Sunday, 21 August 2011

මම බිලියනපතියෙක් උනොත්!



ඉස්සර ඉස්කෝලෙදි අපි රචනා ලියනව 'මට ලොතරැයියක් ඇදුනොත්' කියල. එහෙම නැත්තන් මම 'කෝටිපතියෙක් උනොත්' කියල. ඉතින් අපි රචනාවට ලියන්නෙ ඔය ලොකු ගෙයක් හදන හැටි, කාර් එකක් ගන්න හැටි ( ඒ දවස් වල දන්න ගණන් ම කාර් ජාතිය බෙන්ස්) ඕව තමයි. ඒ දවස් වල ඉතින් ඉන්ටනෙට්, iPhone, iPad තියා මම හිතන්නෙ අපේ ගෙදර ලැන්ඩ් ෆෝන් එකක් වත් තිබ්බෙ නෑ. ඒක නිසා අපේ සිහින බලාපොරොත්තු සසිරි බර මෙසිරි ලකේ වර්ග කිලෝමීටර් 65000 ඇතුලට සීමා උනා. හැබැයි දැන් ඉතින් ලොකු වෙලා, ගොඩක් දේවල් අහලා, දැකලා, කියවලා, රට රටවල් වල ඇවිදලා ඒ මදිවට ලෝකෙත් දියුණු වෙලා එක යායක් වෙලා තියෙන මේ කාලෙ, එක දවසක් හවස් වරුවක බකන් නිලා ගෙන ඉන්න වෙලාවක මට හිතුන අර පොඩි කාලෙ ලියපු රචනාව දැන් ලිව්වොත් මොනව ලියයි ද කියල (දැන් ඉතින් හිතන්න එපා මූට මේවගේ ඒවද හවස් වෙද්දි හිතෙන්නෙ කියල. උපන් රටෙන් හැතැක්ම දාස් ගානක් දුර රටක තට්ට තනියම ඉද්දි ඉතින් ඔය වගේ මෝල් අයිඩියා තමයි ඔලුවට එන්නෙ).
පටන් ගන්න කලින් මට තේරුන එක දෙයක් තමයි, දැන් කාලෙ තියෙන ඉස්තරම් සැප සම්පත් විදින්න කෝටියක් කොහෙත්ම මදි කියන එක. ඒක නිසා මාතෘකාව 'මම බිලියන පතියෙක් උනොත්'. එකත් රුපියල් එහෙම නෙවෙයි, අන්කල් සෑම්ගෙ ඩොලර් හරි එලිසබත් ආච්චිගෙ පවුම් වලින් හරි.

මම බිලියනපතියෙක් උනොත් මුලින් කරන්නෙ ඉන්න තැනක් ගොඩ දාගන්න එකය. සුද්දගෙ රටේ ඉන්න එකේ ඔන්න ඔහෙ ලන්ඩනයේ One Hyde Park හරියෙන් penthouse ෆ්ලැට් එකක් ගන්නවාය. මේ හරියෙ ෆ්ලැට් එකක් සාමාන්යෙන් පවුම් මිලියන 20 ක් විතර වෙන නමුත් ගිය අවුරුද්දෙ නං එක ෆ්ලැට් එකක් පවුම් මිලියන 120 කට ද විකිනිලා තිබ්බේය.
මේ තියෙන්නෙ ඔය කියන හරියෙ ගුවන් චායාරූපයක්ය. ටිකක් ගස් කොලන් තිබ්බට මොකද නගරෙ මැද්දෙ තියෙන නිසා නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට ඔතන හරියන්නෙ නැත. නිවාඩුවට ගිහිල්ල ඉන්ඩ මටම කියා පුද්ගලික දූපතක් ගන්නවාය. ඔය ග්‍රීසිය පැත්තෙන් යුරෝ මිලියන 5 ක් - 6 ක් වියදන් කරාම අක්කර 25 - 30 ක දූපතක් ගතහැකිය. සමහර එව්ව එක්කර සීයටත් එහාය. ඕව ගැන වැඩිදුර විස්තර මේ වගේ සයිට් එකකින් ගන්න පුළුවන් නිසා තැන තැන ඇවිද ඇවිද බ්රෝකර්ලාගේ ගැට වලට අහු වේවි ලත වෙන්නට ඕනෑ නැත. දූපත් කොහොමත් තියෙන්නේ ඩොටේය. ඒක නිසා ඒවාට යන්ඩ මටම කියා ප්‍රයිවට් ජෙට් එකක් ගන්ඩ වෙනවාය. දූපතේ රන්වේ එකක් හැදුවොත් ඒක ටිකක් කචල්ය. ඒක නිසා ප්‍රයිවට් ජෙට් එකෙන් දූපත ලඟම තියෙන එයාපොර්ට් එකට ගිහින්, එතනින් දූපතට යන්ඩ yacht එකක් ගන්නවාය. ලෝකේ හැම දෙයක් ම අලුත් වෙන එකේ පරණ රුවල් නැව් වල කොල්ලකන මුහුදු කොල්ලකරයින්ට දැන් තැනක් නැත. දැන් ඉන්න එවුන්ට ඇත්තේ yachts ය. මටත් අලුත් වෙන්නට කාලේ හරිය. දැන් ඊට පස්සෙ ගෙදර ඉඳන් එයාපොර්ට් එකටයි, ඊළඟට එයාපොර්ට් එකේ ඉඳන් yacht එකටයි පයින් යන්ඩ බැරිය. කාර් දෙකක්වත් අඩුම ගානෙ ඕනෑය. කාර් කියලත් නිකම්ම කොරොල්ල අරන් බැරිය. මම හිතාන ඉන්නේ Rolls - Royce Phantom එකක් ගන්ටය. අනිත් කාර් එක වශයෙන් Bugatti Veyron එකක්වත් ගන්ට ඕනෑය. දැන් ගෙදරත් හරිය. ගමනාගමන ප්‍රශ්නෙත් හරිය.අඩු ගෙදරට බල්ලෙක් විතරය. දැන් ඉතින් බිලියන පතියෙක් උනාම ඔය ඔය එක එක බල්ලො ගෙනත් ගෙදර තියාගෙන බැරිය. එකට හරියන්නෙ මේ වගේ බල්ලෙක්ය. 

 මුට කියන්නේ Tibetan Mastiff ය. පොඩි එකෙක් පවුම් 850 - 1000 විතර වෙනවාය. මාස 11 ක් වයස එකෙක් නම් ලඟදි පවුම් 950,000 කට වෙන්දේසි වෙලා තිබ්බාය..
බිලියන පතියෙක් උනාම ස්ටේටස් එක මේන්ටේන් කරන්ඩ ඕනෑය. ඒකට ඔය ගොල්ෆ් වගේ පොෂ් ගේමක් ඉගෙන ගන්ට යන්ඩ ඕනෑය. හැබැයි මට නම් ඔය ගොල්ෆ් පෙන්නන්ඩ බැරිය. බෝලයක් හිලකට දාගන්ඩ මොකට ඔච්චර නහිනවාදැයි මට නම් හිතා ගන්නට බැරිය. තව සමාජ සේවයද කරන්නට ඕනේය. ඔය දකුණු අත දෙන දේ වම් අතට නොදැනෙන්නට දුන්නේ ඉස්සර කාලයේය (මම කියන්නේ දානය හෙවත් දීම ගැනය). පොෂ් වෙනකොට එහෙම බැරිය. එතකොට දෙනකොට අඬබෙර ගහල, ටී.වී, රේඩියෝ වලට කියල දෙන්නට ඕනෑය. දැන් රචනාව ඇති වගේය. මම කඩේ යන්ට ඕනෑය. ගේ හරියේ කන්න දෙයක් නැත. පාන් ගෙඩියක් වත් ගේන්ඩ ඕනෑය. එන ගමන් බැංකුවටත් යායුතුය. අද ගෙවල් කුලී ගෙවන්ටත් ඕනෑය.........


sources: Flat photos: http://www.dailymail.co.uk/news/article-1301918/The-140m-flat-World-record-price-Central-London-penthouse.html
http://urove.net/cata.html
http://dogpicturesonline.blogspot.com/2011/02/tibetan-mastiff-dog-breeds-images.html

Tuesday, 9 August 2011

ලන්ඩන් ගිනි ගනී!


මේ දවස් වල ලන්ඩන් වල හැම තැනම ගිනි. රෝමෙ ගිනි ගනිද්දී නීරෝ වීනා වැයුවලු. ලන්ඩන් ගිනි ගනිද්දී නං අපි ගෙදෙට්ට වෙලා ටිවී එකේ නිව්ස් බලනව.  ඉරිදා යාලුවෙක් ගෙ ගෙදර ගියා කෑමකට. ගිහින් ආපහු එද්දී එක ටවුන් එකක් පහු කරද්දි හෝ ගාල ඔලුව වහගත්තු, මුකවාඩම් බැඳ ගත්තු කොල්ලො පිරිල. ඊට කලින් දවසෙත් පොලිසියත් එක්ක ගහගත්තු කතාවක් පත්තරේ දැක්ක නිසා තේරුනා මේ සෙට් වෙන්ඩ යන්නෙත් ඒ වගේ එකක් කියල. ගෙදර ඇවිත් නිව්ස් බලද්දී අපි මීට ටිකකට කලින් පහු කරගෙන ආපු තැන ලොකු වලියක්. මේ දවස් වල ටිවී පත්තර වලින් සමහරවිට ඔයගොල්ලොත් දකින්න ඇති මේ සිද්දි ගැන. දැන් දවස් 3 ක් එක දිගට වලි. මුලින් තිබ්බෙ ලන්ඩන් වල විතරක් උනාට, ඊයෙ වෙද්දි ලිවපූල්, බමින්ග්හැම් වගේ නගර වලටත් මේක ව්‍යාප්ත වෙලා තියෙනව. මේකට හේතුව පොලිසියෙන් කොල්ලෙක්ට වෙඩි තියල ඌ මැරිල. කතාවේ හැටියට පොර ගාව පිස්තෝලයක් තිබ්බලු. කොල්ලගෙ ගෙදර මිනිස්සු නං කතා කරන්නේ හරියට ඌ හෙට අනිද්ද බුදු වෙන්ඩ හිටිය එකෙක් ගානට. ඒ උනාට පත්තර වල යන විස්තර කියෙව්වම තේරෙනව ඌ පාතාල නායකයෙක් කියල. 
මෙහෙ කොල්ලො කල්ලි හැදිල ඉන්නේ උන් ජීවත් වෙන ප්‍රදේශය අනුව. මැරිච්ච කොල්ල ඔය වගේ කල්ලියක නායකයෙක්. ඔය කල්ලි අතර බොහොම දරුණු වලි යනව. එව ඔය නිකන් අපේ රොටරි වත්තෙ වලිය වගේ ඒව නෙවෙයි. මිනී මරාගන්න වලි. කොහොම උනත් දැන් ලන්ඩන් පුරා වෙන කොල්ලකෑම් ඔය මැරිච්ච කොල්ලට සම්බන්දයක් නෑ. මේක පටන් ගත්තෙ නං පොලිසියෙන් කරපු වෙඩි තැබීමට විරෝධය දක්වන්න තිබ්බ විරෝධතාවයක්  දුරදිග ගිහින් පොලිසියත් එක්ක ගහගෙන. නමුත් දැන් වෙලා තියෙන්නේ තැන් තැන් වල ඉන්න මදාවියො කල්ලි ගැහිල, පොලිසියට ගහල, කඩවලුත් කුඩු කරලා ඒවයේ බඩු කොල්ල කන එක. ගොඩක් මේ විදිහට ප්‍රහාරයට ලක් වෙන්නෙ ඇඳුම් කඩ, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ කඩ, ස්වර්ණාභරණ කඩ ආදිය. හප්පා බලන්ඩ එපැයි කට්ටිය එල්.සි.ඩි. ටි වී, අලුත් ඇඳුම්, සපත්තු එහෙම උස්සගෙන දුවන විදිහ! මටත් මේ iPad 2 එකක් ගන්ඩ ඕනෙ වෙලා තියෙනව. ගිහිල්ල සෙට් උනා නං නිකන් ම ගොඩ දාගන්ඩ තිබ්බ. 
මෙහෙ පොලිසියටත් වෙලා තියෙන්නෙ හරියට අර " ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී " වගේ වැඩක්. මුන්ට ගැහුවොත් එහෙම උන් ඊට පස්සේ මානව හිමිකම් නඩු දානව වන්දි ඉල්ලල. ඒවට වැරදි කාරයො වෙන පොලිස් කට්ටියට රස්සාවත් නැතුව ගෙදර යන්ඩ වෙනව. අනික් අතට මිනිස්සු දිගට හරහට බනිනව මෙච්චර කඩ කුඩු කරද්දි, ගිනි තියද්දි පොලිසිය නිකන් බලාගෙන ඉන්නව කියල. එහෙම බලාගෙන ඉන්නෙ ඒ මිනිස්සුන්ට වෙන කරන්ඩ දෙයක් නැති නිසා. ගිහින් ගැහුවොත් නඩු දායි විසමානුපාතික බලයක් පාවිච්චි කලා කියල. මෙහෙ තියෙන්නෙ මාර නීති නේ. හොරෙක් ගෙදරකට පැනල තුවාල උනොත් හරි අන්ඩක් කැඩුනොත්  හරි, හොරාට පුළුවන්ලු ගෙදර අයිති මිනිහට විරුද්ධව නඩු දාන්ඩ මිනිස්සුන්ට අනතුරු දායක ලෙස තමන්ගේ ගෙදර තියාගත්ත කියල! අන්න ඒකට ලංකාව. හොරුන්ගෙ අඬු කඩන එක විතරක් නෙවෙයි, මේ වගේ උද්ගෝෂණ කරන්ඩ ආවනම් පලවෙනි දවසෙම ජීව උණ්ඩ දාල වෙඩි තියල එකෙක්ව එලනව. ඊට පස්සෙ ඉතින් ආයේ උද්ඝෝෂණ කරද්දි උන් දෙපාරක් හිතයි නේ. මේ සුද්දන්ට කොහෙන්ද ඉතින් ඒ තරං මොලයක් !! අපේ අය්යලගෙන් ඇහුව නං වලහ හාවා කරන එකේ ඉඳන් කියල දෙයි!.

Thursday, 4 August 2011

උපයන්න, අරගන්න, එලවන්න, ජයගන්න!

අපිට ජීවිතේ බලාපොරොත්තු, අවශ්‍යතාවයන් ගොඩක් තියෙනව. අපි එක බලාපොරොත්තුවක් ඉෂ්ට කරගත්තම බලන්නෙ ඊට පස්සේ ඊට ඉහල දෙයක් ලබාගන්න. උදාහරණයකට, ඕනම කොල්ලෙක් ජොබ් එකක් ගත්තම බලන්නෙ මුලින්ම බයික් එකක් හරි, පොඩි කාර් කට්ටක් හරි ගන්න. ඉතින් ඔය මරුටියක් වගේ ගොඩ දැම්ම කියමුකො. කාලයක් යද්දී ඕක එපා වෙනව, ඊට පස්සේ බලන්නෙ ටොයෝටා එකක් හරි, හොන්ඩ එකක් වගේ ගොඩ දාන්ඩ. ඒ බලාපොරොත්තුව ඉෂ්ට උනොත් සහ තවත් දියුණු වෙන්ඩ පුළුවන් උනොත් ඉතින් බි.එම්.ඩබ්ලිව් එකක් හරි, මර්සිඩීස් එකක් හරි ගොඩ දාගන්ඩ පුළුවන්. ඊටත් එහාට ගියොත් ඉතින් ඔය ෆෙරාරි, පෝර්ෂ් ලෙවෙල් එක තමා. අර මැස්ලෝ කියන පොර 'හයරාකි ඔෆ් නීඩ්ස්' කියන ත්‍රිකොනේ තියරියෙන් කියන්නෙත් ඔය අපේ නොසන්සිඳෙන ආසාවේ විකාශනය තමයි. ඉතින් ගොඩක් කොල්ලන්ගේ ඔය රථ ගායේ හිනිපෙත්තේම තියෙන සිහිනයක් තමයි ස්පෝර්ට්ස් කාර් එකක් අරගන්න එක. අපි ගොඩක් දෙනෙකුට ඒක හීනයක්ම විතරයි. ජීවිතේ හීනයක් හැබෑ කරගත්තු දවසක අරගන්න, එලවන්න හිතාගෙන ඉන්න කාර් එකක් ගැන තව ටිකක් දැනගන්න මට පහුගිය දවසක පුළුවන් උනා. ඒ මම කලින් පොස්ට් එකෙන් කියපු මැක්ලරන් ටෙක්නොලොජි සෙන්ටර් එකේදි.
ගොඩක් සමාගම් ෆෝමියුලා 1 වලට එන්නේ තමන්ගේ රෝඩ් කාර් වලට ප්‍රසිද්දියක්, පිළිගැනීමක් ලබාගන්න සහ ඒවාට අවශ්‍ය තාක්ෂණික දැනුම වර්ධනය කරගන්න. ෆෙරාරි කියන්නේ මේ විදිහට තමන්ගේ ෆෝමියුලා 1 සාර්ථකත්වය රෝඩ් කාර් වල ප්‍රසිද්දියට හොඳින් උපයෝගී කරගත්තු ටීම් එකක්. ටොයෝටා, බී.එම්.ඩබ්ලිව් සහ හොන්ඩා මෑතක් වෙනකන් ෆෝමියුලා 1 වල හිටියත්, පහුගිය ආර්ථික අවපාතය තිබ්බ කාලෙ ඒ හැමෝම ෆෝමියුලා 1 වලින් අයින් උනා. මැක්ලරන් කියන්නේ ෆෝමියුලා 1 ටීම් එකක් මෙතෙක් වෙනකන්. නමුත් මෑතකදී ඔවුන් තීරණය කරලා තිබ්බ තමනුත් රෝඩ් කාර් හදන්න පටන් ගන්න. විශේෂයෙන්ම ෆෝමියුලා 1 වලදී තමන්ගේ පරණම සතුරා වෙච්ච ෆෙරාරි වලට ධාවන තරග වලින් පිටදිත් තරගයක් දෙන්න ඔවුන්ට ඕන වෙන්න ඇති. ඉතින් ඔවුන් අලුතෙන් නිෂ්පාදනය කරන්න ගත්ත McLaren MP4-12C කාර් එකේ පින්තුර සහ ඒකෙ නිෂ්පාදන අංශයේ පින්තුර ටිකක් තමයි පහල තියෙන්නෙ. ඒ වගේම මැක්ලරන් සමාගම මිට කලින් සීමිත ගානක් නිපදවපු McLaren F1 රෝඩ් කාර් එකත් තිබ්බ.


මේ තියෙන්නෙ භාණ්ඩෙ. ආරම්භක මිල පවුම් 168500. අතිරේක කොටස් එකතු වෙද්දි ගාන වැඩි වෙනව. 


එන්ජිම අශ්ව බල 592 ක් නිපදවනව.  0 - 62 mph තප්පර 3.3. Corsa ටයර් නම් 3.1. 
0 - 124 mph තප්පර 9.1. Corsa ටයර් නම් 8.9

එන්ජිම 3.8 ලීටර් ට්වින් ටර්බෝ V8 එකක්. උපරිම වේගය 205 mph. 



කොහොමද ඩිකිය ;)

මුළු කාර් එකම කාබන් ෆයිබර්. මේ තියෙන්නේ චැසිය. මේක අලුත් තාක්ෂණයකට අනුව තනි අච්චුවට හදල තියෙන්නෙ

මේ තියෙන්නෙ දැනට ලැබුණු ඇනවුම් වලට එකලස් කරන කාර්

අමතර කොටස් අංශය

මේ ඉන්නේ ටර්බෝ චාජ් නැති එන්ජින් වලින් හදපු ස්පෝට්ස් කාර් වල කිරුළු පැළදු රජු! McLaren F1 රෝඩ් කාර් එක. ස්පෝට්ස් කාර් නිර්මාණකරුවන් අතර නමක් දිනාගත්ත ගෝඩන් මරේ ගේ නිර්මාණයකට අනුව නිපද උන මේ රථය මුලින් ම කරලියට ආවෙ 1992 වර්ෂයෙ. 1998 මේ කාර් එක ලෝකෙ වේගවත්ම රෝඩ් කාර් එක විදිහට වාර්තාවක් පිහිටෙව්වේ 240 mph උපරිම වේගයක් සටහන් කරල. අද මැක්ලරන්  එකෙන් හදන රෝඩ් කාර් එකේ ටර්බෝ එන්ජිමක් එක්කවත් එච්චර වේගෙන් යන්ඩ බෑ. මේ කහ පාට කාර් එක ලුවිස් හැමිල්ටන් ලෝක ශූරතා 3 ක් දින්නොත් ඔහුට දෙනවයි කියල මැක්ලරන් එකෙන් කියල තියෙන්නෙ. ඔහු දැනට එකක් දිනල ඉන්නෙ. ඔහු කවද හරි මේක අයිති කරගන්නවාට කිසිම සැකයක් නෑ.

මේ තියෙන්නෙ එක එක තරඟ වලට පාවිච්චි කරපු මාදිලි. මේ කාර් එකේ විශේෂත්වයක් තමයි. සීට් 4 නෑ. 3 යි තියෙන්නෙ. ඩ්‍රයිවර් ගේ සීට් එක තියෙන්නෙ හරි මැද. හරියට නිකන් ෆයිටර් ජෙට් එකක වගේ. යු ටියුබ් එකට ගිහින් McLaren F1 Road Car කියල ගහල සර්ච් පාරක් දාල බලන්ඩ. හොඳ විඩියො ගොඩක් තියෙනව.

දැන් මේ කාර් එක නිපදවන්නෙ නැති නිසා මේකේ ගණන් තීරණය වෙන්නේ ඒ ඒ ගනු දෙනුවෙ හැටියට. මම දන්න විදිහට මේකක් දැන් පවුම් මිලියනකට එහා වටිනව. මේ සමාගමේ වැඩකරපු කෙනෙක් ව මම හොඳට දන්නව. ඔහු කියපු විදිහට රෝවන් ඇට්කින්සන්, එහෙම නැත්තන් අපි කවුරුත් දන්න විදිහට කිව්වොත් මිස්ටර් බීන්, මේ රථයක සාඩම්බර හිමිකරුවෙක්!


අලුත් මක්ලරන් කාර් එක ගැන දැනගන්න මේ ලින්ක් එකෙන් පුළුවන්. ගන්න අමාරු උනත් තමන්ගේ සිහින රථය නිර්මාණය කරල බලන්න. ඩවුන්ලෝඩ් වෙන්න ටිකක් වෙලා යයි.
http://www.mclarenautomotive.com/uk/default.aspx#/p11/explode


Saturday, 30 July 2011

Formula 1 ටීම් එකක ඇතුල දැකල තියෙනවද?

මම කලින් පොස්ට් එකකත් කියල තියෙනවනෙ මට Formula 1 උන සෑහෙන්ඩ තියෙනව කියල. මගේ ප්‍රියතම Formula 1 කණ්ඩායම තමයි McLaren Mercedes ටීම් එක. පහු ගිය දවසක මට ජීවිතේ සිහිනයක් සැබෑ වෙන වැඩක් සිද්ද උනා. ඒ තමයි ඔය මැක්ලරන් කණ්ඩායමේ ෆැක්ටරිය බලන්ඩ යන්ඩ අවස්ථාවක් හම්බ උන එක. ඒක ඒගොල්ලො හඳුන්වන්නෙ 'මැක්ලරන් ටෙක්නොලොජි සෙන්ටර්'  කියල . ඒක ටිකට් අරගෙන බලන්ඩ යන්ඩ පුළුවන් තැනක් නෙවෙයි. යන්ඩ පුළුවන් ආරාධනාවක් ලැබුනොත් විතරයි. ඉතින් කොල්ලකාරයටත් ඔහොම ආරාධනාවක් ලැබුන. එදා ඉඳන් අදාල දවස එනකන් ඇඟිලි ගැන ගැන තමයි හිටියෙ. නිකන් නෙවෙයි එදාට 2008 ලෝක ශුරයා වෙච්ච, දැනට මැක්ලරන් කණ්ඩායමේ රියදුරෙක් වෙන ලුවිස් හැමිල්ටනුත් එනවා කියල තිබ්බ. ඔහු මගේ ප්‍රියතම ක්‍රීඩකයෙක් (රේස් පැදීමත් ක්‍රීඩාවක් තමයි. ෆෝමියුලා 1 රියදුරෙක් ගේ ශාරීරික යෝග්‍යතාවය ලෝකේ අනිත් ක්‍රීඩාවලට අවශ්‍ය මට්ටමට සමානයි. ගොඩක් වෙලාවට ඊටත් වඩා වැඩියි.)

ඉතින් ඔහොම ගිහිල්ල ගත්තු පින්තුර ටිකක් තමයි පහල තියෙන්නෙ. ලංකාවෙ ගොඩක් දෙනෙක් ෆෝමියුලා 1 ගැන දන්නේ නැති වග මම දන්නව. ඉතින් පොඩි හැඳින්වීමක්  දීල ඉන්නං. ෆෝමියුලා 1 ටීම් එකක් පටන් ගන්න එක ඕන කෙනෙකුට කරන්න පුළුවන් වැඩක්. ඕන වෙන්නෙ ඇමෙරිකන් ඩොලර් මිලියන 400 වගේ සුළු මුදලක් විතරයි!!!! ( මේ මම කිව්වේ සාමාන්‍යයෙන් ටීම් එකක් අවුරුද්දක් දුවන්න වියදන් වෙනවා කියල ඇස්තමේන්තු කරලා තියෙන ගාන. සමහර විට මීට වැඩි වෙන්නත් පුළුවන්).  අවුරුද්දකට ෆෝමියුලා 1 රේස් 18ක් හෝ 19ක් වගේ ගානක් තියෙනව. අවුරුද්දෙන් අවුරුද්ද මේ සංක්‍යාව පොඩ්ඩක් වෙනස් වෙන්ඩ පුළුවන්. මේවා පාලනය කරන්නේ FIA (Federation Internationale de l'Automobile) කියන ආයතනය මගින්. ඒක හරියට ක්‍රිකට් වල අයි  සී සී එක වගේ. මේ රේස් තියෙන්නෙ ලෝකේ විවිධ රටවල් වල. ඉතින් ෆෝමියුලා 1 කණ්ඩායම් මේ හැම තරගයකටම සහභාගී වෙනව. එක කණ්ඩායමකට කාර් දෙකක් තරගයට යොදවන්න පුළුවන්. තරගය දිනන පිළිවෙල අනුව පලවෙනි රියදුරන් 10 දෙනාට ලකුණු හම්බවෙනව. පළවෙනියට ලකුණු 25, දෙවෙනියට ලකුණු 18, තුන්වෙනියට ලකුණු 15 යනාදී වශයෙන්. 10 වෙනියට පස්සේ ඉවර කරොත් එක ලකුණක් වත් නෑ. අවුරුද්ද අන්තිමට ශුරතාවයන් දෙකක් තෝරනව. රියදුරන් ගේ ශුරතාවය සහ කණ්ඩායම් ශුරතාවය. අවුරුද්දේ ඔක්කොම තරග වලින් ලබා ගත්ත ලකුණු වල එකතුව අනුව, වැඩිම ලකුණු ගත්ත රියදුරා, රියදුරන් ගේ ශුරතාවය දිනනවා. කණ්ඩායමේ රියදුරන් දෙන්නම ලබාගත් ලකුණු එකතු කලාම වැඩිම ලකුණු තියෙන කණ්ඩායම, කණ්ඩායම් ශුරතාවය දිනනව. අපි කවුරුත් අහල තියෙන මයිකල් ශුමාකර් රියදුරන් ගේ ශුරතාවය 7 වතාවක් දිනල තියෙනව.හැබැයි රෙසින්ග් ගැන උනන්දුවක් තියෙන ගොඩක් අය පිළිගන්න දෙයක් තමයි, මෙතෙක් බිහිවෙච්ච දක්ෂතම රියදුරා අයර්ටන් සෙන්නා කියන එක. 1994 දී ෆෝමියුලා 1 තරඟයකදී වෙච්ච අනතුරකින් ඔහු මිය යද්දි ලෝක ශුරතාවයන් 3 ක් දිනා ගෙන හිටියෙ. ඔහු ශුරතාවයන් 3 ම දින්නේ මැක්ලරන් කණ්ඩායමත් එක්ක. කියෙව්ව ඇති, පින්තුර ටික බලමු. පින්තුර ලොකු කරල බලන්න ඕනෙ නං එව උඩ ක්ලික් කරන්න.

මැක්ලරන් කර්මාන්ත ශාලාව හදල තියෙන්නේ ying-yang සලකුණේ හැඩයට. ඒ රවුමෙ එක බාගයක් ගොඩනැගිල්ල. ඉතුරු බාගෙ ඔය ඉස්සරහ තියෙන කෘතීම විල. ඕගොල්ලොන්ට පේනවා ඇති ගොඩනැගිල්ලෙ ඉස්සරහ S අකුරේ හැඩේට තියෙනව. ඒක  තමයි යින්ග්-යැන්ග් සලකුණේ මැද තියෙන බෙදීම සංකේතවත් කරන්නෙ. ෆෝමියුලා 1 කණ්ඩායම් තමන් ගේ ක්‍රියාකාරකම් වල රහසිගත භාවය රකින්න සෑහෙන උනන්දු වෙනව. මොකද මේ ක්‍රීඩාවේදි තොරතුරු කියන දේ සෑහෙන්ඩ වටිනව. 'මැක්ලරන් ටෙක්නොලොජි සෙන්ටර්' එකත් තියෙන්නේ විශාල විවුර්ත භූමියක මැද හරියේ. ප්‍රධාන පාරෙ ඉඳන් ඇතුලට වෙන්න, එලියට පෙන්නේ නැති වෙන්න. ගොඩනැගිල්ල වටේට කෘතීම කඳු හදල තියෙනව. 
ගොඩනැගිල්ලෙ ගොඩක් තැන් වලට අමුත්තන්ට ඇතුල් වීම තහනම්. සමහර තැන් වලට, විශේෂයෙන්ම wind tunnel එකට ඇතුල් වෙන්ඩ දුන්නත් චායාරූප ගන්න තහනම්. අපිට චායාරූප ගන්න ඉඩ දුන්න හරියෙ මේ වගේ එක එක අවුරුදු වල මැක්ලරන් ටීම් එකෙන් පාවිච්චි කරපු කාර් ප්‍රදර්ශනයට තියල තියෙනව.



ජීවිතේ හීනයක් වෙලා තිබ්බ ෆෝමියුලා 1 කාර් එකක් ඇතුලට නැගල බලන්නත් මට අවස්ථාව හම්බ උනා. මේ කාර් එකට නැගල අපිට ෆොටෝ ගන්න දුන්න. ඒ විතරක් යැ, pit stop එකක් කරන්නත් අවස්ථාවක් ලැබුන. අර රේස් එක මැදදී දඩ බඩ ගාල ටයර් මාරු කරන්නෙ, අන්න ඒකක්. අපිට ටයර් එක මාරු කරන්ඩ තප්පර 5.69 ගියා. සාමාන්යෙන් ෆෝමියුලා 1 ටීම් එකක පිට් ක්රූ එකකට ටයර් 4 ම තප්පර 4 වගේ කාලයකදී මාරු කරන්ඩ පුළුවන්.

මේ තියෙන්නෙ ඉස්සර කාලෙ මැක්ලරන් ටීම් එකේ කාර්. නිකි ලෞව්ඩ, ඇලෙන් ප්රොස්ට්, අයටන් සෙන්න වගේ ලෝක ශුරයෝ පැදපු කාර් තමයි මේ තියෙන්නෙ. 
මේ  නිකි ලෞව්ඩ ගේ කාර් එක

නිකි ලෞව්ඩ ගේ කාර් එකේ ඇතුලත. අද කාලෙ එකකට වඩා ගැජමැටික් සැහෙන්ඩ අඩුයි.



1988 අයටන් සෙන්න ලෝක ශූරතාවය දිනපු රථය. ඒ අවුරුද්දේ තවත් ලෝක ශූරයෙක් වෙච්ච ඇලෙන් ප්රොස්ට් හිටියෙත් මැක්ලරන් එකේ. ඒ දෙන්න නිසා මේ කාර් එක ඒ අවුරුද්දෙ තරග 16 න් 15 ක් ම දිනල තියෙනව

2007 අවුරුද්දෙ මැක්ලරන් එකෙන් රේස් කරපු MP4-22 කාර් එක. පේනව නේද දැන් ස්ටීරින්ග් වීල් එක කොච්චර වෙනස්ද  කියල.
පැයට කි.මි 300 කට වඩා වේගෙකින් යන ගමන් මේ බටන් එහා මෙහා කරන්න තරං ෆෝමියුලා 1 රියදුරන් දක්ෂයි. මේවයෙන් බටන් එකක් ප්‍රෙස් කරල වතුර බොන්න, පිට් කෘ එකට කතා කරන්න, බ්රේක් බැලන්ස් ඇජස්ට් කරන්න වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්.


මේ කාර් සම්පූර්ණයෙන් ම කාබන් ෆයිබර් වලින් හදන්නෙ. මොකද පුළුවන් තරං බර අඩු කරල, ශක්තිය වැඩි කරන්න. බර අඩු කරන තරම කොච්චරද කියනව නං රියදුරාට පහසු වෙන්න කුෂන් මුකුත් ම නෑ. මේක ඇතුලට බැස්සම නිකන් යකඩ බටයක් ඇතුලට බැස්ස වගේ තමයි.
මේ තියෙන්නෙ කාර්මික වැඩපල. එක එක සංදර්ශන වලට , මාකටින් කැම්පේන් වලට ගෙනියන්න එකලස් කරපු කාර් තමයි ඔය තියෙන්නෙ. මේවා ගොඩක් වෙලාවට පහුගිය අවුරුදු වල රේස් ගියපු මොඩල්ස්. ඒවට පොඩි පොඩි කෑලි අමුණලා ප්‍රදර්ශන වලට ගෙනියනව. බලන්න එක මජං බින්දුවක් තියෙනවද කියල කොහෙවත්!
මේ බිත්ති දෙපැත්තෙ ප්‍රදර්ශනයට තියල තියෙන්නෙ මැක්ලරන් ටීම් එකෙන් එතෙක් මෙතෙක් දිනා ගත්ත ඔක්කොම කුසලාන

පින්තුර නං ගොඩක් ගත්ත. එත් ඉතින් ඔක්කොම දාන්න ඉඩ මදි. මැක්ලරන් සමාගම දැන් ස්පෝට්ස් කාර් හදන වැඩේටත් අත ගහල තියෙන්නෙ. ඉඩක් ලැබුනොත් පින්තුරත් එක්ක ඒ ටික දාන්නං. ආ, ලුවිස් හැමිල්ටන් හරි කැත වැඩක් කලානෙ! මිනිහ අපිට පොල්ලක් තිබ්බනෙ! හැබැයි අපරාදෙ කියන්ඩ බෑ යන්ඩ කලින් දවසෙම ෆෝන් එකට මැසේජ් එකක් ආව ලුවිස්ට හදිසියෙ රටින් පිට යන්න වෙන නිසා එන එකක් නෑ කියල. හැබැයි එකෙන් උනේ, ඕන තරං තැන් වල ඇවිදින්න පුළුවන් වෙච්ච එක. 

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!