මුණු පොතේ තිබුණු 'පට්ට කෑල්ලක් සහ සාමාන්‍ය කෙල්ලක් අතර වෙනස' යන ඇනලිසිස් එක දැක මට මෙය ලියන්නට සිත් විය. අපි පොඩි කාලේ කෑලි හිටියේ නැත. බඩු හිටියෙත් නැත. පාරවල් හිටියෙත් නැත. හිටියේ ගෑනු ළමයි පමණය. ගෑනු ළමයි, කෑලි, බඩු, පාරවල් බවට පත් වෙන්නට ගත්තේ ටික ටික ලොකු වෙද්දීය. කොල්ලකාරයාට ගෑනු ළමයෙක් ගේ බැල්මට් එක මුලින් ම වැටුනේ 5 වසරේදීය. බර්ගර් නමක් තිබූ, කැරලි සහිත කොණ්ඩයක් ඇති සුදු කෙල්ලෙක් දවසක් පන්තියේදී කොල්ලකාරයාගෙන් ගානක් අසාගත්තාය. බෝධි අංකුරයක් මෙන් සිටි කොල්ලකාරයාද, මේ පිනින් මටත් ගණන් ගොඩ යේවා කියා ගාන කියා දුන්නේය. වැඩේ වැරදුනේ එතැන් සිටය. කෙල්ල ඊට පසු හැම සතියකම කොමල හිනා දමන්නට පටන් ගත්තාය. වැඩේ හරියට තේරුනේ නැතත්, කෙල්ලන් හා කොල්ලන් කතා කිරීම ආනන්තරිය පාපකර්මයක් බව ටෙලි නාට්‍ය වලින් කොල්ලකාරයා ඉගෙන ගෙන තිබුනේය. වැඩේ තවත් දෙල් උනේ කෙල්ල එක සතියක පැමිණ කොල්ලකාරයාට ලස්සන පෑනක් තෑගි කිරීමත් සමගය. ඒකත් රැගත් කොල්ලකාරයා ගෙදර ගියේ පරාණ බයෙන් ය. ගෙදර ගිය ගමන් කලේ පෑන හැන්ගිමය. ( ඒක මගදී විසි කරන්නට බැරි උනේ මොකෝ කියා තාම හිතා ගන්නට බැරිය). ඊලඟ සතියේ පටන් කොල්ලකාරයා ඒ කෙල්ල දිහා බැලුවේවත් නැත. ඒ ආනිසංසයෙන් ඊට අවුරුදු ගානකට පසු කොල්ලකාරයා කෙල්ලන් දිහා බලන්නට පටන් ගත් පසුත්, කිසිම කෙල්ලක් කොල්ලකාරයා දිහා බැලුවේ නැත.
කර දඬු මෝරන විට කොල්ලන්ට ඇති වූ ලොකුම උණ උනේ 'බඩුවක්' දා ගැනීමය. ඒ කාලේ අප හිතා හිටියේ ඒක හරි ලොකු වැඩක් කියාය. බෙල්ලේ ගලක් ගැට ගහන් ගඟක මුදක පනින ඒක ඊට වඩා සුව දායක බව දැනගත්තේ පසුවය. අපේ සෙට් එකෙන් මුලින්ම කෙල්ලෙක් හෙවත් බඩුවක් හෙවත් කෑල්ලක් දාගත්තේ හසිතයාය. මිනිහා පළවෙනියට කෙල්ලත් එක්ක 'ඩේට්' එකකට ගොස් පැමිණි පසු, ඌ එහෙම ගිහින් කලේ මොනවාදැයි දැනගැනීමට අපේ පන්තියේ සිටි අබේට ඕනෑ විය. ඒ දවස් වල පන්තියේ මොකක් හරි කතාවක් පතුරවන්නට ඕනෑ නම් කරන්නට තිබුනේ අබේට කතාව පැවසීමය. අනිවාර්යෙන්ම කතාව කියා අවසානයේ 'මචං උඹට විතරයි මේක කිව්වෙ. වෙන කාටවත් කියන්න එපා' යන කොටසද එකතු කල යුතුය. එවිට පහුවෙනිදා උදේ වන විට මුළු පන්තියේම කොල්ලෝ එක එකාට හොරෙන් කතාව දැනගෙන සිටිති. හසිතයාද වැඩ වරද්දා ගත්තේ අබේට ඔය අවසාන වාක්‍ය කියන්නට ගිහින්ය. පහුවෙනිදා කතාව පමණක් නොව, මෙතන කියන්නට බැරි කාඩ් එකක් ද හසිතයාට වැටි තිබුනේය. හැබැයි නම් තැබීමේ මංගල්‍ය සිදු වුයේ එදා හවස නුගේගොඩ හන්දියේදීය. ඒ හසිතයා කෙල්ලත් එක්ක යන විට දෙනෝදාහක් ඉස්සරහ කොල්ලන් 20 -30 පමණ අලුත් කාඩ් එක කියා හසිතයාට කෑ ගැසිමෙන්ය. ඒක ඇසූ කෙල්ලට අසූ හාරදාහට තද වී, අපි ඔක්කොටම ඔරවා භුමිතෙල් පාරක් කෑ ගැරඬියක සේ අන්තර්ධාන වුවාය. එපමණක් නොව 'හැම මගුලම යාළුවන්ට ගිහින් කියනවා' යයි හසිතයාට දෝස්මුරේ දමා දවස් ගානක් යනතෙක් කතා නොකර සිටියාය. ඒකෙන් අපට ලයිව් ඇක්ෂන් මුවි එකක් අසා ගැනීමේ අවස්ථාව නැතිවී ගියේය.
මේ බඩු කතා කියනවිට මට මතක් උනේ අපිට සාමාන්‍ය පෙළ වානිජ්‍ය ඉගැන්වූ ගුරුතුමියය. 'ඕගොල්ලොන්ට බඩු කිව්වම නිකන් කිචි වගේ නෙ, ඒක නිසා අපි භාණ්ඩ කියමු " කියා බඩු යන වචනය ඇය වානිජ්‍ය ශබ්දකෝෂයෙන් හැලුවාය. ඒ උනාට පන්තියේ හැම එකාගේම බඩු කේස් ඇය දැන සිටියා පමණක් නොව කොල්ලන්ට මොලේ කොලොප්පන් කරගන්නේ නැතුව අධ්‍යාපන කටයුතු කරගන්න උපදෙස් ද දුන්නාය. අපේ කොල්ලෙකුගේ අක්කා කෙනෙක් වරක් 'මොකද මල්ලි මේ ඕගොල්ලො ගැණු ළමයින්ට කතා කරන හැටි' කියා ඇසු විට අපේ එකා කීවේ 'බඩුවට බඩුව නොකියා අහවල් එකක් කියන්නද' කියාය. බලාගෙන යද්දී ඌත් වැරදි නැත. කොල්ලන් කෙල්ලන්ට මොන මොන නම් කීවත්, කෙල්ලන් කොල්ලන්ට මොන මොන නම් වලින් කතා කරනවාදැයි දන්නේ කෙල්ලන්ම පමණය. බඩු කතා කියද්දී, මතකෙට එන කතා ගොඩක් තිබුනත් එව්වා ලියන එක දැන් ටිකක් භයානකය. කිසිම දාක බ්ලොග් එකක් නොබලයි කියා හිතු අපේ පන්තියේ එවුන්ට මගේ බ්ලොගය මාට්ටු වී ඇත. ඒ නිසා මේ දවස් වල පරණ කතා අදින්නේ බොහොම පරෙස්සමෙන්ය. මොකද බැරි වෙලාවත් මගේ පට්ටන්දර කියන්නට උන් බ්ලොගයක් පටන් ගතහොත් මට පාරේ යන්නට රෙදි උවමනා නොවන්නට ඉඩ ඇති නිසාය.