මගේ කවදත් ආසාව තිබ්බේ වීර වික්‍රමාන්විත, ත්‍රාසජනක කතා තියෙන පොත් වලට. ටාසන් කතා මාලාවට මම දැඩිව ඇලුම් කලේ එකයි කියල හිතෙනව. Treasure Island , king solomon's mine's, Around the world in 80 days , Twenty thousand leagues under the sea වගේ කතා බොහොම අසාවෙන් කියෙව්ව. ඕව ඔක්කොගෙම පරිවර්තන කියෙව්වෙ. සමහර ඒව සඟරා වල කොටස් වශයෙන් ඒ දවස් වල ගියා. මුලින්ම ඉංග්‍රීසි පොතක් මුල ඉඳන් අගට කියෙව්වෙ A tale of two cities එකේ සංක්ෂිප්ත මුද්‍රණය. ඉංගිරිසියෙන් කතා කියවන්න පෙළඹුනේ ඉස්කෝලේ මගේ එහා පැත්තෙ හිටපු එකා ලොකු ලොකු කඩු පොත් ගෙනත් පන්තියේ කියවන්න ගත්තම. මම කොහොමද ඌට සෙකන්ඩ් වෙන්නෙ? මට හොඳට මතකයි පොත් ප්‍රදර්ශනයකින් තාත්තත් එක්ක ගිහින් ගත්ත තරමක් ලොකු ඉංග්‍රීසි නවල් එකක්. ගෙදර ගෙනත් මලලසේකර ඩික්ෂනරියත් ළඟ තියන් දුන්න ඇට්ටි හැලෙන්න. පොතට වඩා බැලුවෙ ඩික්ෂනරිය. ඒක මට මතක විදිහට Sin Bin කියල ටීන් නවල් එකක්. එක ඉවර වෙනකන් කියෙව්වෙ නෑ. ඔන්න ඊට පස්සෙ ඉන්ග්ලිෂ් ටීන් නවල්ස් කියවන්න උණක් ආව. ඇත්තටම කිව්වොත් අපේ පංතියේ ගොඩක් එවුන්ට Hardy Boys උණ හැදුන. ඔකේ තියෙන්නේ Hardy කියන වාසගම තියෙන ඇමරිකාවේ නව යොවුන් වියේ ඉන්න අයිය මලෝ දෙන්නෙකුගෙ රජ වැඩ කිඩ. මම හිතන්නෙ අපි එතකොට අට වසරෙ විතර ඇති. Hardy Boys එකේ සිරිස් දෙකක් තිබ්බ. Adventure සිරිස් එකයි. Case Files සිරිස් එකයි. ඔය දෙකේ වෙන වෙනම නොම්මර දාල පොත් තිබ්බෙ. ඉතින් අපි පන්තියට ඇවිත් පම්පෝරි ගහනවා මම අහවල් නම්බර් එක වෙනකන් ඔක්කොම පොත් කියවල ඉවරයි කියල. මට මතක විදිහට Nancy Drew එහෙමත් එහෙන් මෙහෙන් කියෙව්ව. හැබැයි ප්‍රසිද්දියේ නෙවෙයි. මොකද ඒකත් Hardy Boys වගේ එකක්. හැබැයි කතා නායිකාව කෙල්ලෙක්. ඉතින් ඒක කෙල්ලොන්ට තියෙන පොතක්. තාම ළමයි මේ පොත් කියවනවද දන්නෑ.
ඕකත් එක්ක සමගාමීව තිබ්බ අනික් උණ තමා විද්‍යා ප්‍රබන්ධ සහ රහස් පරීක්ෂක කතා කියවිල්ල. රහස් පරීක්ෂක කතා කිව්වොත් ඉතින් ෂර්ලොක් හෝම්ස් ට ගහන්න පුළුවන් ජගතෙක් මට තාම හම්බෙලා නෑ ( අගතා ක්‍රිස්ටිගේ කතා වල මට සර් ආතර් කොනන් ඩොයිල් ගේ තරං ගතියක් නෑ). විද්‍යා ප්‍රබන්ධ වැඩි හරියක් කියෙව්වෙ ආතර් සි ක්ලාක් මහත්මයගේ පොත් තමයි. මොන හේතුවක් නිසාද මන්ද මට රුසියන් සාහිත්‍ය අල්ලල ගියෙ නෑ. ඒකෙ තිබ්බෙ ත්‍රාසය, වීර කමට වඩා ගැඹුරින් මිනිස් චර්යාවන් විනිවිද දැකපු පොත් නිසාද දන්නෑ. මම ගෝර්කි, ටෝල්ස්ටෝයි, ෆ්‍රාන්ස් කෆ්කා (ජර්මානු) වගේ අයගේ කතා කියෙව්වත් කවදාවත් මට අමතක නොවෙන කතා පොත් වලට ඒව ගන්න බෑ. ක්ලැසික් නවල්ස් වලින් මට අමතකම නොවන එක ඇලෙක්සැන්ඩර් ඩුමා ගේ Three Musketeers. සමහර සීන් වලට හිනා වෙලා ඉල ඇදෙනව. ඩුමා ගැන අහල නැති කෙනෙක් ඉන්නව නං, ඔහු තමයි මොන්ත ක්රිස්තෝ සිටුවරයා, යවෙස් ලු මිනිසා වැනි කතා පොත් වල කතුවරය.
මට එතෙක් මෙතෙක් හමු උණ අපේ කාලයේ කතුවරුන් අතරින් මම කැමතිම කතුවරය මට හම්බ උනේ උසස් පෙළ කරන කාලෙදි. ඒ මම කලින් ලිපියකත් කියපු මයිකල් ක්‍රයිටන්. ඔහුගෙ පොත් වල විශේෂත්වයක් වෙන්නෙ කතාවට අමතරව මොනවහරි විෂයක් ගැන සැහෙන්ඩ ඉගෙන ගන්න හම්බවෙන එක. ඔහුගෙ කතා ගැන මෙහෙම කියන්න බෑ. ඒකට දවසක වෙනම පොස්ට් එකක් ලියනව. උසස්පෙළ කාලෙ වෙද්දී ඇත්තටම පොත් කියවන්න වෙලාවක් තිබ්බෙ නෑ. මගේ ජීවිතේ පලවෙනි සහ අන්තිම වතාවට සුකුරුත්තන් ආදර කතා පොතක් කියෙව්වෙ උසස් පෙළ කරන කාලෙදි. ඒ දිනේෂ් කොළඹගේ ලියපු 'සුළඟ වගේ ඇවිදින්' පොත. ඒ දවස් වල හිතට සමීප සබ්ජෙක්ට් එකක් ගැන ලියවිලා තිබ්බ නිසාත්, පොත ලියවිලා තිබ්බ පරිසරය සහ ඒකෙ තිබ්බ අත්දැකීම් අපි ඒකාලේ බොහොමයක් අත් විඳපු සහ අත් විඳිමින් හිටපු අත්දැකීම් නිසාත්, බොරු බොළඳ කවි වලින් පොත පිරිල තිබ්බෙ නැති නිසාත් ඒ කතාව අල්ලල ගියා. ලඟදි මට ඒ පොතේ pdf එකක් හම්බ උනාම අයෙම අතීතෙට ගියා වගේ උනා.
උසස්පෙළින් පස්සෙ කතා පොත් කියවන එක සැහෙන්ඩ අඩු උනා. ඊට පස්සෙ වැඩි හරියක් කියෙව්වෙ කළමනාකරණය හා සම්බන්ධ වෙච්ච පොත්. In search of excellence, Good to great, Built to last ඒ අතරින් විශේෂයි. තව ව්‍යාපාරික ලෝකයේ නමක් දිනාගත්තු සුවිශේෂී පුද්ගලයොන්ගෙ ජීවිත කතා කියවන්ඩත් ගත්ත. Virgin සමාගම් වල අයිතිකරු වන Sir Richard Branson ගෙ ජීවිත කතාව තමයි මගේ ප්‍රියතම කතාව. ඔහුගෙ පොතේ නම 'Losing my virginity'. ව්‍යාපාරික කන්‍යාභාවය නැති කරගනිමින්, 'කන්‍යාව' නමින් නම් කරපු තමන්ගෙ ව්‍යාපාරය ජාතන්තර මට්ටමට ගෙනියන හැටි ඒකෙ අපුරුවට විස්තර වෙනව. මම හිතන්නෙ ඔබට හෝ මට ඔහුට තරං ජීවිතයෙ කරදර වලට මුහුණ දෙන්න උනා නං, අපි සටන අත හැරලා ගොඩක් කල්. නමුත් තමන්ට එන බාධක ඉදිරියේ නොසැලී ඉස්සරහට යන්න ඔහුට තිබ්බ ධහිර්ය හිතාගන්න බැරි තරම්. ගොඩක් වෙලාවට ඔය වගේ ස්වයං චරිතාපදාන වල තියෙන්නෙ 'මම පොර' ජාතකේ. හැබැයි Sir Branson ගෙ පොතේ ඔහුට වැරදුනු තැන් පවා ඔහු කිසිම පැකිලීමක් නැතිව විස්තර කරනව. පොත් ගැන කියද්දි, කියවන්ඩ ආසාවක් ඇති කරවපු දෙමව්පියන් සිහිපත් නොකර බෑ. ඉන්ටර්නෙට් තිබ්බෙ නැති අපි පොඩි කාලෙ, මට ඉන්ටර්නෙට් එක උනේ, නොවරදවා ගෙදරට ගෙනාපු මුතුහර, සිව්දෙස, සමුදුර වගේ සඟරා. රිඩර්ස් ඩයිජස්ට් කියවන්න තරං පුළුවන් කමක් නොතිබ්බ ඒ කාලෙ, එවයේ පරිවර්තන කියෙව්වෙ මුතුහර වගේ සඟරා වලින් තමයි.
අතීතේ ඉඳන් කියවපු පොත් පත් මතක් වෙද්දි ආයෙම අතීතෙට ගියා වගේ. තාමත් ඉස්සර කියවපු පොතක් දැක්කම හරියට පරණ යාලුවෙක් හම්බුනා වගේ හැගීමක් තමා දැනෙන්නෙ.
Image: http://usedbooksblog.com/blog/category/book-statistics/




