Tuesday, 15 March 2011

කතන්දරගෙ ගෑනු බොස්ල ගැන කතාවට අතුරු කතාවක්

අද කතන්දර දාල තිබ්බ 'ගෑනු බොස් ලා හෙවත් බොසීලා' පොස්ට් එක දැකල තමයි මට මේක දාන්න හිතුනෙ. කතාවෙ ගෑනු බොස් කෙනෙක් ම කියනවනේ ගෑනු එක්කෙනෙක් යටතේ වැඩ කරන එක අමාරුයි කියල. හැබැයි මම නං ඕක හරිද නැද්ද කියල දන්නේ නෑ, මොකද මට තාම ගෑනු බොස් කෙනෙක් අහු වෙලා නෑ. හැබැයි දන්න කීප දෙනෙක් නං කියල තියෙනව එක පිරිමි බොස් කෙනෙක් යටතෙ වැඩ කරනවට වඩා අමාරුයි කියල. මම මේ කියන්ඩ යන්නෙ ගෑනු බොස් ලා ගැන තියරියක් නෙවෙයි. ගෑනු අය ගැනම වෙන තියරියක්. හැබැයි තියරියක් කිව්වට මේක හයිපොතිසිස් එකක් විතරයි. මටත් වෙන කෙනෙක් කියපු එකක්. කැමති කෙනෙක් ඉන්නවනං ඕක රිසර්ච් කරල තියරි එකක් රෙජිස්ටර් කරන්න පුළුවන්. මේකයි කතාව, මොනවහරි වැඩක් කරගන්ඩ ඕන උනාම, ඔප්ෂන් එකක් තියෙනවනන් නිතරම පිරිමි එක්කෙනෙක් ගාවට යන්ඩ ගෑනු කෙනෙක් ගාවට නැතුව!! ඒ කියන්නෙ දැන් ඔය බැංකුවක, තැපැල් කන්තෝරුවක වගේ පෝලිමක ඉන්න කොට නිතරම පිරිමි කෙනෙක් ඉන්න කවුන්ටර් එකක පෝලිමකට සෙට් වෙන්ඩ.  දැන් මේක කියවන ගෑනු අය පොඩ්ඩක් ඉවසල වදාරන්ඩ. වැරද්දක් කියනව නෙවෙයි, ඕගොල්ලො උනත් එහෙම පෝලිමේ ඉන්ඩ උනොත් පිරිමි කෙනෙක් ඉන්න පෝලිමකට සෙට් වෙන එක ඇඟට ගුණයි. වෙන මොකවත් නිසා නෙවෙයි, ගෑනු අය ගොඩක් වෙලාවට අකුරට වැඩ කරනව. ඒක නිසා ෆ්ලෙක්සිබිලිටි එක අඩුයි.

මට ඕක අහන්න ලැබුනට පස්සේ මම ඕක ක්‍රියාවට නැගල බැලුව කීප සැරයක් ම. 'ගොඩක් වෙලාවට' කතාව ඇත්ත. ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකේ වටේ මත් එහෙමයි කියල තමයි මට තේරුනේ. අපිට එක සැරයක් ප්‍රොජෙක්ට් එකකට රට ගිහින් ඉන්න උනා ටීම් එකටම මාස කීපයක්. අපි නැවතිලා හිටියෙ හොටෙල් එකක. මාස ගානක් හිටියට හැම මාසෙකම අන්තිමේ හොටෙල් එක අපිට බිලක් කඩනව. අපි ඒක මාසෙන් මාසෙට ගෙවන්ඩ ඕනෙ. ඉතින් ඔය වැඩ භාර වෙලා තිබ්බෙ මට. ඉතින් හොටෙල් එකට යන මුළු ගානම වගේ මම ට්‍රැවලර්ස් චෙක්ස් වලින් තමයි ගෙනිහින් තිබ්බෙ. ඉතින් මාසෙකට සැරයක් මම බැංකුවට ගිහින් ට්‍රැවලර්ස් චෙක්ස් කෑෂ් කරල හොටෙල් එකට සල්ලි ගෙවනව. ඔය බැංකුවෙ කොල්ලෙක් හිටිය ගියහම නිතරම ඔය වැඩේ කරල දෙන. දවසක් ගියාම එදා මු නෑ. එතන ඉන්නෙ කෙල්ලෙක්. මම ඉතින් වෙනද වගේ ගිහින් ට්‍රැවලර්ස් චෙක්ස් ටික දුන්න කෑෂ් කරල දෙන්න කියල. කෙල්ල මගෙන් ඉල්ලුව චෙක්ස් ගත්ත රිසිට් එක කෝ කියල. අර කොල්ල කවදාවත් එහෙම එකක් මගෙන් ඉල්ලුවෙ නෑ. මම කිව්ව ඒක මගේ ගාව නෑ කියල. ඒක නැතුව මෙච්චර ලොකු ගානක් කෑෂ් කරන්න බෑ කියල මෙන්න එයා කියනව. මගේ ගාව කලින් චෙක්ස් කෑෂ් කරපු රිසිට් තිබ්බ ඒ බ්‍රාන්ච් එකෙන්ම දීපු ඒවා. මම ඒව පෙන්නල කිව්ව මේ මම මෙතනින් කලිනුත් කෑෂ් කරගෙන තියෙනව කීප පාරක් ම, හැබැයි ඔහොම එකක් ඉල්ලුවෙ නෑ කියල. ට්‍රැවලර්ස් චෙක්ස් ටික මගේමද කියල ඔප්පු කරන්න ඒක ඕනෙමයි කිව්ව. වැඩේ කියන්නෙ හදිස්සියකට වෙන එකෙකුට බැංකු යන්ඩ උනොත් කියල මම ඔය චෙක්ස් පිටිපස්සේ අත්සන් කරල නෙවෙයි තිබ්බෙ. ගෑනි දැක්ක මම අත්සන් දෙකම ඒක වෙලාවෙ ගහනව. ඒකයි දැන් මේ ගේම ඉල්ලන්නෙ. අර කොල්ල ඉන්න දවස් වලත් ඕක ඔහොම කරාට ඌ නෙවෙයි කවදාවත් මට ඔහොම බාල්දියක් දැම්මෙ. පස්සෙ මම කිව්ව මැනේජර් ට කතා කරන්ඩ ඕනෙ කියල. පොරට කතා කරල තමයි යන්තන් වැඩේ ගොඩ දාගෙන ආවේ.


ඊට පස්සෙ අපි ප්‍රොජෙක්ට් එක ඉවර කරල ආයේ ලංකාවට එන ගමන් ට්‍රාන්සිට් එකක් තිබ්බ. අපි ඒ රටේ දවස් දෙකක් නැවතිලා එන්ඩ ප්ලෑන් කරන් හිටියෙ මොකද, මාස කීපයක් එක දිගට කට්ට කාපු නිසා පොඩි විවේකයක් ගන්ඩ. ඉතින් දැන් අපි ප්ලේන් එකෙන් බැහැල ඉමිග්රේෂන් කවුන්ටර් ගාවට ආව. මම ඉතින් මගේ හයිපොතිසිස් එක අනුව පිරිමි කෙනෙක් ඉන්න කවුන්ටර් එකක පෝලිමට සෙට් උනා. මාත් එක්ක ට්‍රාන්සිට් රටේ නවතින්ඩ ආපු තව එකෙක් හිටිය. පොර මට එහා තිබ්බ පෝලිමට සෙට් උනා. ඒකෙ සෙනග ටිකක් අඩුයි. ඌ මට කතා කරා ඒකට එන්ඩ කියල. මම බැලුව කවුන්ටරේ. ඉන්නෙ ගෑනු කෙනෙක්. මම ඌට ඔලුවෙන් පෙන්නල කිව්ව බෑ කියල. ඌ දන්නවා මගේ තියරිය. ඌ මට කින්ඩි හිනාවක් දාල ඒ පෝලිමේම  හිටිය. දැන් ඉතින් කට්ටිය අඩු නිසා ඌ මට කලින් කවුන්ටරේ ට ගියා. පාස්පෝර්ට් එහෙම චෙක් කරල මම දැක්ක අර ගෑනු කෙනා මගේ යාලුවගෙන් ප්‍රශ්න අහනව. ඌ කවුන්ටරේට යද්දී මගේ පෝලිමේ මට ඉස්සරහින් කීප දෙනෙක් හිටිය. කොහොමහරි මම මගේ කවුන්ටරේට යද්දිත් අරූ හරස් ප්‍රශ්න වලට උත්තර දෙනව. මම ඉමිග්රේෂන් එකෙන් ඇතුලටත් ඇවිත් තව ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි ඌ ඇතුලට ආවේ.

"උඹේ තියරිය හරි තමයි බං". ඌට මල.
"මොනවද බං උඹෙන් ඔච්චර ඇහුවෙ?"
"කොහෙ ඉඳන් ද ආවෙ?, මොකටද එහෙ ගියෙ? මොනවද එහෙ කලේ? ඇයි ලංකාවට යන්නෙ නැතුව මෙහෙ නවතින්නෙ?. ඔය වගේ අනන් මනං ගොඩක් ඇහුව බං!!"
ඌයි, මායි හිටියෙ එකම ප්‍රොජෙක්ට් එකේ, ආවෙ එකම ප්ලේන් එකේ. තියෙන්නෙ එකම රටේ පාස්පෝර්ට්. හැබැයි මගෙන් නෙවෙයි කවුන්ටර් එකේ පොර වචනයක්වත් ඇහුවෙ!
ඔන්න ඔහොමයි තියරියෙ රිසල්ට්ස් මෙච්චර කාලෙකට. මේක කිව්වේ කාන්තා පාර්ශවයට කිසිම මඩ ගැසීමේ චේතනාවකින් නෙවෙයි. මම කලින් කිව්ව වගේ කාන්තාවො කරන වැඩේ අකුරටම කරන නිසා විකල්ප විසඳුම් ඒ ගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්ඩ අමාරුයි. අනික හැමෝම මෙහෙම නෑ.  දැන් ඉතින් මේක කියවන කාන්තාවො, මෙතන කාන්තා විමුක්තියේ දෝංකාරය ඇති කොරන්ට එහෙම හදන්ඩ එපා! එහෙම උනොත්
මේ
බ්ලොග් එකත් නිකන් ලුවී වැන්ඩස්ට්‍රාටන් ගේ ෆිල්ම් එකක් වගේ වෙයි.!!

Friday, 11 March 2011

ප්‍රංශ සවාරිය

ගොඩ කාලෙකින් මේ පැත්තෙ ආවෙ. පහුගිය ටිකේ අම්බානක වැඩ තිබ්බ නිසා මුකුත් ලියන්නවත්, කියවන්නවත් හම්බුනේ නෑ. ප්‍රංශ සවාරිය කියල පටන් ගත්තට මේ ලියන්න යන්නෙ අර ආම්ස්ට්‍රෝන්ග් ගොයිය පදින එක ගැන නෙවෙයි. මේ මුහුදු කොල්ලකාරය ප්‍රංශෙට ගියපු සවාරියක් ගැන. කාලෙකට කලින් මම තව යාලුවෙක් එක්ක පැරිස් ගිහින් එන්න සෙට් උනා. ලන්ඩන් ඉඳන් පැරිස් යනව කියන්නෙ, කොළඹ ඉඳන් මාතරට යනවට වඩා ඉක්මනට යන්ඩ පුළුවන් ගමනක්. ඒ උනාට මේ අපි දෙන්නම ප්‍රංශෙට යන පලවෙනි සැරේ. ඉතින් අපි එහෙ ගිහින් බලන්ඩ යන්ඩ ඕනෙ තැන්, ඒවාට යන විදිහ, පාරවල් හොයා ගන්න හැටි ගැන එහෙම දැන් යන්ඩ කලින් හොයනව. ඔහොම හොයනකොට අපිට දැන ගන්න ලැබුනු දෙයක් තමයි ප්‍රංශෙට ගිහින් ඉංගිරිසි කතා කරන එක එච්චර ශරීර සෞඛ්‍යට හොඳ නැති දෙයක් වග. මොකද ප්‍රංශ කාරයො කොහොමත් ඉංග්‍රීසි කාරයොත් එක්ක ඔරොප්පුයි. අනික ඒගොල්ලෝ එච්චර ආගන්තුක සත්කාරයට ලැදි කට්ටියකුත් නෙවෙයි කියල ගොඩක් වෙබ් සයිට්ස් වල කියල තිබ්බ. අපිත් එක්ක වැඩ කරන සුද්දොත් ඉතින් කිව්වේ ඒකම තමයි. උන්ටත්  ඉතින් ප්‍රංශෙ තලන්ඩ තියෙනවනන් ඊට වඩා දෙයක් නෑනෙ. හැබැයි ගොඩ දෙනෙක් කියපු කතාවක් තමයි, පාරක් හරි මොනවහරි අහන්ඩ ඕන උනාම එක පාරට කඩ්ඩෙන් කොටන්ඩ එපා, ඒක තමයි උන් අකමැතිම, මුලින් ප්‍රංශ  බාසාවෙන් අහන්ඩ ඉංගිරිසි  දන්නවද කියල, ඊට පස්සේ ඉංගිරිසි වලට මාරු වෙන්ඩ කියල. මමවත්, මගේ යාලුවවත් ප්‍රංශ මළපොතේ අකුරක් දන්නෙ නෑ. හැබැයි අපි දෙන්න කොහොමහරි 'ඔයා ඉංගිරිසි කතා කරනවද' කියල ෆ්‍රෙන්ච් වලින් අහන හැටි පුරුදු උනා.

ඕවත් ඉගෙන ගෙන දැන් අපි පැරිස් ගියා. ගිහින් පලවෙනි දවසෙ රෑ හොටෙල් එකෙන් නැතුව එළියේ හොඳ රෙස්ටොරන්ට් එකකින් ෆ්‍රෙන්ච් කෑමක් කමු කියල හිතල බැස්ස එලියට. දැන් ඉතින් අපි දෙන්න ඇවිදිනව කන්ඩ තැනක් හොය හොයා. අනේ මන්ද ෆ්‍රෙන්ච් එවුන්ගෙ ගෙවල් වල කුස්සි නැද්ද කියල. හැම රෙස්ටොරන්ට් එකක් ම අම්බානක පිරිල. අපිට ඉතින් ඔය කට්ටිය පිරුණු ඒවාට යන්ඩත් මොකද්ද වගේ. බාසාව දන්නෙත් නෑනෙ. ගිහින් චාටර් වෙන්ඩ බෑනේ. දැන් ඉතින් අපි දෙන්න කැරකෙනව ටිකක් අඩුවෙන් චාටර් වෙන්ඩ තැනක් හොය හොයා. ඇවිදල ඇවිදල අන්තිමට හම්බුනා රෙස්ටොරන්ට් එකක් එච්චර සෙනග නැති. එකේ නම ලියල තිබ්බෙ ෆ්‍රෙන්ච් වලින්. එලියෙ මෙනු එක ඩිස්ප්ලේ කරලා තිබ්බට ඒකත් තිබ්බෙ ෆ්‍රෙන්ච් වලින්. මෙලෝ මගුල තේරෙන්නෙ නෑ. කරන්ඩ දෙයක් නෑ දැන් අම්බානක බඩගිනිත් එක්ක. තව ඇවිදින්නත් බෑ. මම ඕ.පු. කියල ගත්ත පුරුෂ ධය්ර්ය හිතට. 'වරෙන් යන්ඩ' කියල යාලුව වත් අඬ ගහගෙන ගියා ඇතුලට. රිසෙප්ෂන් එකේ හිටිය කෙල්ලො දෙන්නෙක්. දැන් කතාව යනව මෙහෙම,

මම: excusez-moi, parlez-vous anglais? (excuse me, do you speak English?)
කෙල්ල :  A little bit.
මම:  Do you have a menu in English?
කෙල්ල: Sorry, no, it is only in French.
මම:  Ok, then. We are looking to have good french meal for dinner. Could you suggest us a good French dish from your menu?


ඒක කිව්ව විතරයි කෙල්ල තක්බීර් උනා. මමත් බැලුව මොකෝ යකෝ මේ උනේ කියල. කෙල්ල දැන් ඇඹරි ඇඹරි වගේ අනිත් කෙල්ල දිහා බලනව. ඒ කෙල්ලත් හිනාව තද කරන් වගේ ඉන්නව. ඊට පස්සේ ඒ කෙල්ල මගේ දිහාට හැරිලා කිව්ව මෙහෙම,

Sorry, this is a Spanish restaurant!

හුටා!! අපි ප්‍රංශ කෑම කන්න ඇවිත් තියෙන්නෙ ස්පාඤ්ඤ රෙස්ටොරන්ට් එකකටනේ! දැන් මොකෝ කරන්නේ. වැඩිය කට්ටිය හිටියෙ නැති නිසා පොඩ්ඩයි චාටර්. ඒක නිසා අපි එදා රෑට එතනින් කෑව. ආයෙ ෆෙන්ච් ඒව හොයන්ඩ ගිහින් කොහේ නතර වෙයිද දන්නෑ නෙ.


----------------------------------------------------------------


දැන් ඉතින් පැරිසියේ කරක් ගහල, අර යකඩ අට්ටාලේ උඩට නැගල, ඒකෙ උඩම තට්ටුවෙ තියෙන රට රටවල් වල කොඩි වලින් ලංකාවෙ කොඩිය ගාව ඉඳන් ෆොටෝ එකකුත් අරන් අපි දෙන්න දැන් ඊළඟට යන්ඩ තැනක් කල්පනා කරා. පිටරකදී එහෙම තමන්ගෙ රටේ දෙයක් දැක්කම පුදුම හැගීමක්  දැනෙන්නෙ. සමහර රෙස්ටොරන්ට් වල මෙනු වල තේ එක නිකම්ම නිකන් Tea  කියල නැතුව Ceylon Tea කියල ගහල තියෙනව දැක්කම හප්පේ දැනුනු ආඩම්බරේ.

දැන් ඉතින් තව බලන්ඩ යන්ඩ තැනක් කල්පනා කරද්දී තමයි මතක් උනේ  Moulin Rouge  එක. ඕක පැරිසියේ තියෙන බොහොම ප්‍රසිද්ධ කැබරේ නර්තන ශාලාවක්. එකදාස් අටසිය ගණන් වල ආරම්බ කරපු එකක්. අපි දෙන්නත් දැන් ගියා මේකෙ බිත්ති වල ගාල තියෙන්නෙ මොන පාටද කියල බලන්ඩ. ෂෝ එකක් බලන්ඩ ගියේ නං නෑ. වෙන දෙයක් නිසා නෙවෙයි, නිකන් ගෑනු ටිකක් බාගෙට ඇඳන් නටනව බලන්ඩ යුරෝ 150 දෙන්න තරං කැසිල්ලක් අපි කාටවත් තිබ්බෙ නැති නිසා. දැන් ඉතින් ඕකෙ පින්තුරත් අරන් අපි ආයෙ ඇවිදින්න ගත්ත. ඔය Moulin Rouge  එක කිට්ටුව තමයි පැරිසියේ රතු එලි දිස්ත්‍රික්කය තියෙන්නෙ. අපි දන්නෙ නැතුව පය ගහල තියෙන්නෙ ඒකට. (ඔව් බොලව්! දන්නෙ නැතුව තමයි...) දන්නෙ නැතුව ආවට ඉතින් දැනගන්නෙ නැතුව යන එක හරි නෑනෙ. ඉතින් අපි සිරි නරඹන්ඩ  ගත්ත. අඩි දහයක් ගියේ නෑ එකෙක් ඇවිත් 'භායි  සහාබ්, කේසා හේ තුම් ? අන්දර් ආවෝ' කියල අහපි. මෙන්න යකෝ ඉංග්‍රීසිත් බැහැයි කිව්ව ප්‍රංශ කාරයො හින්දි කතා කරනව!!! මූ හිතල තියෙන්නෙ අපි ඉන්දියන් කියල. එතන ඉඳන් මග දිගට පිම්පියොන් ගෙනුයි ගෑනුන් ගෙනුයි ගැලවිල්ලක් නෑ. අපි බේරිලා ආවෙ බොහොම අමාරුවෙන්. හැබැයි සිංහල ඇරෙන්ඩ ගොඩක් බාසා වලින් උන් අපිට අඬ ගැහුව මම හිතන්නෙ. අනේ උන් නොදන්න ඉංග්‍රීසි!!!

ප/ලි
මේක කියවන කොල්ලොන්ට: ප්‍රංසෙට ගිහින් මොනවා හරි දැනගන්න ඕනෙ නං ප්‍රංස නංගිලා ගෙන් අහන්ඩ. හරි හොඳට හිනා වෙලා කියල දෙනව. මට දන්න
දේවල්  ගොඩාක්  අමතක උනා එහෙට ගියාට පස්සෙ.




Friday, 18 February 2011

කෙලවීම....!!

කෙලවීම කිව්වම ඉතින් කෙලවීමෙත් ඉවරයක් නෑ. ඔය ගොඩක් අය කියනවනේ අපි වලක් කැපුවොත් එකෙත් ගෙම්බෙක්. එහෙමත් නැත්තන් අපි ගහකට නැග්ගොත් එකෙත් දෙබරයක් වගේ කතා.  හැබැයි මට තරං ඕව වෙන්නේ නෑ වෙන කාටවත්.  මම හිතන්නෙ මං තුමා ඉපදිච්ච නැකත නම් ඔය ග්‍රහයෝ ටික ඔක්කොම කාලක් හරි බාගයක් හරි ක්‍රියාකරල හිටපු වෙලාවක් වෙන්ඩ ඕනෙ.
නිකන් ඒවත් නෙවෙයි අර බල්ලොන්ට ගහන ඒව. මොකද මට තොප්පියක් නැතුව කාක්කො වහල ඉන්න ගහක් යටින් යන්ඩවත් බෑ. ඒ තරම් ලකී. ඒ ඕනෙ නෑ, ලඟදි ලංකාවට ගියපු වෙලාවක අපි යාළුවො කට්ටිය සෙට් වෙලා ඉවර වෙලා ගෙවල් වලට යන ගමන් මම වෙන එකෙක් එක්ක උගේ වාහනේ ආව. වෙලාව පාන්දර 2.30 විතර ඇති. අපි කොළඹ පාර දෙපැත්තේ රූස්ස ගස් තියෙන පාරකට හැරෙව්ව. අඩි දහයක් ගියේ නෑ වින්ඩ්ස්ක්රීන් එකේ මම හිටපු පැත්තට කාක්කෙක් දුන්නේ නැද්ද 'තොක්'  ගාල එකක්. යකෝ මට මගේ පාඩුවේ වාහනේක යන්ඩවත් ඉඩ නැද්ද? අනික මේ පාන්දර? මීට පස්සෙ නං පහන්තිර දාපු කිරිබත් ගුලි ඕකුන්ට දෙනව බොරු .

මට මේ කෙලවිම ගැන කතා මතක් උනේ මේ ළඟදිත් ඒ වගේ එකක් උන නිසා. මෙච්චර කල් කල්දදා ඉඳල මමත් අන්තිමට ගියා මෙහේ රියදුරු බලපත්‍රය ගන්ඩ. ලංකාව කොච්චර හොඳද කියල හිතෙන්නෙ එතකොට. මෙහේ දාහක් දේවල් බලනව ටෙස්ට් එකේදී. ඕකේ තියෙනව එක එක වාහන හැසිරවීම් කරලා පෙන්නන්ඩ.  reverse parking, 3 point turn  වගේ එක එක ඒවා. ඕව ඔක්කොම පුරුදු වෙන්ඩ ඕනෙ. හැබැයි ටෙස්ට් එකේදී කරන්ඩ වෙන්නේ එකයි. ඒක මොකද්ද කියල ඒ වෙලාවට තමයි කියන්නේ. කොහොමහරි ඉතින් මමත් ටෙස්ට් එකට කලින් ඕව ටිකක් පුරුදු උනා ලර්නර්ස් එකකට ගිහින්. ඔය ඔක්කොම ජාතියේ වාහන හැසිරවීම් පුරුදු උනත්, එකක් පුරුදු වෙන්ඩ වෙලාව මදි උනා. දැන් ඉතින් හිතගත්තහැකි නෙ? ටෙස්ට් එකේදී ඇහුවේ ඒ පුරුදු නොවිච්ච එක කරල පෙන්නන්ඩ කියල තමයි. කාල වරෙන්කො. කොහොමහරි ඉතින් ලංකාවේ කරල පුරුදු විදිහට කොරල පෙන්නුව. ටෙස්ට් ඒක ෆේල් !!! කාට කියන්නද මේ දුක. 

මගෙන් පස්සෙ වැඩියෙන්ම කෙල වෙන එවුන් මම හිතන්නෙ මගේ අවුරුද්දෙම  ඉපදිච්ච එවුන්. (දැන් ඒකට හේතු ගලපන්ට එහෙම ලෑස්ති වෙන්ඩ එපා හොඳේ?). අපිට එරෙහිව සොබාදහම විතරක් නෙවෙයි, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කුමන්ත්‍රණයක් තියෙනව කියල අපිට ඒ කාලෙම හිතිලා තිබුනේ. බොරු නෙමේ. අපි O/L කරපු අවුරුද්දෙ තමයි පළවෙනියට අර සයන්ස් පේපර් එකයි, මැත්ස් පේපර් එකයි දෙකට කඩල ප්‍රශ්න පත්තර 4 කලේ. දැන් ඕකට ඉතින් කට්ටිය එක එක කතා කියනව. "මැත්ස් වන් එකයි, සයන්ස් වන් එකයි පාස් උනාම ඇතිලු ආට් කරන්න"
" පේපර් 4ම පාස් උනේ නැත්තන් A/L කරන්න දෙන්නේ නෑලු........"
"සයන්ස් I එකයි, මැත්ස් I ලේසි කරල සයන්ස් II එකයි මැත්ස් II පේපර්ස් පට්ට අමාරු කරනවලු......"
"පේපර් I එකත් එච්චර ලේසි නෑලු, කලින්ට වැඩිය අමාරු ලු....."
"කොන්දොස්තර කෙනෙක් වෙන්ඩත් සයන්ස් I එකයි මැත්ස් I එකයි පාස් වෙලා ඉන්ඩ ඕනෙලු....."
ඔය වගේ කතා කෝටියයි. අපිත් ඉතින් ඉරාගෙන පාඩං කරල ගිහින් ලිව්ව. එහෙම විභාගේ තිබ්බේ ඒ අවුරුද්දේ විතරයි මම හිතන්නෙ. ඊට පස්සෙ ආව A/L කරන්ඩ. මෙන්න යකෝ ඒපාර අගෝස්තු තිබ්බ විභාගේ අප්‍රේල් වලට ගේනවලු!! ඔය කාලෙත් අර වගේ තමයි.
ඒ පාර ඉස්කෝලෙ ගුරුවරුයි ටියුෂන් ගුරුවරුයි එක එක කතා කියනව.


"අනේ මේ පාන් ගෙඩියක් ගන්ඩ කඩයක් ඇරල නෑ ඔය අවුරුදු දවස් වල, මොන විභාගද? ඒක නිසා බය වෙන්ඩ එපා. ඕක වෙන්නෙ නෑ. අපි කලින් අවුරුදු වල විදිහට සිලබස් එක කවර් කරමු ......"

"ළමයි ඕගොල්ලොන්ට ලැස්ති වෙන්ඩ තියෙන කාලේ අඩුයි. ඒ නිසා අපි මේ පන්තියේ සිලබස් එක අග ඉඳන් මුලට කරමු. ඉස්කෝලේ මුල ඉඳන් අගට කරනවනෙ."

"අපිට මුළු සිලබස් එකම කවර් කරන්ඩ වෙලාවක් නෑ. මම විභාගෙට එයි කියල හිතෙන පාඩං ටික විතරක් උගන්නනව!..."

අපිත් ඉතින් ඕ.පු කියල එක සබ්ජෙක්ට් එකට ක්ලාස් දෙක තුන බඩ ගාල සිලබස් කවර් කරගෙන යන්තන් විභාගෙ ලිව්ව.
දැන් ආයෙම විභාගෙ තියෙන්නෙ අගෝස්තු වල!!!

ඉතින් ඔන්න
ඔහොම හැලහැප්පිලි මැද්දෙ ඇවිත්
අපි A/L ලිව්ව. අන්තිම දවසෙ පේපර් එක ලියල ඉවර වෙලා කට්ටිය කොහේ හරි යන්ඩ කතා වෙනව. විභාගෙ ඉවර වීම සමරන්ඩ වෙනම දවසක් දාගෙන තිබ්බ නිසා එදා හවසට මුකුත් වැඩසටහනක් තිබ්බෙ නෑ. ඔය අස්සේ එකෙක් කිව්ව ඌ අඳුරන කෙල්ලෙක් කිව්ව කියල උන් ටික විභාගෙ ඉවර වෙලා ගෝල් ෆේස් යනවා කියල. ඌ කියල කට ගන්ඩ කලින් අපේ අය්යල බස් එකේ නැගල ඉවරයි. ඔන්න ඉතින් අපිත් ගෝල් ෆේස් ගිහින් පුෂ්ප නෙලල,  මධු හලල ආයෙ පිටකොටුවට එන්ඩ බස් එකක් එනකන් ඉන්නව. මම හිතන්නෙ ඒ දවස් වල රුපියල් 4 ක විතර ටිකට් එක. ඔය ඉන්න අතරෙ එකෙක් ගෙනාව යෝජනාවක් හොරෙන් බස් එකේ යමු කියල. අපි 10 විතර හිටිය. කට්ටියම හොරෙන් යනව කියන්නෙ බොරු. එත් ඉතින් අපේ එවුන් විභාගෙ ඉවර වෙච්ච ආතල් එකේ හිටපු නිසා කොහොමහරි කරමු කියල වැඩේට බැස්ස. ටිකකින් ආව C.T.B.  බස් එකක්. කට කපල සෙනග. අපි කට්ටියම නැග්ග. මගේ ඔය අදින්නාදානය කොහොමටත් නෑ. ඉතින් මම කලින්ම උන්ට කිව්ව මම නං ටිකට් ගන්නව කියල. ඉතින් කිව්ව වගේම මම පිටකොටුවට ටිකට් ගත්ත. අනිත් එවුන් දැන් තැන් තැන් වල හැංගිලා යනව. කොහොමහරි බස් එක පිට කොටුවට ඇවිත් නැවැත්තුව. අපි කට්ටිය බහින්ඩ සෙට් උනා විතරයි මෙන්න බොලේ දොරවල් දෙකෙන් දෙන්න ගානේ 4 දෙනෙක් 'බාප්පල' නැග්ග "කවුරුත් බහින්ඩ එපා, ටිකට් අරගන්ඩ එලියට" කියාගෙන. ඔය මම ගියපු බස් එකකට ටික්කො පැන්නමයි.

මල කෙලියයි. අපේ සෙට් එකේ හිටපු සමහර 'මීටර්' ළමයි ඔය ටිකට් නැතුව බස් එකේ ගියාමලු! මම ටිකට් අරගෙන තියෙද්දිත් බාප්පල නැග්ගේ කාගේ කරුමෙටද මන්ද! දැන් ඉතින් මොනවා කරන්නද. කට්ටියම මාට්ටු.
අනික් මිනිස්සු බැහැල ගියා. දැන් අපිව පෝලිමට බස් එකෙන් බැස්සුව.
ඔන්න ඉතින් අර 4 දෙනාගෙන් එක්කෙන් මගෙ ගාවට ඇවිත් ඇහුව "පුතාල මොන ඉස්කෝලෙද ?" කියල. කරුමෙට අපේ ඉස්කෝලෙ ඊට ටික කාලෙකට කලින් ෂර්ට් එකේ ගහගන්ඩ බැජ් එකක් අදුන්නල දීල තිබ්බ.  ඉස්කෝලෙ අවුරුදු සීයකටත් වැඩි ඉතිහාසෙ ප්‍රයිමරි එකෙන් උඩ එවුන්ට බැජ් එකක් අඳුන්නල දුන්න පලවෙනි සැරේ මම හිතන්නෙ. පොර ඕක ඇහුවේ මගෙ ෂර්ට් එකේ බැජ් එක දිහා බලාගෙන. ඇයි දෙයිහාමුදුරුවනේ මේවා අපිටම වෙන්නෙ? මම ඉතින් මුකුත් නොකිය දන්න හොඳම හිනාව දැම්ම.
"පුතාල මරිය කඩේ ඉස්කෝලෙ නේද?"
දැන් මොකෝ නෑ කියන්ඩ යැ? අනික මිනිස්සුත් වට වෙලා බලාගෙන ඉන්නව. අපි ඔක්කොම ඉස්කෝලෙ කිට පිටින්. මම ටිකට් අරගෙනත් යාලු ෆිට් එකට අරුන් එක්කම ඉන්නව. මම ආයෙම කලින් ගොන් හිනාවම දැම්ම.
"හ්ම්ම්... කමක් නෑ, දඩේ ගෙවන්ඩ ඕනෙ නෑ, කට්ටියම ටිකට් එකේ ගාන විතරක් ගෙවල යන්ඩ. කොලු කාලෙ ඔහොම දෙයක් කලේ නැත්තන් ගතියක් නෑනේ. "

අපේ එවුන් ඒ අන්කල් ට වැන්දේ නැති ටික විතරයි.
හැබැයි ඉතින් ඒ වෙනකොට අපිව නිකන් ෂෝ කේස් එකේ දැම්ම වගේ පිටකොටුව මැද්දෙ චාටර් වෙලා ඉවරයි.
ඔන්න ඔහොමයි ඉතින් අපි වැඩක් කලොත්....

ප/ලි : කෙලවිම ගැන ලස්සන ෆිල්ම් එකක තියෙනව  "Just My Luck" කියල. බලල නැති කට්ටිය හොයාගෙන බලන්ට. මම හිතන්නෙ මටත් මගෙ ලක් එක වෙනස් කරගන්ඩ ඔය ෆිල්ම් එකේ ඉන්න Lindsay Lohan  වගේ එක්කෙනෙක් හොයාගන්ඩ වෙයි වගේ.

Thursday, 10 February 2011

මාකටිං කවි පන්තිය.....

මේක අද ඊ මේල් එකක ආවෙ. පරණ කවි පන්තියක් උනත් කලින් දැකල නැති කට්ටියට දැක ගන්නයි, දැකපු අයට ආයේ මතක් වෙන්නයි කියල බෙදා හදා ගන්න හිතුව. ඔන්න ඩිස්ක්ලේමර් එක කියල ඉන්න ඕනෙ. මෙය  මගේ නිර්මාණයක් නොවන අතර හුදු විනෝදාස්වාදය සඳහා පල කිරීමක් පමණකි. සියලු අයතීන් මෙය ලියු එකා (කූඹියා)  සතුය.
ප/ලි : මේක එවපු එකා එවල තිබ්බෙ අපේ එකෙකුට මඩක් ගහන්ඩ. ඔය අන්තිම පේලියෙන් කියවෙන්නේ ඌ ගැනලු!!
ප/ප/ලි: මඩ කාපු එකාත් මම නෙවේය. මම කොටත් නැත. එච්චර කළුත් නැත ;).

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!