මේ ටිකේම චුරු චුරු වැස්ස. වහිනවා වහිනවා ඉවරයක් නෑ. හැබැයි ඒකත් අර ගෙදරට වෙලා උණු කෝපි කෝප්පයක් අරන් කකුල් දෙක උඩ දාගෙන ෆිල්ම් එකක් බලන්න හිතෙන ජාතියෙ වැස්සකුත් නෙවේ. සීතලට ගුලි වෙලා ඔලුවෙ ඉඳන් පොරවගෙන නිදා ගන්න හිතෙන වැස්සකුත් නෙවේ. නිකන් බොහොම ලාවට මුළු දවස තිස්සෙම වැටෙන එපා කරපු වැස්සක්. අනික ඉතින් ඔය කිව්වට කෝපි බොන්නයි, පොරවගෙන නිදා ගන්නයි කොහෙන්ද වෙලාවක්?ලංකාවෙ නං වැස්ස කාලෙට ගෙම්බො ගෙට එනව. හරියට උන්ගෙ ගෙදර වගේ තමා ඇතුලට එන්නෙ. මට හිතෙන්නෙ එහෙම ගෙවල් ඇතුලට එන්නෙ මදාවි ගෙම්බො. මොකද උන්ව එලියට දාන්න හදනකොට '"පුළුවන්නං යවහල්ල බලන්න " කියන්න වගේ පුටු අස්සෙ, කබඩ් අස්සෙ රිංගනව විතරක් නෙවේ කොහොමහරි කරල එලියට වීසි කරාම ගේ පැත්ත බලාගෙන වැටිල "අඩෝ අපි ඊළඟ පාර බලාගම්මු හරිද? " වගේ ලුක් එකක් දීල තමා යන්නෙ.
දවසේ වැඩ පටන් ගනිද්දි පලවෙනි වැඩේ හැටියට ගෙම්බව කන්න කියල කියනවනෙ. මම නෙමේ මෙහෙම කියන්නෙ. Eat that frog පොත ලියපු බ්‍රයන් ට්‍රේසි (පොරට කලින් මාර්ක් ට්වෙනුත් ඕක කිව්ව) . ඒක සූප ශාස්ත්‍ර පොතක් නෙවේ. කාල කළමනාකරණය, සිංහලෙන් කිව්වොත් Time Management ගැන ලියවිච්ච පොතක්. ඔහු කියන්නෙ මේකයි. අපි වැඩ කරනකොට අපිට කරන්න හිතෙන්නෙ නැති, අකමැතිම වැඩක් තියෙනව. ඒ වැඩේ තමයි අපි නිතරම කල් දාන්නෙ. නමුත් ඒක අපේ ජිවිතේ දියුණුවට, රැකියාවේ දියුණුවට වැදගත් වෙන වැඩක් වෙන්න පුළුවන්. එහෙම වෙලාවට ඒ වැඩේ මුලින්ම කරන්න කියන එක තමයි ඔහු දෙන උපදෙස. උදේම ගෙම්බෙක් කෑවොත්, ඊළඟට දවසේ කරන්න තියෙන කිසිම වැඩක් ඒ තරම් අප්පිරිය නෑ. ඒ වගේ, අමාරුම වැඩේ කලින් ඉවරකරොත් තමන්ට ඊලඟට කරන්න තියෙන වැඩ ඒ තරං අමාරු නෑ කියල අපේ හිත දන්නව. ඒ වගේම අර අමාරු වැඩේ තමන් කොහොමහරි ඉවර කරාය කියන හැඟීමත් එක්ක අපිට සතුටක් ආත්ම විස්වාසයක් ඇති වෙනව. ඒ ආත්ම විස්වාසය තමන්ට අනික් වැඩ සාර්ථකව ඉවර කරන්න උදව් වෙනව.
ඔය ගෙඹි න්‍යාය දවසේ වැඩ වලට විතරක් නෙවේ, තමන්ගේ රැකියාවේ හෝ ඉගෙනීමේ කටයුතු වල දීර්ඝ කාලීන දියුණුවටත් යොදා ගන්න පුළුවන්. ඒකට කරන්න ඕන කන්න ඕන ගෙම්බො මොක්කුද කියල හොයා ගන්න එක. එහෙමත් නැත්තම් තමන්ගේ ඉලක්කය කරා යන්න, තමන්ට කරන්න තියෙන අමාරුම වැඩ ටික මොනවද කියන එක මුලින් අවබෝධ කරගන්න ඕන. මේකට බ්‍රයන් ඔහුගේ පොතේ සඳහන් කරන්නෙ තමන්ගේ ඉලක්කයන් පොතක හෝ කොලයක සටහන් කරන්න කියල. ඒ වගේම ඒ සඳහා කලයුතු වැඩ මොනවද කියන එක පුළුවන් තරම් දුරට ලැයිස්තු ගත කරන්න කියල ඔහු කියනව. මේ ක්‍රමයෙන් තමන්ගේ ඉලක්කය තමන්ගේ මනසේ සුපැහැදිලි කරගත්තම තමන්ට ඒ කරා යන මාර්ගයත්, ඒකෙ යද්දී ගිලින්න ඕන ගෙම්බොත් හඳුන ගන්න පුළුවන්. ඔහු පවසන තවත් දෙයක් තමා අපි කොච්චර වැඩ කෙරුවත්, කොච්චර කාර්යක්ෂම උනත්, අපිට කරන්න තියෙන වැඩ ඉවරකරගන්න අපිට තියෙන වෙලාව ඇතුලත දී බැහැයි කියන එක. ඒක නිසා අපි කරන්න අවශ්‍ය දේවල් මොනවද, අනවශ්‍ය දේවල් මොනවද කියන ඒක වර්ග කරගන්න අවශ්‍යයි. ඒ වර්ග කිරීම තීරණය වෙන්නෙ අර කලින් කිව්ව තමන්ගේ ඉලක්කය මොකද්ද කියන එක මත.
පරෙටෝ ගේ 20/80 න්‍යාය දන්නව ඇතිනේ. බ්‍රයන් කියන විදිහට අපි ගොඩක් දෙනෙක් 80% ප්‍රතිපල දෙන 20% වැඩ අත ඇරලා, 20% ප්‍රතිපල දෙන, 80% ක වැඩ කරනව කියල. ඇත්ත. ගොඩක් වෙලාවට අපි පුංචි පුංචි වැඩ ටික ඉවර කරල ඉන්නව ලොකු වැඩ වලට යන්න කලින්. නමුත් ලොකුම බලපෑමක් කරන්න පුළුවන් අර අපි කරන්න අකමැති වැඩ 20% ට. ඔහු කෘතිය පුරාම කියන දෙයක් තමා කොලයක හිතන්න ( Think on paper ) කියන එක. මොකද කරන්න තියෙන වැඩ හිතේ තියන්න ඉන්නවට වඩා, ලැයිස්තු ගත කළාම, ලිව්වම අපිට කරන්න ඕන දේ වඩාත් පැහැදිලි වෙනව. ඒ තුලින් අපිට තියෙන සීමිත කාලයෙන් කෙරෙන සීමිත වැඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රතිපලයක් ලබන්න පුළුවන්.
කාලය කළමනාකරණය කරන හැටි ගැන ලියවෙච්ච දේවල් ගැන කියවෙනකොට හිතෙන දෙයක් තමා මේ තියෙන දේවල් කරන්න කොහෙද වෙලාවක් කියන එක. ඔය Think on paper න්‍යාය ට අනුව බ්‍රයන් කියන දෙයක් තමයි තමන්ට ඉදිරි මාසෙට කරන්න තියෙන දේවල් ගැන ලිස්ට් එකක් හදන්න කියන එක. ඊට පස්සෙ ඔහු කියනව, සතියක් පටන් ගනිද්දි ඒ සතිය තුල කරන දේවල් ලිස්ට් එකක් හදන්න. ඊටත් පස්සෙ කියනවා දවස පටන් ගනිද්දි එදා කරන්න ඕන දේවල් ගැන ලිස්ට් එකක් හදන්න. ඔය ලිස්ට් තුනම එකකට එකක් සම්බන්දයි. හැබැයි මට හිතෙන හැටියට, කාලය කළමනාකරණය කිරීමේ රහසත් ඒකයි. අපි ඒ වෙනුවෙන් වෙනම කාලයක් යොදවන්න ඕන. එහෙම කලේ නැත්තන් එතන කළමනාකරණයක් නෑ. අනික මාසයක්, සතියක් හෝ දවසක් පටන් ගනිද්දි කරන්න තියෙන වැඩ සැලසුම් කරල ඒ කාල සීමාව අවසානයේදි ආපහු හැරිලා බලපුවම අපිටම මැන ගන්න පුළුවන් අපි ඉස්සරහට ගිහින්ද, පස්සට ගිහින්ද, කොතන හරි වැරදුනාද, කොතනද හරි ගියේ කියන එක. ඒක හරියටම සිතියමක් බලාගෙන ගමනක් යනව වගේ. අපි ගොඩක් වෙලාවට කරන්නෙ සිතියමක් නැතිව ඔහේ තියෙන තියෙන පාරවල් වල ගිහින් කල්පනා කරනවා ඇයි මේ ගමනාන්තයට මෙච්චර දුර කියල.හරි! එහෙනං දැන් ගිහින් ගෙම්බෙක් කමු!