරි විෂයක් ගැන සැහෙන්ඩ ඉගෙන ගන්න හම්බවෙන එක. ඔහුගෙ කතා ගැන මෙහෙම කියන්න බෑ. ඒකට දවසක වෙනම පොස්ට් එකක් ලියනව. උසස්පෙළ කාලෙ වෙද්දී ඇත්තටම පොත් කියවන්න වෙලාවක් තිබ්බෙ නෑ. මගේ ජීවිතේ පලවෙනි සහ අන්තිම වතාවට සුකුරුත්තන් ආදර කතා පොතක් කියෙව්වෙ උසස් පෙළ කරන කාලෙදි. ඒ දිනේෂ් කොළඹගේ ලියපු 'සුළඟ වගේ ඇවිදින්' පොත. ඒ දවස් වල හිතට සමීප සබ්ජෙක්ට් එකක් ගැන ලියවිලා තිබ්බ නිසාත්, පොත ලියවිලා තිබ්බ පරිසරය සහ ඒකෙ තිබ්බ අත්දැකීම් අපි ඒකාලේ බොහොමයක් අත් විඳපු සහ අත් විඳිමින් හිටපු අත්දැකීම් නිසාත්, බොරු බොළඳ කවි වලින් පොත පිරිල තිබ්බෙ නැති නිසාත් ඒ කතාව අල්ලල ගියා. ලඟදි මට ඒ පොතේ pdf එකක් හම්බ උනාම අයෙම අතීතෙට ගියා වගේ උනා.

 
උසස්පෙළින් පස්සෙ කතා පොත් කියවන එක සැහෙන්ඩ අඩු උනා. ඊට පස්සෙ වැඩි හරියක් කියෙව්වෙ කළමනාකරණය හා සම්බන්ධ වෙච්ච පොත්. In search of excellence, Good to great, Built to last ඒ අතරින් විශේෂයි. තව ව්‍යාපාරික ලෝකයේ නමක් දිනාගත්තු සුවිශේෂී පුද්ගලයොන්ගෙ ජීවිත කතා කියවන්ඩත් ගත්ත. Virgin සමාගම් වල අයිතිකරු වන Sir Richard Branson ගෙ ජීවිත කතාව තමයි මගේ ප්‍රියතම කතාව. ඔහුගෙ පොතේ නම 'Losing my virginity'. ව්‍යාපාරික කන්‍යාභාවය නැති කරගනිමින්, 'කන්‍යාව' නමින් නම් කරපු තමන්ගෙ ව්‍යාපාරය ජාතන්තර මට්ටමට ගෙනියන හැටි ඒකෙ අපුරුවට විස්තර වෙනව. මම හිතන්නෙ ඔබට හෝ මට ඔහුට තරං ජීවිතයෙ කරදර වලට මුහුණ දෙන්න උනා නං, අපි සටන අත හැරලා ගොඩක් කල්. නමුත් තමන්ට එන බාධක ඉදිරියේ නොසැලී ඉස්සරහට යන්න ඔහුට තිබ්බ ධහිර්ය හිතාගන්න බැරි තරම්. ගොඩක් වෙලාවට ඔය වගේ ස්වයං චරිතාපදාන වල තියෙන්නෙ 'මම පොර' ජාතකේ. හැබැයි Sir Branson ගෙ පොතේ ඔහුට වැරදුනු තැන් පවා ඔහු කිසිම පැකිලීමක් නැතිව විස්තර කරනව.
පොත් ගැන කියද්දි, කියවන්ඩ ආසාවක් ඇති කරවපු දෙමව්පියන් සිහිපත් නොකර බෑ. ඉන්ටර්නෙට් තිබ්බෙ නැති අපි පොඩි කාලෙ, මට ඉන්ටර්නෙට් එක උනේ, නොවරදවා ගෙදරට ගෙනාපු මුතුහර, සිව්දෙස, සමුදුර වගේ සඟරා. රිඩර්ස් ඩයිජස්ට් කියවන්න තරං පුළුවන් කමක් නොතිබ්බ ඒ කාලෙ, එවයේ පරිවර්තන කියෙව්වෙ මුතුහර වගේ සඟරා වලින් තමයි.
අතීතේ ඉඳන් කියවපු පොත් පත් මතක් වෙද්දි ආයෙම අතීතෙට ගියා වගේ. තාමත් ඉස්සර කියවපු පොතක් දැක්කම හරියට පරණ යාලුවෙක් හම්බුනා වගේ හැගීමක් තමා දැනෙන්නෙ.


Image: http://usedbooksblog.com/blog/category/book-statistics/

Friday, 16 September 2011

දුම්රියපලේදී හමුවූ ඇය...


උමං දුම්රිය ස්ථානයෙන් එලියට පැමිණි මම ප්‍රධාන දුම්රිය ස්ථානය කරා ඇදුනෙමි. මා නැගිය යුතු දුම්රියට තව පැයක පමණ කාලයක් ඇත. වෙලාව සවස් කාලය වූ බැවින් ප්‍රධාන දුම්රිය ස්ථානය අතුරු සිදුරු නැතිව පිරි ඇත. නා නා ප්‍රකාරයේ මිනිස්සු කඩි මුඩියේ එහෙ මෙහෙ දුවති. ශීත ඍතුව පැමිණීමට ඇත්තේ තව මාසයක් පමණ කාලයකි. එබැවින්දෝ දුම්රිය ස්ථානයේ විසල් දොරටු වලින් ඇතුලට හමා ආ සීත සුළඟ ඇතුලත සීත ගතිය දැඩි කලේය. මට මහත් බඩගින්නක් දැනුනි. අද උදේ පටන් හරි හමන් යමක් බඩට වැටුනේ නැත. ප්‍රශ්නය කෑම නැති කම නොව තියෙන ඒවා කන්නට අප්පිරිය වීමය. සීරියල් කෑම නං දැන් තිත්තය. නොයෙක් නොයෙක් වෙළඳ නාම. නොයෙක් නොයෙක් රස ඇති සිරියල් අරන් බැලුවද හිතට හරියන එකක් හම්බ උනේම නැත. පෑන් කේක්, වොෆල්ස් මට දැන් අරහන්ය. ජීවිත කාලෙම උදේට ලුණු ඇඹුල් ඇති, උණු උණු බතක් එළවලු ව්‍යංජන සමග කා පුරුදු මට සුද්දගේ රටේ පැණි රස, බඩට නොදැනෙන කෑම අල්ලන්නේ නැති වීම පුදුමයක් නොවේ. හීතල කිරෙන් පෙඟුනු සිරියල් බෝල් එක අරන් සීතලේ කන්නට සැරසෙන මට මතක් වෙන්නේ රතු හාලේ බතුත්, කරවල හොද්දත් ලුණු මිරිසකිනුත් සැදි දුම් දමන බත් පිගානකි. එහෙමත් නැත්තන් ඉඳි ආප්පත්, සැර පොල්සම්බලෙකුත්, පරිප්පු හොද්දකුත් ය. අවුරුද්ද දවසට කිරිබත්, මිරිසට ඉවූ මාළු හොදිත් සමග කන හැටි මට මතකයට නැගේ. ඒ රස දැනුදු මගේ රස නහර කම්පිත කරවයි. අලුත් අවුරුද්දට ගෙදර හිටි කාලයක් මතක නැත. ඊළඟ අවුරුද්දේවත් අලුත් අවුරුද්ද දවසට ලංකාවට යා යුතුය. කැවුම්, අති රස, අලුවා බඩ පැලෙනකන් කෑ හැක.
"Oops ! sorry ....I'm so sorry.."
මම නැවතත් පියවි ලොවට පැමිණියේ හදිස්සියේ දුවද්දී ඇඟේ හැපුණු කෙල්ලක සමාව ඉල්ලන හඬිනි.
"It 's ok ! No worries. "
මම මදහසක් පාමින් ඇයට කීවෙමි. කෝල සිනහවක් පෑ ඈ දුම්රිය වේදිකාවන් ඇති පැත්තට දිව ගියාය. ගෙදර කෑම සිහි වීමෙන් මගේ බඩගින්න තවත් වැඩියෙන් දැනෙන්නට විය.
මගී පර්යන්තයේ බොහෝ දෙනෙක් හිටගෙන උඩ බලාගෙන සිටිති. ඔවුන් බලා ඉන්නේ ඉහලින් සවිකොට ඇති පුළුල් තිර දෙසය. තමන් යාමට නියමිත දුම්රිය පිටත් වන වේදිකාව දර්ශනය වනතුරු ඔව්හු බලා සිටිති. මා යායුතු දුම්රියට තවමත් වේදිකාවක් ලැබී නොමැත. ඇරත් එය පිටත් වීමට තව බොහෝ වෙලාවක් ඇත. මම කන්නට යමක් ගැනීමට දුම්රියපල සිසාරා ඇවිදින්නට වීමි. දුම්රියපලක් වුවද ප්‍රධාන මද්‍යස්ථානයක් බැවින් මෙය ගුවන් තොටුපලකට ටිකක් සමානය. වෙනසකට ඇත්තේ නා නා විධ බදු රහිත සාප්පු වෙනුවට අවන්හල් සහ සුළු කෑම කඩවල් බහුල වීමයි. බඩ ගින්නට අනෙක් හේතුව දවල්ටත් හරි හැටි යමක් බඩට නොවැටිමයි. කාර්යාලයේ කැන්ටිමේ ඇත්තේ තම්බපු එළවලු, තැම්බූ අල, තැම්බූ මාළු වැනි දැය. අඩුම ගානේ ඒවාට ලුණු ටිකක්වත් දමා නැත. අවශ්‍ය පමණට දමාගන්නට ලුණු වෙනම තබා ඇත. එහෙත් එහෙම ලුණු දැමු විට උයන විට එක්කරන රසේ පළාතෙන් වත් නොයයි. " මචන් මුන්ගේ ලිප්වල තම්බන බට්න් එක විතරයි වැඩ කරනව ඇත්තෙ. " කාර්යාලයේ වැඩ කරන ලාංකික මිතුරෙකු වරක් පවසනු මට මතකය. නීරස තම්බපු අල වෙනුවට මම සීතල සැන්ඩ්විච් කෑල්ලක් කා සැනසුනෙමි. කාර්යාලයේ කැන්ටිම මතක් වෙද්දී මට නැගෙන්නේ තරහකි.

කන්නට යමක් ගන්නට සොයමින් මගේ දෙපා දුම්රිය පලේ සැරිසරන්නට විය. නා නා විධ කෑම ජාති, නොයෙක් නොයෙක් විදුලි ආලෝක මැද්දේ විසිතුරු විදුරු රාක්ක වල ප්‍රදර්ශනයට තබා ඇත. ඒවායේ පැහැයත්, සුවඳත්, අසුරා ඇති විදිහත් දකිද්දී කටට කෙල උනන්නේ නිතැනිනි. "යකෝ, කර දඬු දික් වෙලත් උඹේ තාම පොත්තට රැවටෙන කාලෙ ගිහින් නෑනෙ". ලස්සන කෙල්ලෙකු ගැන මා කියූ දෙයකට මිතුරෙකු මට කියූ වදනක් මට සිහිවේ. මේ කෑමත් ඒ කෙල්ලන් වගේ දෝ හෝ යි මට වරෙක සිතේ. ඒවායේ පෙනුමත් සුවඳත් අපුරුය. සමහර විටක, රසත් ඒ වගේ වන්නට ඇත. නමුත් ඒවා ලෙඩ වලට අතවනයි. තෙල් බේරෙන, චීස් පිරුණු නොයෙකුත් විසිතුරු අකාරයෙන් සැරසුණු කෑම දෙස බලමින් මම නැවතත් ඇවිද්දෙමි. දැන් නම් කුමක් හෝ ගත යුතුය. පැය දෙකහමාරක ගමනක් ඇති නිසා, ඊට පෙර කෑවොත් දුම්රියේ දී නිදා ගත හැක.

අවසානයේ හිත හදාගත් මම හිතට ඇල්ලු පේස්ට්‍රි වර්ග තුනකින් ඇනවුම් කලෙමි. මුදල් ගෙවා පාර්සලයත් රැගෙන මම වාඩි වන්නට තැනක් සෙව්වෙමි. මගී පර්යන්තය තවත් සෙනගින් පිරි ඇත. වාඩි වන්නට තැනක් ද නැත. දුම්රිය එනතෙක් හිටගෙන ඉන්නට සිදුවන සේය. මම අයිපොඩය සාක්කුවෙන් ගෙන සිංහල ප්ලේ ලිස්ට් එක තෙරුවෙමි. මෙසේ දුම්රියක් හෝ ගුවන් යානයක් එනතුරු බලා හිඳිද්දී, ගීත වලට සවන් දීමට මම කවදත් ප්‍රිය කරමි. ඉයර් ෆෝන් දෙක කනේ ගසාගත් මම ගීත වලට සවන් දෙමින් කෑම කන්නට පටන් ගතිමි. "තුක් විතරක්!". පලවෙනි කෑල්ල කද්දීම මට එසේ කිය උනේ නිතැනිනි. පෙස්ට්‍රියේ මෙලෝ රහක් නැත. ගානත් වැඩි නිසා, සහ පෙනුමත් හොඳ නිසා මා සිතුවේ එය රස ඇති කියාය. ඇත්තය, අපි හැමදාම පොත්තට රැවටෙන කොල්ලෝය. කෑමේ රස ගැන නොසිතා මම ගීතයටත්, අවට සිදුවන දේ ගැනත් සිත යොමු කරන්නට තැත් කලෙමි. " සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ ......" ගීතය මගේ සවන් පිනද්දී, මම දුම්රියපළේ හනි හනික යන ජේත්තු කාර ලියන් දෙස නෙත් හෙලුවෙමි. සමහරු, මෙලෝ සිහියක් නැතිව විකාරයෙන් මෙන් දුවති, තව සමහරු කිටි කිටියේ තද වූ කොට සායවල් නිසා ඈත් කරන්නට අමාරු දෙපා ළගින් ළගින් තියමින් උස අඩි සපත්තු වලින් අමාරුවෙන් ඇවිදිති. මේ සීතලේ කොටට ඇඳන් තව කොන්දත් කඩා ගන්නට යන හේතුව තේරුම් ගන්නනට මම තැත් කලෙමි.

මගේ සිරි නැරඹීම අවසන් වුයේ, කවුරුන් හෝ මගේ ළඟ සිටින බව දැනිමෙනි. මලු දෙකක් අත් දෙකින් උස්සා 
ගත් චීන කෙල්ලක් මගේ ළඟ සිටගෙන මට යමක් කීමට තැත් කරයි. මම වහා ඉයර් ෆෝන් දෙක ගැලෙව්වෙමි.
"Yes ?"
මා ඇසුවේ ඇය කොපමණ වෙලාවක් එසේ සිටින්නට ඇති දැයි සිතන ගමන්ය.
"Can you do me a help please?"
චීන උච්චාරණයකින් ඈ ඇසුවාය.
"Yeah, tell me"
මා එසේ ඇසුවේ ඇයට අවශ්‍ය උදව්ව කුමක් දැයි සිතෙන් නිශ්චය කරන්නට තැත් කරමිනි.
"Can you buy me a coffee?"
පාරක්, දුම්රියක් පිලිබඳ තොරතුරු ඇසීමක් බලාපොරොත්තු උන මම මෙයින් විපිළිසර වීමි.
"Sorry ?"
මා නැවත ඇසුවේ, මට ඉල්ලු දෙය වැරදියට ඇසුනේ නැති බවටත්, ඇති වූ විමතිය පහ කරගන්නටත්ය.
"Can you buy me a coffee please? From any of these shops is ok"
මම මොහොතකට ගොළු වීමි. මෙවර මම ඇය හොඳින් නිරීක්ෂණය කලෙමි. බැලූ බැල්මට ඇය සිගන්නියක සේ නොපෙනේ. ඇරත් සිගන්නන් ඉල්ලන්නේ සල්ලි හෝ, කෑම ගන්නට සල්ලිය. කෙලින්ම කෑම එකක් අරන් දෙන්නට කියන්නේ කලාතුරකිනි. එයත් කෑම කඩයක් කිට්ටුව නැති විටය. මක්නිසාදයත් එවිට සල්ලි දෙන බව දන්නා නිසාය. එහෙත් මැය ඊට වෙනස් ය. ඇගේ මුහුණේ තිබු විඩාබර බවත්, දෙනෙතේ තිබු ආයාචනයත්, අත් දෙකේ තිබුණු කඩමලු වලින් පිරි ඉරුනු මලු දෙකත්, එහෙත් ඇඳගෙන සිටි පැල්ලම් නොවැටුණු පිරිසිදු ගවුමත් මේ නම් ටිකකට කලින් මටත් දැනුනු මනුෂ්‍ය අවශ්‍යතාවය සපුරා ගන්නට මුදල් නැති නිසා ලැජ්ජාව පසෙකින් තබා කරන අවංක ඉල්ලීමක් බව මට සක්සුදක් සේ පැහැදිලි කළේය . කකා හිටි කෑම උගුරේ හිරවෙන්නට යද්දී මම අමාරුවෙන් වචන ගැට ගැසුවෙමි.
"Ok, come with me "
එතැන තිබු කඩයකට ගිය මම ඇයට කැමති කෝපි එකක් ඉල්ලන්නට කිව්වෙමි. එයට බිල ගෙවන අතරේ, ඇගේ දෑස් සාප්පුවේ වීදුරු රාක්ක වල තබා තිබු අනේක විද රස මසවුළු සිසාරා දිව යනු මම දුටුවෙමි.
"Would you like something to eat?"
මා ඇසුවේ එයට පිළිතුර දැනගෙනය. ඇය අවිහිංසක සිනහවක් පෑවා විනා කිසිත් නොකිවාය.
"Here, take this"
මම වෙනම ඇසුරුම් වල දමා තිබු, ටික වෙලාවකට කලින් මිලදී ගත් කෑම ඈට දෙමින් කීවෙමි.
"It's fresh, I just bought them from that shop"
ඇගේ මුහුණේ ඇති වූ ප්‍රීතිමත් සිනහව 
මගේ කුසගින්න නිවාලන්නට සමත් විය. කෝපි එකත්, කෑම පාර්සලයත් ගත් ඇය, මට ඉස්තුති කොට ඇගේ කිලිටි මලු දෙකත් ඔසවාගෙන යන්නට ගියාය. මම ඇය ඈතට යනතෙක් බලා සිටියෙමි. ඈ උදේට කුමක් කන්නට ඇත්ද? දහවලට කුමක් කන්නට ඇත්ද? හෙට කවුරුන් ඈට කෑම අරන් දෙනු ඇත්ද?
අනේක විධ ප්‍රශ්න මගේ පපුව හිර කරද්දී, මම දුම්රිය වේදිකාවට යන්නට හැරුනෙමි. ඈ කතා කලවිට ගැලවූ අයිපොඩයේ තාමත් ගීත වැයේ. මම ඉයර් ෆෝන් දෙක ගෙන නැවතත් කනේ ගසාගත්තෙමි.

"දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා "
"දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා "
කපුගේ ගේ හඬින් මගේ සවන් පිරි යන්නට විය.............


ප/ලි 
සත්‍ය සිදුවීමක් ඇසුරෙනි

image: http://www.dudleymall.co.uk/loclrail/birmcov.htm

Tuesday, 13 September 2011

මචං මෙහෙත් ජුස් ල ඉන්නවනෙ..!!

අපි ගොඩ දෙනෙක් ඉස්සර ආසාවෙන් බලපු කොමඩි එකක් තමයි මම හිතන්නෙ 'Mind your language'. එක එක රටවල් වලට අයිති ශිෂ්‍යයො ටිකක් හවස පන්තියක ඉංග්‍රීසි ඉගෙන ගනිද්දි වෙන ඉල ඇදෙන සීන් තමයි ඕකෙ තිබ්බෙ. ජාතින් අතර තියෙන විවිධත්වය තුලින් හාස්‍ය රසය නියමෙට මතු කරපු වැඩසටහනක් තමයි ඒක. සමහර වෙලාවට වෙන රටවල් වලට ගියාම සංස්කෘතික, භාෂා වෙනස්කම් නිසා අහන්න දකින්න වෙන අත් දැකීම් ගොඩක් වෙලාවට ඔය වැඩසටහනේ වෙන වැඩ වගේ. ඕකෙ මට මතකයි චරිතයක් තිබ්බ 'සුලි' කියල චීන කෙල්ලෙක්. ඒ කෙල්ලට කොච්චර කරත් 'ර'යන්න කියන්න බෑ. ඒ වෙනුවට කියවෙන්නෙම 'ල'යන්න. මම හිතන්නෙ ජපානෙ අයටත් ඔය ලෙඩේ තියෙනව.

මට එක පාරක් රාජකාරි වැඩකට ඔය ඔලිඳ තියෙන දේශේට යන්ඩ උනා. පලවෙනි දවසේ මීටින් එකකට අපේ පාට්නර් කොම්පැනියෙන් ඇවිත් හිටිය සහිඩ් කියල පොරක්. මිනිහට එදා මීටීම මැද්දෙ යන්ඩ උනා. ඉතින් මම මීටීම ඉවර වෙලා පාට්නර් ගෙන් ඇවිත් හිටපු තව පොරකට කිව්වා 'Ask Zahid to come tomorrow ' කියල. මොකද පහු වෙනිද මීටිමට මිනිහ අත්‍යවශ්‍යම නිසා. ඒ පාර පොර මට කියනව " Mr. Jahid will come " කියල. මම මේ ජහිඩ් ව දන්නෙ නෑ. මම වැඩ කරල තියෙන්නෙ සහිඩ් එක්ක. අනික මිනිහ සීනියර් ලෙවෙල් මැනේජර් කෙනෙක්. ඉතින් මිනිහ මීටිමට ඉන්ඩම ඕනෙ. මම ආයෙ කිව්ව " No no I want Mr. Zahid to come . I don 't know Jahid " කියල. මු ආයෙම කියනව " No no Mr. Jahid will come ". කියල . දැන් මටත් මල! මම කියනව සහිඩ්ට එන්ඩ කියන්ඩ කියල, පොර කියනව ජහිඩ් එයි කියල. ටික වෙලාවකින් තමයි මට ප්‍රශ්නෙ මීටර් උනේ. මෙගොල්ලොන්ගේ උච්චාරණයේ Z අකුරක් නෑ. ඒ වෙනුවට තියෙන්නෙ J. හරියට අර සුලි ගේ ලයන්න වගේ! කොටින්ම ඒ රටේ සහිඩ් ල නෑ, ඉන්නෙ ජහිඩ් ල. සිග් සැග් මැෂින් නෑ , තියෙන්නෙ ජිග් ජැග් මැෂින්! සත්තයි! තව එතකොට zip ෆයිල් නෑ. තියෙන්නෙ ජිප් ෆයිල්! ඔය උච්චාරණ නිසා මීටින් මැද්දෙ හිනාව තද කරගන්ඩ ගිහින් හුස්ම හිර උන වාර අනන්තයි.

දැන් ඔය ඔලිඳ තියෙන දේශේ මුස්ලිම් රටක් නෙ. වෙන වෙන ජාතිනුත් ඉන්නව. නමුත් වැඩිය ඉන්නෙ මුස්ලිම් අය. දැන් ඔය මුස්ලිම් අයයි, යුදෙව් ජාතිකයොයි අතර එච්චර ඇයි හොඳය්යක් නෑනෙ. දවසක් වැඩ ඉවර වෙලා මමයි තව යාළුවෙකුයි ඒ රටේ කස්ටමර් ගේ කොම්පැනියෙ මැනේජර් කෙනෙක් එක්ක පොරගෙ වාහනේ එනව. එන ගමන් මිනිහ ඉතින් හෝ ගාල විස්තර කියවනව. මගදී මිනිහ කියපි " My house is also on this road. Actually it is very close to our national Jew " කියල. 
මම එතකොටයි දන්නෙ ඒ රටේ යුදෙව්වොත් ඉන්නව කියල. සාමාන්යෙන් යුදෙව්වන්ගේ ආගමික මධ්‍යස්ථානයට කියන්නෙ සෙනගොග් කියල. නමුත් ඉතින් මේ ගොල්ලොන්ගේ ඉංග්‍රීසි දන්නා නිසා මේ කිව්වේ රටේ තියෙන යුදෙව්වන්ගේ ප්‍රධාන පල්ලිය ගැන බව හිතාගන්න මට අමාරු උනේ නෑ. මම හැබයි පොරගෙන් යුදෙව්වො ගැන ප්‍රශ්න අහන්න ගියෙ නෑ. මොකෝ පොර කොහොම ගනියි ද කියල දන්නෙ නැති නිසා. පොර ඉතින් මාවයි යාළුවයි හෝටලෙන් දාල ගියා. මම තාම කල්පනා කරනව අපි ලෝකේ රටවල් ගැන දන්නෙ කොච්චර පොඩ්ඩද, ඒ පොඩ්ඩත් කොච්චර වැරදිද කියල. ඉතින් මම ඇතුලට යන ගමන් යාලුවට කිව්ව "මචන් මෙහෙ ජුස් ල ඉන්නව කියල මම දැනන් හිටියෙ නෑනෙ" කියල.
මිනිහත් පුදුමෙන් වගේ මගේ දිහා බැලුව.
"උඹට කව්ද කිව්වෙ මෙහෙ ජුස් ල ඉන්නව කියල?"
"ඇයි බන් දැන් අරු එන ගමන් කිව්වෙ. My house is close to the national jew කියල. ඌ කිව්වෙ මේන් සෙනගොග් එක ගැන මගේ හිතේ"
"උඹට පිස්සුද බන් ?" ඒ පාර මගේ යාලුව බඩ අල්ලන් හිනා වෙනව....!!
"මොකෝ බොල හිනාවෙන්නෙ..!!??? "
"යකෝ ජූ කියල ඌ කිව්වෙ සූ! සූ!. Zoo එකට!! "

බලද්දි මේ යකා ඉන්නෙ සත්තු වත්ත එහා පැත්තෙ!




image: http://www.waterstones.com/waterstonesweb/products/francoise+pascal/mind+your+language+-+please21/8140030/

Thursday, 1 September 2011

ඉතිහාසයේ දරුණුතම මුහුදු කොල්ලකාරයා හෙවත් කළු රැවුලා..


පොඩි කාලෙ ඉඳන් කියවපු පොත් වල, එහෙමත් නැත්තන් බලපු චිත්‍රපටි වල එක එක විදිහේ මුහුදු කොල්ලකාරයන්ගේ චරිත අපිට හම්බවෙනව. මට මෑතකදිම හම්බ උන ඒවගේ චරිතය, මයිකල් ක්‍රයිටන් ( ජුරාසික් පාක් පොතේ කතුවරය ) ලියපු Pirate Latitudes පොතේ එන චාල්ස් හන්ටර්. හැබැයි ඔහු නියම මුහුදු කොල්ලකාර චරිතයක්ම නෙවෙයි. මේ දවස් වල හැමෝගෙම ප්‍රියතම කොල්ලකාරය ඉතින් ජැක් ස්පැරෝ නෙ. ඒත් එදත් අදත් මුහුදු කොල්ලකාරයන් ගැන කියවෙද්දී මට මතකයට එන චරිතය තමයි ට්‍රෙෂර් අයිලන්ඩ් පොතේ හිටපු ලෝන්ග් ජෝන් සිල්වර්. ඇත්තෙන්ම ඊට පස්සේ කාලෙක මුහුදු කොල්ලකාර චරිතවල බාහිර පෙනුම ආභාසයට අරන් තිබුනේ ලෝන්ග් ජෝන් සිල්වර් ගේ පෙනුම. නමුත් මේ හැම එකක්ම ප්‍රබන්ද චරිත. 
මේ චරිත වලට වස්තු බීජය වෙච්ච, ලෝකේ ප්‍රධාන මූදු මාර්ග, වරායවල් සහ නාවික හමුදාවන් පවා භීතියට පත් කරපු එක් සැබෑ මුහුදු කොල්ලකාරයෙක් හිටිය. ඔහු තමයි 'බ්ලැක් බියර්ඩ්' හෙවත් 'කළු රැවුලා'.බ්ලැක් බියර්ඩ් ගේ ඇත්ත නම මොකද්ද කියන එක කවුරුවත් දන්නේ නෑ. මොකෝ ඇත්ත නම් කියල මංකොල්ලකන්නේ නෑනෙ. නමුත් ගොඩක් පිළිගන්න විදිහට ඔහුගේ ඇත්ත නම එඩ්වඩ් ටීච්. ඉපදිලා තියෙන්නේ එංගලන්තේ බ්‍රිස්ටල් නගරයේ. 1600 ගණන් වල අගභාගයේ ඉපදුනු බ්ලැක් බියර්ඩ්, මුලින් ම රැකියාව පටන් අරගෙන තිබ්බෙ Privateer කෙනෙක් විදිහට. Privateer කියන්නෙත් Pirate කෙනෙක් තමයි. හැබැයි වෙනසකට තියෙන්නෙ Privateer කෙනෙක් කියන්නෙ කොල්ලකන්න ලයිසන් තියෙන කොල්ලකාරයෙක්. වෙනත් වචනවලින් කිව්වොත් කුලී හේවායෙක්. 
ඒ දවස් වල ඔය ප්‍රන්ශේ, එංගලන්තේ, ස්පාඥඥය වගේ රටවල්, තමන්ගේ කොලනි ව්‍යාප්ත කරගන්න වලි කෑවනේ. ඒ දවස් වල ඉතින් ඔය රටවල් අතර යුද්ධ ඇති වෙනව. මේ වගේ යුද්ධ කාල වල සතුරු රටේ නැව් වලට පහර දෙන්න, ඒව කොල්ලකන්න කුලී නවිකයින්ව යොදා ගන්නව. 18 ශතවර්ෂයේ මුල් භාගයේ, ඇති වුන ප්‍රංශය සහ එංගලන්තය අතර යුද්ධයේ දී එඩ්වඩ් ටීච් Privateer කෙනෙක් විදිහට කටයුතු කරලා තියෙනව. නමුත් ප්‍රශ්නය පැන නගින්නෙ මේ යුද්ධය අවසාන වෙනවත් එක්කම. එංගලන්තය කරන්නෙ තමන් යටතේ හිටපු privateers ල ගේ සේවාවන් නවත්තනවා විතරක් නෙවෙයි 50, 000 විතර වෙච්ච තමන්ගේ නාවික හමුදාවත් 15, 000 කට විතර බස්සනව. ඉතින් යුද්ධෙ කාලේ වැඩ කරපු කුලී හේවායොන්ට රැකියා නැතුව යනව. ඉතින් මේ අය මොකද කරන්නෙ, යුද්ධය නැති උනත් තමන්ට පුරුදු රැකියාව දිගටම කරගෙන යනව. හැබැයි, දැන් ඔවුන් නීතියෙන් දඬුවම් ලැබියහැකි කොල්ලකාරයෝ. 
මේ කාලය වෙද්දි බහමාස් ආශ්‍රිත New Providence දූපත ආශ්‍රිතව මුහුදු කොල්ලකාර සමාජයක් ගොඩ නැගෙනව. එඩ්වඩ් ටීච් හෙවත් බ්ලැක් බියර්ඩ් තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කරන්නෙත් ඔය දූපත ආශ්‍රිතව. උපතින්ම උත්තුංග දේහයක් සහ නායකත්ව ගති ලක්ෂණ තියෙන ටීච්, වැඩි කල් යන්න කලින් කුඩා සුලුප්පු (කුඩා රුවල් නැවක්) 2 ක් යොදා ගෙන කොල්ලකන්න පටන් ගන්නව. නමුත් තාමත් ඔහු එතරම් ප්‍රසිද්ද කොල්ලකාරයෙක් නෙවෙයි. ඔහුගේ නැගීම පටන් ගන්නේ 1717 නොවැම්බර් මාසේ දවසක. 
ඈතින් යන විශාල රුවල් නැවක් දකින ටීච් ඒ නැව ලුහු බඳින්න තමන්ගෙ සගයන්ට අනකරනව. ප්‍රමාණය හා හැඩය අනුව එය වහලුන් අරගෙන යන නෞකාවක්. මේ වගේ නෞකා හොඳට සන්නද්ධ සහ වේගයෙන් යාත්‍රා කරන්න පුළුවන් ඒව. ඉතින් ටීච් ගේ කණ්ඩායම ප්‍රශ්න කරනව ඒ වගේ නැවක් කොල්ලකන්න ගිහින් තමන්ට ඉල්ලගෙන කන්න වෙන එකක් නැද්ද කියල. නමුත් ටීච් ගේ අදහස වෙන්නෙ, මාස ගානක් මුහුදෙ ඉඳල නැවේ කළමනා සෑහෙන දුරට හිස් වෙලා, මිනිස්සු ලෙඩ හැදිලා හෝ මැරිලා බොහොම අසරණ තත්වයෙන් ඇත්තේ ඒක නිසා කොල්ලකන්න ලේසි වෙයි කියන එක. ටීච් ගේ අදහස හරි බවට ඒත්තු යන්නෙ ඔවුන් ඒ නැව අල්ලගත්තට පස්සෙ. වැඩි කරදරයකින් තොරවම, ගමන් විඩාවෙන්, ලෙඩ රෝග වලින්, ආතතියෙන් පෙළෙමින් සිටින ඒ නැවේ කාර්යමණ්ඩලය ටීච් ගේ කොල්ලකාර කණ්ඩායම යටත් කරගන්නව. ටීච් කියන්නෙ දරුණු මංකොල්ල කාරයෙක් කියල මම කලිනුත් කිව්වනෙ. තමන්ගෙ පෙනුම පවා දරුණු කරගන්න ටීච් සැහෙන උත්සහයක් දරනව. 
ඔහු නිතරම පිස්තෝල හතරක් ඉනේ ගහගෙන ඉන්නෙ. ඒ විතරක් නෙවෙයි, තොප්පියට ගිනි නූල් 4 ක් සවි කරල ඒවාට ගිනි දල්වනව. ටීච් ට බොහොම ගන, දිග කළු රැවුලකුත් තිබිල තියෙනව. ටිකක් හිතල බලන්න. උස මහත, මූණ පුරා කළු රැවුල වැවිච්ච, යකෙක් වගේ මිනිහෙක් ඔලුව වටේ පත්තුවෙන ගිනි නූල් හයි කරගෙන, පිස්තෝල රොත්තකුත් ඉනේ ගහගෙන එන දර්ශනය කොහොමද කියල. එක දවසක් ඔහු තමන්ගෙ නැවේ තවත් මිනිහෙකුට කිසිම හේතුවක් නැතුව දණහිසට වෙඩි තියනව. හේතුව ඇහුවම ඔහු කියන්නෙ, තමන් මේ වගේ වත් ඉඳල හිටලා කරේ නැත්තන් නැවේ එවුන්ට තමන් කව්ද කියල අමතක වෙයි කියල. ඉතින් අර නැවේ නැවියෝ විරෝධයක් නැතිවම යටත් වෙච්ච එක පුදුමයක් නෙවෙයි. බලද්දී ඒ නැව La Concorde කියල ප්‍රංශෙට අයිති නැවක්. කාලතුවක්කු වලින් සන්නද්ධ මේ නැව අත්පත් කරගන්න ටීච් ඇතුළු කොල්ලකරුවො, නැවේ කාර්යමණ්ඩලය තමන්ගෙ සුලුප්පුවක පටවල අරිනවා. 
ටීච් නැව අලුතෙන් නම් කරනව Queen Anne's Revenge කියල. ඔහු කුලී හේවායෙක් විදිහට සටන් කරපු Queen Anne 's War සිහිපත් වෙන්න එහෙම කරන්න ඇති. එඩ්වඩ් ටීච් හෙවත් බ්ලැක් බියර්ඩ් ගෙ නම කැරිබියන් දුපත් හරහා වැටුණු මුහුදු මාර්ග ඔස්සේ පැතිර යන්නේ විදුලි වේගෙන්. QAR නැවත්, තවත් සුලුප්පු කිහිපයකුත් යොදාගෙන ටීච් පොඩි මුහුදු කොල්ලකාර හමුදාවක් හදනව. නම ඇහුවත් නැවියන් බයෙන් සලිත වෙන ටීච් ඊට පස්සෙ ගොඩක් නැව් යටත් කරගන්නෙ කිසිම සටනක් නැතුව. මම හිතන විදිහට එඩ්වඩ් ටීච් කියන්නේ පසනල් බ්රැන්ඩින් හොඳට දැනගෙන හිටපු පොරක්. තමන්ගේ දරුණු කම රූපයෙන්, ක්‍රියාවෙන් පෙන්වල, ඒ ප්‍රසිද්දිය උපරිමයෙන් තමන්ගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න ඔහු හැබෑ හපන් කමක් දක්වල තියෙනව. මෑත කාලෙ හිටපු අපි කවුරුත් දන්න ත්‍රස්තවාදියෙක් වෙන බින් ලාඩන්, කෙහෙල් ගහට කෙටුවේ ඇමරිකාවෙ වල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට ගහලනෙ. 
ඒවගේ වැඩි කාලයක් යන්න කලින් එඩ්වඩ් ටිචුත් කෙහෙල් ගහකට කොටනව.ඒ 1718 මැයි මාසෙ. ටීච් ඇතුළු ඔහුගෙ මුහුදු කොල්ලකාර කණ්ඩායම, ඒ වෙනකොට එංගලන්තෙ කොලනියක්ව තිබු ඇමරිකාවෙ චාර්ල්ස්ටන් වරාය වටලනව. ඒක වටලල ඔවුන් යන එන හැම නැවක්ම කොල්ලකනව විතරක් නෙවෙයි, සමහර නැව් කප්පිත්තන්ව ප්‍රාණ ඇපකරුවන් වශයෙන් අරගෙන බෙහෙත් බඩු ඇතුළු නොයෙකුත් දේවල් වලට මේ ප්‍රාණ ඇපකරුවන්ව හුවමාරු කරනව. ටීච් ඇතුළු කොල්ලකාර කණ්ඩායමේ වැටලීම නිසා චාර්ල්ස්ටන් නගරයේ ආර්ථිකය බලා ඉද්දි කඩන් වැටෙනව. ඔවුන් නැවත ඔලුව උස්සන්නෙ ටීච් ට ඇති වෙලා ගියාට පස්සෙ. මේ සිද්දියත් එක්ක එංගලන්තෙ රජය දැනගන්නව තව දුරටත් ටීච් ට ඕන විදිහට නටන්න දුන්නොත් තමන්ට යන එන මං නැති වෙන බවට. ඔවුන් ටීච් ව අල්ලන්න බාර දෙනව ලුතිනන් මේනාර්ඩ් කියල නැවියෙකුට . ඔය චාර්ල්ස්ටන් සිද්දියෙන් පස්සෙ ටීච් ට තමන්ගේ Queen Anne 's Revenge නැව අහිමි වෙනව. ඒ ඒක වැලි පරයක ගැටීමෙන්. හැබැයි ඕක අනතුරක් ද, නැත්තන් ටීච් ඕන කමින් නැව මුහුදුබත් කරාද කියන ඒක අදටත් විවාද වෙන මාතෘකාවක්. ඒක ගැන වෙනම පෝස්ට් එකක් ලියන්ඩ පුළුවන්. 
කොහොමහරි මේනාර්ඩ් ට 1718 නොවැම්බර් මාසෙදි ටීච් ව කොටු කරගන්න හම්බවෙනව. දරුණු සටනකින් පස්සෙ මේ කොල්ලකාරයව සහ ඒ වෙනකොට සැහෙන්ඩ අඩු වෙලා හිටපු ඔහුගෙ කණ්ඩායම පරද්දන්න ලුතිනන් මේනාර්ඩ් ට හැකි වෙනව. මේ සටන අවසානෙ කළු රවුලා හෙවත් එඩ්වර්ඩ් ටීච් සදහටම දෙනෙත් පියාගන්නවා. හැබැයි ඒ කඩු පහරවල් විසි එකකුත්, වෙඩි උණ්ඩ පහකුත් දරාගත්තට පස්සෙ. මේ කොල්ලකාරයාගේ ශක්තිය හිතාගන්න මම හිතන්නේ ඒකම ඇති. ටීච් ව මැරුවට පස්සෙ ලුතිනන් මේනාර්ඩ් කරන්නෙ ඔහුගෙ බෙල්ල කපල තමන්ගෙ නැවේ ඉස්සරහ එල්ලල, සිරුර මුහුදට විසි කරනව. ජනප්‍රවාදයෙ තියෙන්නෙ ඔහුගෙ කවන්ධය දියේ ගිලෙන්න කලින් නැව වටේ කිහිප සැරයක් පීනුව කියල!!!!


Image: http://blunderingbuccaneer.com/?tag=blackbeard

Wednesday, 24 August 2011

මෙන්න ඇමරිකාවෙ ණය!

මේක අද ඊ මේල් එකකින් ආවෙ. පහු ගිය ටිකේ නෙට් එකෙත් ගොඩක් මේ රූප ටික තියෙනව දැක්ක. දැකල නැති අයට දැක ගන්න ඔන්න මම දැම්ම. මේකට නිමිත්ත තමයි ඇමෙරිකාවෙ නිස්සදාතන වගකීම් ( සිංහලෙන් කිව්වොත් unfunded liabilities ) වල අගය ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 114.5 ක් කියල කියනව. මේ ඒ ගාන කොච්චරද කියල පෙන්වන රූප පෙළක්.


ඩොලර් 100නෝට්ටුව. ලෝකයේ වැඩියෙන්ම හොරට අච්චු ගහන මුදල් නෝට්ටුව.

ඩොලර් 10,000. ඇමරිකාවෙදි පාවිච්චි කරපු වාහනයක් ගන්න පුළුවන් ගානක්.

ඩොලර් මිලියනය. පෘතුවිය මත සාමාන්‍ය මිනිසෙකුගේ අවුරුදු 92 ක අදායම ලු!
මේ තියෙන්නෙ ඩොලර් මිලියන 100 ක සයිස් එක ඩොලර් 100 නෝට්ටු වලින්. මිලිටරි ස්ටෑන්ඩර්ඩ් පැලට් එකක් සයිස්.
මේ තියෙන්නෙ ඩොලර් බිලියනයක්! කොහොමද දැන් මිලියනේ පේන හැටි?
මෙන්න ඩොලර් ට්‍රිලියනේ! ට්‍රක් ලෝඩ් කීයක්ද? ඊ මේල් එකේ තිබ්බ විදිහට ජේසුස් වහන්සේ ඉපදුන දවසේ ඉඳන් මේ වෙනකන් දවස ගානේ ඩොලර් මිලියනයක් වියදන් කලත්, තාම ට්‍රිලියනයක් නෑ. එහෙනං වියදන් වෙලා තියෙන්නෙ බිලියන 700 යි. ආර්ථික අර්බුදය කාලේ ඇමරිකාවේ බැංකු ගොඩ ගන්න හරියටම රජයෙන් වියදන් කරපු මුදල!
කලින් පින්තුරෙන් සයිස් එක හිතාගන්න අමාරු උනානං මෙන්න උදව්වක්. මෙහා පැත්තෙ තියෙන්නෙ ඇමරිකන් ෆුට් බෝල් පිට්ටනියක්. එහා පැත්තෙ තියෙන්නෙ යුරෝපිය පාපන්දු පිට්ටනියක් . එක උඩ නවත්තල තියන්නෙ boeing 747 එකක්.  
මේ තියෙන්නේ ඩොලර් ට්‍රිලියන 15 ක්! මේක තමයි ඇමරිකා 2011 අවසානය වෙද්දි ණය වෙන මුදල. මේක මුළු ලෝකයේම දළ ජාතික නිෂ්පාදනයෙන් 20% හා සමානයි!
මේ තියෙන්නේ තමන් ගත්තු ණය, සෞඛ්‍ය පහසුකම්, විශ්‍රාමික පහසුකම්, යුධ වියදම් ආදී සියල්ලේම එකතුව වන ඩොලර් ට්‍රිලියන 114.5, ඩොලර් 100 නෝට්ටු වලින් ගොඩ ගැහුවොත් කලින් ලෝකයේ උසම ගොඩනැගිලි වෙලා තිබ්බ Empire State සහ WTC වලට සාපේක්ෂව ඒකෙ උස. මේ සල්ලි කුලුනේ පාදම කලින් පින්තුර වලට වඩා කුඩයි. පාදම ට්‍රිලියන බාගයක් තමයි සංකේතවත් කරන්නෙ. එහෙම කරල තියෙන්නේ අර ලෝක වෙළඳ මධ්‍යස්ථානේ පාදමේ වර්ගඵලයට සමාන වෙන්න. 

මට ආපු ප්‍රශ්නේ මේකයි. ඇමෙරිකාවට මෙහෙම නං, නිකන් බෙහෙත් දීල, නිකන් උගන්නල, නිකන් උපාධි දීල, නිකන් ඉන්න රස්සා දීල, විශ්‍රාම ගියාම නිකන් ගෙදර ඉන්න විශ්‍රාම වැටුපකුත් ගෙවන ලංකාවෙ නිස්සදාතන වගකීම් මෙහෙම ගොඩ ගැහුවොත් කොහොමට හිටීද කියල. එච්චර උස වෙන එකක් නෑ මයේ හිතේ. මොකෝ අපිට නං 5000 කොලත් තියෙනවනෙ.
අමෙරිකාවේ ණය සහ අනෙකුත් අදායම් වියදම් හරියට ක්‍රිකට් මැච් එකක ලයිව් ස්කෝර් එක වගේ බලාගන්න මෙන්න මේ සයිට් එකෙන් පුළුවන්.

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!