Monday 14 October 2013

ෆින් මැක්කූල් සහ තවත් ගල් කතාවක්!

මතකද එක පාරක් සල්ලි දීල ගල් බලන්න ගියපු හැටි ගැන ලිව්ව? ඒක බලල නැත්තං මෙතනින් ගිහින් බලන්න. ඒ වගේ පාප මිත්‍රයොං ගෙන් මට ඉතින් අඩුවක් නෑනෙ. ඒක නිසා ඔන්න තව පාරක් සල්ලි දීල ගල් බලන්න යන්න සෙට් උනා. කලින් පාර වගේ මේ ලඟ පාත තියෙන ගල් එහෙම නෙවේ, ප්ලේන් එකේ හරි, ෆෙරී එකේ හරි නැගල මූදෙන් එහා ගිහින් බලන්න වෙන ගල්! හැබැයි ඒ ටික දැක්කම නං හිතුන මේ දුර ගෙවාගෙන ආපු එක වටිනව කියල.


මේ ටයිල් අල්ලල වගේ තියෙන ගල් තියෙන්න උතුරු අයර්ලන්තෙ, Giant's Causeway කියන මුහුදු වෙරලෙ. මේ නිර්මානය කරපු ගල් වඩුව තමයි, ස්වභාවධර්මය. නමුත් මේ නම වැටෙන්න හේතු උනු, ඒ වගේම අයර්ලන්ත වැසියන් අතර ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් තියෙනව. ඒ ජනප්‍රවාදයට අනුව මේ ගල් නිර්මානය කරල තියෙන්නෙ අතීතයෙ හිටපු ෆින් මැක්කූල් කියන යෝධයා විසින්. මේ ෆින් මැක්කූල් දවසක් ඒ කාලෙ ස්කොට්ලන්තයෙ හිටපු බෙනැන්ඩොනර් කියන යෝධය ගෙන් ගේම ඉල්ලුවලු. ඉල්ලුව විතරක් නෙවේ, වලියට බෙනැන්ඩොනර්ට අයර්ලන්තයට එන්න පුලුවන් වෙන්න මේ විදිහට ගල් කුලුණු බස්සල පාලමකුත් හදල දුන්නලු. ( හරියට අර හනුමා ඉන්දියාවෙ ඉඳන් ලංකාවට එන්න හදපු පාලම වගේ).




කොහොම හරි ඉතින් ඔහොම් හදපු පාලම් දිගේ දවසක් බෙනැන්ඩොනර් ඇවිත් වලියට. මිනිහ එනව දැක්කම තමා ෆින් මැක් කූල් ගෙ බොක්ක කූල් වෙලා තියෙන්නෙ. මොකද මේ බෙන් කාරය මැක් කූල්ට වඩා සෑහෙන විසාල ලු. ඉතින් මැක් කූල් කාරය බයේ දුවල ගිහින් හැන්ගිලා. මැක් කූල් ගෙ වයිෆ් මේක දැකල බැලුවලු මේ මොන විකාරයක් ද කියල. මොනව උනත් ඉතින් තමන්ගෙ මිනිහනෙ. ඒ වෙලාවෙ ඉතින් මැක් කූල් ගෙ නෝනගෙ හැඳි මිටේ නුවණට මරු අදහසක් ඇවිත්! (ගොඩක් දිග මිටක් වෙන්ටැති ).නෝන කරල තියෙන්නෙ මැක් කූල්ව බබෙක් වගේ අන්දල නලව නලව හිටියලු. ඉතින් බෙන් ඇවිත් ගෙදරට කඩා වැදිල කෝ මැක් කූල් කියල ඇහුවම, නෝන ඊට හයියෙන් ඇඟට කඩා පැනල කිව්වලු " මිනිහ ගෙදර නෑ මට මේ ළමය නලව ගන්න දීල පව් නොදී යනව කියල". එතකොට බෙන් දැක්කලු ළමයගෙ සයිස් එක. පොඩි එකා මේ වගේ නං, තාත්ත කොයි සයිස් ඇතිද කියල හිතපු බෙන් පණ එපා කියල ආයෙම ස්කොට්ලන්තෙටම පැනල දිව්වලු. යන ගමන් මැක් කූල් හදපු පාලමත් කඩා දාමින් තමයි දුවල තියෙන්නෙ. අදටත් ස්කොට්ලන්තෙ වෙරල අයිනෙ දුපතක මේ වගේම පාෂාණ පිහිටීමක් තියෙනව.ඒ විතරක් නෙවේ, දුවද්දි කලබලේට බෙන් ගෙ එක සපත්තුවකුත් ගැලවිලා. මේ තියෙන්නෙ ඒ සපත්තුව. ඕකෙ ෆොටෝ එකක් ගන්න බැරි උන නිසා ගුගලෙන් හොයල තමා දැම්මෙ.

http://en.wikipedia.org/wiki/File:Giants_boot_Dec2004_SeanMcClean.jpg
ජනප්‍රවාදයේ ඔහොම සඳහන් උනත් භූ  විද්‍යාඥයො කියන්නෙ වෙනම කතාවක්. මීට අවුරුදු මිලියන හැටකට විතර කලින් මේ ප්‍රදේශය හරහා ගලාගෙන ගියපු ලාවා ප්‍රවාහයක් හදිසියේ ඝනීභවනය වීම නිසා ඇති උන බැසෝල්ට් කුළුණු විදිහට තමා මෙව්වා හඳුන් වන්නෙ. මැටි පස් තියෙන තැන් වල පායන කාලෙට පොලොව ඉරි තලල යනව දැකල ඇති. මේකත් ඒ වගේම ඉරි තැලීම් වලින් නිර්මාණය උණු පාෂාණ පිහිටීමක්.

උතුරු අයර්ලන්තයේ මේ වගේ ස්වභාවධර්මයෙන් නිර්මාණය වෙච්ච නිර්මාණ වගේම, මිනිසුන් අතින් වෙච්ච් නිර්මාණත් සෑහෙන්න බලන්න තියෙනව. වැඩියම තියෙන්නේ නටබුන් වුනු  බලකොටු, වරායවල් වගේ දේවල්. හොඳකට තියෙන්නෙ මේ ඔක්කොම තියෙන්නෙ Causeway Coastal Route කියල හඳුන්වන, බෙල්ෆාස්ට් නගරයෙන් පටන් අරන් ලන්ඩන්ඩෙරි වෙනකල් දිවෙන මුහුද අයිනෙන් වැටුන පාර දිගේ. ඒ පාරේ හැම සංචාරක ආකර්ෂණයක් ඉස්සරහම මේ වගේ පුවරුවක් සවි කරලා තියෙනව.



එතනට වෙනකල් පහු කරගෙන ආපු ආකර්ශනත්, ඉස්සරහට තියෙන එව්වත් මේ පුවරු වල සඳහන් කරලා තියෙනව හරියට උමං දුම්රිය සිතියමක් වගේ. කලින් කිව්වා වගේ මාර්ගය දෙපැත්තෙම ලස්සන භුමි දර්ශන වගේම පරණ නටබුන් වෙච්ච බලකොටු තියෙනව මේ වගේ.





මේ දර්ශන පහුකරගෙන යන පාර වැඩිය වාහන බහුල නැති නිසාත්, වේග සීමා කැමරා බොහොම අඩු නිසාත්, ටිකක් නිදහසේ පාගල යන්න පුළුවන්. එහෙම යන වෙලාවක තමා එක පාරට අනික් සීට් එකේ හිටපු මගේ මිත්‍රය හොල්මනක් දැකල වගේ කෑ ගැහුවෙ.

" අන්න! අන්න! අර අර!!"

මිනිහ අතින් පෙන්නපු දිහා බලන ගමන් "මොකද්ද? මොකද්ද? " කියල අහනකොටම තමා මම පහු වෙමින් තිබ්බ නාම පුවරුව දැක්කෙ.

"Ballintoy Harbour "
" හරවපං! හරවපං! හරවපං! "

යු ටර්න් එකක් ගහල ආයෙම ඇවිත් බෝඩ් එක ගහල තිබ්බ පාරට හැරෙව්ව වරායට යන්න. මගේ පපුව පලවෙනි පාරට තමන්ගෙ පෙම්වතිය බලන්න යන පෙම්වතෙක් ගෙ වගේ ගැහෙන්න ගත්ත. යකඩ දුපත් වල පයික් වරාය!! ග්රේජෝයි පරම්පරාව වසර ගණනාවක් තිස්සෙ පාලනය කරපු, ඇති ශූර මුහුදු සටන් කරුවන්, දැවැන්ත යුධ නෞකා වලට ප්‍රසිද්ධ, පයික් වරාය!! මම දෑහින් දැක ගන්නයි මේ යන්නෙ. වෙස්ටෙරෝස් රාජධානියෙ කුඩාම ජනාශ්‍රිත ප්‍රදේශයතව ටිකින් මගේ ඉස්සරහ!! මේක කියවන කව්රුහරි ඉතිහාසය ගැන කියවන කොහෙදිවත් වෙස්ටෙරෝස් රාජධානිය ගැන හෝ, යකඩ දූපත් ගැන හෝ අහල නැත්තං පුදුම වෙන්න එපා. ඒව ඇත්ත ලෝකයේ තිබ්බ තැන් නෙවේ. George R R Martin ලියපු A Song of Ice and Fire කියන ප්‍රභන්ධයේ තමා ඔය කියන චරිත සහ ස්ථාන එන්නෙ. 

2011 දී HBO සමාගම විසින් මේ කතා පොත් අලලා කතා මාලාවක් නිර්මාණය කළා Game of Thrones කියල. ඒකෙ ගොඩක් රූපගත කිරීම් කලේ උතුරු අයර්ලන්තයේ. ඒ පොතේ එන යකඩ දුපත් වල පයික් වරාය විදිහට ගත්තෙ මේ Ballintoy කියන පරණ වරාය. කතාව බලපු අයට මතක ඇති දෙවෙනි කතා මාලාවෙ එන මේ දර්ශන පෙළ. මේකෙ Theon ඇවිත් ගොඩ බහින වරාය දර්ශන රූගත කරල තියෙන්නෙ Ballintoy වරායෙ.


මේකතා මාලාව කොච්චර ජනප්‍රිය උනාද කියනව නං උතුරු අයර්ලන්ත සංචාරක මණ්ඩලය වෙනම සංචාරක උපදෙස් පත්‍රිකාවක් නිකුත් කරල තියෙනව මේ කතා මාලාවෙ පසුබිම්තල වලට ගත්තු තැන වලට යන්න උපදෙස් ඇතුව. කඩාගෙන බිඳගෙන ආවට, වරාය දැක්කම මට හිතුන CGI තාක්ෂනය සහ පසුතල නිර්මාණය මගින් මේ තැන කොච්චර වෙනස් කරලා තියෙනවද කියල. උඩ විඩියෝවෙ තියෙන එව්වයෙන්, ගොඩනැගිලි ටික විතරක් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම වරායට ඇතුල් වෙන තැන.




මෙතන ඇත්තටම ඉස්සර ඉඳන් ධීවරයන් පාවිච්චි කරපු වරායක්. දැන් නම් සංචාරක ආකර්ෂණයක් විතරයි මම දන්න විදිහට. මෙහෙ ගොඩක් තැන් වල හරි හමං වෙරලක් නැති නිසා මිනිස්සු මාළු අල්ලන්න සෑහෙන වෙහෙසක් අරගෙන තියෙන බව තමා පෙනුනෙ. මේ වගේ වරායවල දැක්කෙ අඩුවෙන්. වැල් පාලම් වලින් ගිහින්, ප්‍රපාතයන් අද්දර බෝට්ටු පහත් කරල ඉස්සර ධීවරයො මාළු බාන්න ගිය තැන් අපි දැක්ක. වසරේ වැඩි කාලයක් දැඩි සීතලත්, හුළඟත්, වැස්සත් නිසා ඇතිවෙන බාධක මායිම් කරන්නෙ නැතුව ඔවුන් තමන්ගෙ ජීවිකාව ගෙනියන්න කරලා තිබ්බ මහන්සිය පුදුම සහගතයි.

සටහන අවසාන කරන්න කලින් තව වීඩියෝ එකක් දෙන්නන්. Leap Year කියන රොමැන්ටික් කොමඩි එක නොබලපු අය ඉන්නව නං පහල ලින්ක් එකෙන් බලන්න. අයර්ලන්තයේ ලස්සන තවත් හොඳට බලාගන්න පුළුවන් මේ ෆිල්ම් එකේ.

මෙන්න ෆිල්ම් එකට පාර.



මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!