Saturday, 30 July 2011

Formula 1 ටීම් එකක ඇතුල දැකල තියෙනවද?

මම කලින් පොස්ට් එකකත් කියල තියෙනවනෙ මට Formula 1 උන සෑහෙන්ඩ තියෙනව කියල. මගේ ප්‍රියතම Formula 1 කණ්ඩායම තමයි McLaren Mercedes ටීම් එක. පහු ගිය දවසක මට ජීවිතේ සිහිනයක් සැබෑ වෙන වැඩක් සිද්ද උනා. ඒ තමයි ඔය මැක්ලරන් කණ්ඩායමේ ෆැක්ටරිය බලන්ඩ යන්ඩ අවස්ථාවක් හම්බ උන එක. ඒක ඒගොල්ලො හඳුන්වන්නෙ 'මැක්ලරන් ටෙක්නොලොජි සෙන්ටර්'  කියල . ඒක ටිකට් අරගෙන බලන්ඩ යන්ඩ පුළුවන් තැනක් නෙවෙයි. යන්ඩ පුළුවන් ආරාධනාවක් ලැබුනොත් විතරයි. ඉතින් කොල්ලකාරයටත් ඔහොම ආරාධනාවක් ලැබුන. එදා ඉඳන් අදාල දවස එනකන් ඇඟිලි ගැන ගැන තමයි හිටියෙ. නිකන් නෙවෙයි එදාට 2008 ලෝක ශුරයා වෙච්ච, දැනට මැක්ලරන් කණ්ඩායමේ රියදුරෙක් වෙන ලුවිස් හැමිල්ටනුත් එනවා කියල තිබ්බ. ඔහු මගේ ප්‍රියතම ක්‍රීඩකයෙක් (රේස් පැදීමත් ක්‍රීඩාවක් තමයි. ෆෝමියුලා 1 රියදුරෙක් ගේ ශාරීරික යෝග්‍යතාවය ලෝකේ අනිත් ක්‍රීඩාවලට අවශ්‍ය මට්ටමට සමානයි. ගොඩක් වෙලාවට ඊටත් වඩා වැඩියි.)

ඉතින් ඔහොම ගිහිල්ල ගත්තු පින්තුර ටිකක් තමයි පහල තියෙන්නෙ. ලංකාවෙ ගොඩක් දෙනෙක් ෆෝමියුලා 1 ගැන දන්නේ නැති වග මම දන්නව. ඉතින් පොඩි හැඳින්වීමක්  දීල ඉන්නං. ෆෝමියුලා 1 ටීම් එකක් පටන් ගන්න එක ඕන කෙනෙකුට කරන්න පුළුවන් වැඩක්. ඕන වෙන්නෙ ඇමෙරිකන් ඩොලර් මිලියන 400 වගේ සුළු මුදලක් විතරයි!!!! ( මේ මම කිව්වේ සාමාන්‍යයෙන් ටීම් එකක් අවුරුද්දක් දුවන්න වියදන් වෙනවා කියල ඇස්තමේන්තු කරලා තියෙන ගාන. සමහර විට මීට වැඩි වෙන්නත් පුළුවන්).  අවුරුද්දකට ෆෝමියුලා 1 රේස් 18ක් හෝ 19ක් වගේ ගානක් තියෙනව. අවුරුද්දෙන් අවුරුද්ද මේ සංක්‍යාව පොඩ්ඩක් වෙනස් වෙන්ඩ පුළුවන්. මේවා පාලනය කරන්නේ FIA (Federation Internationale de l'Automobile) කියන ආයතනය මගින්. ඒක හරියට ක්‍රිකට් වල අයි  සී සී එක වගේ. මේ රේස් තියෙන්නෙ ලෝකේ විවිධ රටවල් වල. ඉතින් ෆෝමියුලා 1 කණ්ඩායම් මේ හැම තරගයකටම සහභාගී වෙනව. එක කණ්ඩායමකට කාර් දෙකක් තරගයට යොදවන්න පුළුවන්. තරගය දිනන පිළිවෙල අනුව පලවෙනි රියදුරන් 10 දෙනාට ලකුණු හම්බවෙනව. පළවෙනියට ලකුණු 25, දෙවෙනියට ලකුණු 18, තුන්වෙනියට ලකුණු 15 යනාදී වශයෙන්. 10 වෙනියට පස්සේ ඉවර කරොත් එක ලකුණක් වත් නෑ. අවුරුද්ද අන්තිමට ශුරතාවයන් දෙකක් තෝරනව. රියදුරන් ගේ ශුරතාවය සහ කණ්ඩායම් ශුරතාවය. අවුරුද්දේ ඔක්කොම තරග වලින් ලබා ගත්ත ලකුණු වල එකතුව අනුව, වැඩිම ලකුණු ගත්ත රියදුරා, රියදුරන් ගේ ශුරතාවය දිනනවා. කණ්ඩායමේ රියදුරන් දෙන්නම ලබාගත් ලකුණු එකතු කලාම වැඩිම ලකුණු තියෙන කණ්ඩායම, කණ්ඩායම් ශුරතාවය දිනනව. අපි කවුරුත් අහල තියෙන මයිකල් ශුමාකර් රියදුරන් ගේ ශුරතාවය 7 වතාවක් දිනල තියෙනව.හැබැයි රෙසින්ග් ගැන උනන්දුවක් තියෙන ගොඩක් අය පිළිගන්න දෙයක් තමයි, මෙතෙක් බිහිවෙච්ච දක්ෂතම රියදුරා අයර්ටන් සෙන්නා කියන එක. 1994 දී ෆෝමියුලා 1 තරඟයකදී වෙච්ච අනතුරකින් ඔහු මිය යද්දි ලෝක ශුරතාවයන් 3 ක් දිනා ගෙන හිටියෙ. ඔහු ශුරතාවයන් 3 ම දින්නේ මැක්ලරන් කණ්ඩායමත් එක්ක. කියෙව්ව ඇති, පින්තුර ටික බලමු. පින්තුර ලොකු කරල බලන්න ඕනෙ නං එව උඩ ක්ලික් කරන්න.

මැක්ලරන් කර්මාන්ත ශාලාව හදල තියෙන්නේ ying-yang සලකුණේ හැඩයට. ඒ රවුමෙ එක බාගයක් ගොඩනැගිල්ල. ඉතුරු බාගෙ ඔය ඉස්සරහ තියෙන කෘතීම විල. ඕගොල්ලොන්ට පේනවා ඇති ගොඩනැගිල්ලෙ ඉස්සරහ S අකුරේ හැඩේට තියෙනව. ඒක  තමයි යින්ග්-යැන්ග් සලකුණේ මැද තියෙන බෙදීම සංකේතවත් කරන්නෙ. ෆෝමියුලා 1 කණ්ඩායම් තමන් ගේ ක්‍රියාකාරකම් වල රහසිගත භාවය රකින්න සෑහෙන උනන්දු වෙනව. මොකද මේ ක්‍රීඩාවේදි තොරතුරු කියන දේ සෑහෙන්ඩ වටිනව. 'මැක්ලරන් ටෙක්නොලොජි සෙන්ටර්' එකත් තියෙන්නේ විශාල විවුර්ත භූමියක මැද හරියේ. ප්‍රධාන පාරෙ ඉඳන් ඇතුලට වෙන්න, එලියට පෙන්නේ නැති වෙන්න. ගොඩනැගිල්ල වටේට කෘතීම කඳු හදල තියෙනව. 
ගොඩනැගිල්ලෙ ගොඩක් තැන් වලට අමුත්තන්ට ඇතුල් වීම තහනම්. සමහර තැන් වලට, විශේෂයෙන්ම wind tunnel එකට ඇතුල් වෙන්ඩ දුන්නත් චායාරූප ගන්න තහනම්. අපිට චායාරූප ගන්න ඉඩ දුන්න හරියෙ මේ වගේ එක එක අවුරුදු වල මැක්ලරන් ටීම් එකෙන් පාවිච්චි කරපු කාර් ප්‍රදර්ශනයට තියල තියෙනව.



ජීවිතේ හීනයක් වෙලා තිබ්බ ෆෝමියුලා 1 කාර් එකක් ඇතුලට නැගල බලන්නත් මට අවස්ථාව හම්බ උනා. මේ කාර් එකට නැගල අපිට ෆොටෝ ගන්න දුන්න. ඒ විතරක් යැ, pit stop එකක් කරන්නත් අවස්ථාවක් ලැබුන. අර රේස් එක මැදදී දඩ බඩ ගාල ටයර් මාරු කරන්නෙ, අන්න ඒකක්. අපිට ටයර් එක මාරු කරන්ඩ තප්පර 5.69 ගියා. සාමාන්යෙන් ෆෝමියුලා 1 ටීම් එකක පිට් ක්රූ එකකට ටයර් 4 ම තප්පර 4 වගේ කාලයකදී මාරු කරන්ඩ පුළුවන්.

මේ තියෙන්නෙ ඉස්සර කාලෙ මැක්ලරන් ටීම් එකේ කාර්. නිකි ලෞව්ඩ, ඇලෙන් ප්රොස්ට්, අයටන් සෙන්න වගේ ලෝක ශුරයෝ පැදපු කාර් තමයි මේ තියෙන්නෙ. 
මේ  නිකි ලෞව්ඩ ගේ කාර් එක

නිකි ලෞව්ඩ ගේ කාර් එකේ ඇතුලත. අද කාලෙ එකකට වඩා ගැජමැටික් සැහෙන්ඩ අඩුයි.



1988 අයටන් සෙන්න ලෝක ශූරතාවය දිනපු රථය. ඒ අවුරුද්දේ තවත් ලෝක ශූරයෙක් වෙච්ච ඇලෙන් ප්රොස්ට් හිටියෙත් මැක්ලරන් එකේ. ඒ දෙන්න නිසා මේ කාර් එක ඒ අවුරුද්දෙ තරග 16 න් 15 ක් ම දිනල තියෙනව

2007 අවුරුද්දෙ මැක්ලරන් එකෙන් රේස් කරපු MP4-22 කාර් එක. පේනව නේද දැන් ස්ටීරින්ග් වීල් එක කොච්චර වෙනස්ද  කියල.
පැයට කි.මි 300 කට වඩා වේගෙකින් යන ගමන් මේ බටන් එහා මෙහා කරන්න තරං ෆෝමියුලා 1 රියදුරන් දක්ෂයි. මේවයෙන් බටන් එකක් ප්‍රෙස් කරල වතුර බොන්න, පිට් කෘ එකට කතා කරන්න, බ්රේක් බැලන්ස් ඇජස්ට් කරන්න වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්.


මේ කාර් සම්පූර්ණයෙන් ම කාබන් ෆයිබර් වලින් හදන්නෙ. මොකද පුළුවන් තරං බර අඩු කරල, ශක්තිය වැඩි කරන්න. බර අඩු කරන තරම කොච්චරද කියනව නං රියදුරාට පහසු වෙන්න කුෂන් මුකුත් ම නෑ. මේක ඇතුලට බැස්සම නිකන් යකඩ බටයක් ඇතුලට බැස්ස වගේ තමයි.
මේ තියෙන්නෙ කාර්මික වැඩපල. එක එක සංදර්ශන වලට , මාකටින් කැම්පේන් වලට ගෙනියන්න එකලස් කරපු කාර් තමයි ඔය තියෙන්නෙ. මේවා ගොඩක් වෙලාවට පහුගිය අවුරුදු වල රේස් ගියපු මොඩල්ස්. ඒවට පොඩි පොඩි කෑලි අමුණලා ප්‍රදර්ශන වලට ගෙනියනව. බලන්න එක මජං බින්දුවක් තියෙනවද කියල කොහෙවත්!
මේ බිත්ති දෙපැත්තෙ ප්‍රදර්ශනයට තියල තියෙන්නෙ මැක්ලරන් ටීම් එකෙන් එතෙක් මෙතෙක් දිනා ගත්ත ඔක්කොම කුසලාන

පින්තුර නං ගොඩක් ගත්ත. එත් ඉතින් ඔක්කොම දාන්න ඉඩ මදි. මැක්ලරන් සමාගම දැන් ස්පෝට්ස් කාර් හදන වැඩේටත් අත ගහල තියෙන්නෙ. ඉඩක් ලැබුනොත් පින්තුරත් එක්ක ඒ ටික දාන්නං. ආ, ලුවිස් හැමිල්ටන් හරි කැත වැඩක් කලානෙ! මිනිහ අපිට පොල්ලක් තිබ්බනෙ! හැබැයි අපරාදෙ කියන්ඩ බෑ යන්ඩ කලින් දවසෙම ෆෝන් එකට මැසේජ් එකක් ආව ලුවිස්ට හදිසියෙ රටින් පිට යන්න වෙන නිසා එන එකක් නෑ කියල. හැබැයි එකෙන් උනේ, ඕන තරං තැන් වල ඇවිදින්න පුළුවන් වෙච්ච එක. 

Thursday, 23 June 2011

මම පතෝලිට ආදරෙයි!

කලින් වලියෙ කතාව කියද්දි තමයි මේකත් මතක් උනෙ. දේශාටන කතා පොඩ්ඩකට නවත්තල මේකත් ලියල දාන්න හිතුන. මගේ පොඩි කාලෙ ඉඳන් හිටපු හොඳම යාලුව තමයි ටොමිය. එක වසරෙ ඉඳන් පටන් ගත්තු ඒ යාලු කම අදටත් තියෙනව. ටොමිය ඉස්කෝලෙ මගෙ පන්තියෙමයි හිටියෙ. පොරත් ඔය අපි වලිය දාගත්තු ක්ලාස් එකට ආව. ඒ දවස් වල ටොමිය ඔය ක්ලාස් එකට ආපු කෙල්ලෙකුට ට්‍රයි කරා. කෙල්ලගෙ නම පතෝලි. කොහොමහරි මේ සිද්දිය වෙන දවස් වල ටොමිය කෙල්ලට ෆුල් ට්‍රයි. කෙල්ල ටිකක් පොෂ් අංශයක්. ඉතින් අපේ එකත් ඒ දවස් වල හොඳ ජෙන්ටල්මන් වගේ තමයි ක්ලාස් එන්නෙ. ආවත් වැඩිය සද්ද නැතුව ඉන්නව. කතා කරොත් වචන දෙක තුනකට වඩා නෑ.  මු ඒ දවස් වල නිතරම කන්නෙත් ෆැබ් එකෙන්. මොකද කෙල්ල කන්න යන්නෙ එතෙන්ට. මුත් ඉතින් ගිහින් පැනිය දාගෙන කාල එනව. අපි නං ඉතින් ඔය කොහෙ හරි සයිවර් එකකට අල්ලල බඩ පැලෙන්ඩ කනව.  ඒ පංතියෙ ගොඩක් හිටියෙ අපේ ඉස්කෝලේ කොල්ලො. ගුරුවරය ප්‍රසිද්ද නිසා ඔය ක්ලාස් එකේ කට කපල සෙනග. අපි වාඩි වෙන පේලි තිබ්බෙ කෙලින්ම බෝඩ් එක දිහා බලාගෙන. ඉස්සරහවම පේලි වල කෙල්ලො, පස්සේ පේලි වල අපි. තව ඩෙස්ක් ටිකක් තිබ්බ ඔය ටිකට වම් පැත්තෙන් ක්ලාස් එකේ ඉස්සරහට වෙන්ඩ. ඒවා බෝඩ් ඒකට අංශක 90 වට තිබ්බෙ. ඒවා තිබ්බෙ ඉස්සරහ නිසාත්, වාඩි උනොත් බෙල්ල හරවාගෙන බෝඩ් එක දිහාත් බලන්න වෙන නිසා අපි ඕවයේ වාඩි උනේ නෑ. හැබැයි පතෝලි සහ එයාගෙ යාළුවො ඔක්කොම වාඩි උනේ ඕවයෙ. අපේ ටොමියටත් ඉතින් රජ මගුල්. මොකද වැඩි ආයාසයක් ගන්නෙම නැතිව කෙල්ල පේනවනෙ. ටොමිය පතෝලිට ට්‍රයි කරන එක දැනගෙන හිටියෙ අපේ ඉස්කෝලේ එවුනුත් තව කීප දෙනෙකුත් විතරයි. ක්ලාස් එකේ අනික් එවුන් මේ සීන් එක එතකොට දන්නෙ නෑ. 
මේ ක්ලාස් එක කරේ දිවයිනේ ශුද්ධ ගණිතයට ප්‍රසිද්ද වෙලා හිටපු සර් කෙනෙක්. පොරට ශුද්ධ ගණිතය හොඳට පුළුවන් උනාට හිටපු ගමන් ටිකක් විතර මෝල් කෙලිනව. සර් ගේ ඒ දවස් වල පුරුද්දක් වෙලා තිබ්බ අපිට හදන්න ගණන් ටිකක් දීල, ඒ අතරෙ ආපු චිට් කියවන එක. දවසක් ඔන්න ඒ වගේ වෙලාවක අපි ගණන් හදනව. සර් චිට් කියවනව. ටොමිය හිටියෙ මට එහා පැත්තෙ. ඌ බොහොම උනන්දුවෙන් ගණන් ටික ගොඩ දාගන්න දඟලනව. මමත් ඉතින් පොතට මූන ඔබාගෙන ගණන් හදනව. ඔය අතරෙ සර් එක පාරට මයික් එකෙන් කියපි,
'මම පතෝලිට ආදරෙයි!!'
මුළු ක්ලාස් එකම පොත් වලින් ඔලු උස්සල ඉස්සරහ බැලුවෙ ඉබේටම.
බලද්දී පොර චිට් එකක් දිහා බලාගෙන කියවන්නෙ. පොර තවත් මොකද්ද එකක් කියවන්න ට්‍රයි කරනව. පේන්නෙ නැති නිසා ජනේලයක් ලඟට ගිහින් චිට් එක ඉර එලියට අල්ලල බලල, ආයෙම මයික් එක අරන් මෙහෙම කිව්ව
'මීට ටොමියා !!!!!'
ඔය වෙලාවේ ක්ලාස් එකේ ඇති උන තත්වේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. සර් ඕක කියල කට ගන්නවත් එක්කම මට එහා පැත්තෙන් සද්දයක් ආව.
'ඩෝන් !!!!!'
ටොමිය ඩෙස්ක් එකේ ඔලුව ගහගෙන! දැන් පංතියෙ හතර හිනා!!
මල කෙලියයි. මම ඉක්මනට බැලුවෙ පතෝලි දිහා. කෙල්ල එයාට නෙවෙයි වගේ ගානක් වත් නැතුව ඉන්නව.
'නැගිටපන් ගොනෝ!, දැන් ඔක්කොම දන්නව තෝ තමයි ටොමිය කියල'
මම දත්මිටි කන ගමන් අරුට කිව්ව. කොහෙද, ඌ ඔලුව ගහගත්ත ගමන් ඉන්නව. මුළු ක්ලාස් එකම විනාඩි ගානක් යනකන් හිනා උනා. ඒ මදිවට සර් කාරයත් කියනව 'ඔන්න මම පුළුවන් විදිහට උදව් කරා' කියල. ක්ලාස් එකේ එවුන් තව හයියෙන් හිනා වෙනව. මල හොන්ඩරයයි!

දැන් අපිටත් මල. මොකද ඕක යැව්වෙ ටොමිය නං නෙවෙයි. දැන් ඉතින් කාඩ් කුඩු නිසා මුගේ ට්‍රයි එකට කෙල වෙයි කියල  තමයි කට්ටියට අවුල්. ඒ දවස් වල ඔය පොඩි දේවල් උනත් හරි ලොකුවට නෙ පේන්නෙ.
'කව්ද යකෝ චිට් එක යැව්වෙ?'
'කොහෙන්ද ආවේ?'
'පිටිපස්සෙන්'
'උට කොහෙන්ද ආවේ?'
'ඊටත් පිටිපස්සෙන්'
දැන් හෝ ගාල යවපු එකාව හොයනව. කොච්චර හෙව්වත් හම්බුනේ නෑ. කොහොමහරි ක්ලාස් එක ඉවර වෙන්ඩ කිට්ටු වෙද්දි, අපේ කේන්තිය බැහැල ගිහින් කට්ටියටම සීන් එක ගැන හිනා. ඉතින් අපි ටොමියවත් බයිට් කර කර බස් හෝල්ට් එකට යනව. අපේ ගෙවල් පැත්තෙ ඉඳන් ක්ලාස් එකට යන කොල්ලෙක් මට කිට්ටු කරා.
'මචන් ටොමියට තාම මල ද?'
'නෑ බන්. දැන් අවුලක් නෑ. ඌටත් දැන් ඒකට හිනා '
'ඒ මමයි බන් ඒක යැව්වෙ. මම හිතුවේ නෑ ඌ ඒක කියවයි කියල. අනික මම 'මීට ටොමිය' කෑල්ල මැකුව බං. මේ යකා ඒකත් කියෙව්වනේ!  '
'තෝ ඕක දැන් කියපු එක
හොඳා. ඒ වෙලාවෙ කිව්ව නං අද උඹ ඇවිදගෙන නෙවෙයි ගෙදර යන්නෙ..........  ඒ!! මෙන්න යවපු එකා!! නෙලපල්ලා මූට!!!'
මම එහෙම කිව්වත්. අපි කවුරුවත් ඌට නෙලන්ඩ  ගියෙ නෑ. ඌට ටොමිය අර කෙල්ලට ට්‍රයි කරනව කියල දැනගන්න හම්බෙලා තියෙන්නෙ එදා. ඒක
දැනගත්ත වෙලාවෙ මූ කොමියට තමයි ඕක යවල තිබ්බෙ. කාලයක් ගිහිල්ල ටොමියට කෙල්ල සෙට් උනත් එක්ක. අද මේ කතාව විශේෂයෙන් මතක් උනේ, අද ටොමියගේ උපන්දිනේ.
ටෝමියෝ උඹට සුබ උපන්දිනයක්!!

Friday, 17 June 2011

කව්ද යකෝ හු කිව්වේ ??? - 2 කොටස

මම කලින් කොටසෙදි කිව්වනෙ වලිය පටන් ගත්තු හැටි.එක බැලුවෙ නැත්තන් මෙතනින් ගිහින් බලන්න.ඉතින් ඔන්න අර පොර බඩාට අරහෙම කියල කිව්වලු 'උඹ පොඩ්ඩක් හිතපන්,උඹලගේ පැත්තට කවුරුහරි ඇවිත් උඹලට හූ කියල ගියොත් මොකද හිතෙන්නෙ ? ' කියල.
කොහොමහරි ඔය වෙලාවෙ පන්ති පටන් ගත්තු නිසා උන්ටික ගියා. හැබැයි කියල ගියේ ඊ ළඟ සතියෙ ඇවිත් අපිට ගේම දෙනව කියල. මොකද එදා හවස බැහැල්ලු. එදා හවස උන්ට මළ ගෙදරක යන්ඩ තියෙනවලු!!
අපි A/L කරන්ඩ ආපු ගමන්මනෙ මේ වලිය දාගත්තෙ. රොටරියේ ක්ලාස් යන්ඩ පටන් ගත්ත විතරයි. එක නිසා අපි කවුරුවත් ඔය රොටරි වත්ත ගැන වැඩිපුර දැනන් හිටියේ නෑ.ඊළඟ සතියෙ ඉස්කෝලෙ ගියාම කොල්ලො එනව පෝලිමේ.
'අඩෝ උඹල රොටරි වත්තත් එක්ක වලියක් දාගත්තලු නේද?'උදේ ඉස්කෝලෙ ගේට්ටුව ගාවදිම එකෙක් ඇහුව.
තව ටික වෙලාවකින් වලි හොයාගෙන යන එකෙක් එනව හම්බු වෙන්ඩ..
'මචන් කවද්ද ඊළඟට වලිය සෙට් වෙන්නෙ?'
ඊට පස්සෙ තවත් එකෙක් එනව,
'අඩෝ ඕකුන් එක්ක වලියට යන්ඩ එපා බන්.අර අගමැතිතුමාගේ ඉස්කෝලෙ අහවලා බස් එකක් පුරෝල ගෙනාව ඕකුන්ට ගහන්ඩ . කොහෙද, උන්ගෙ අම්මල තාත්තලත් බහිනවලු වලියට රෙද්ද උස්සගෙන'
ඒ අස්සෙ අපේ පංතියෙම එකෙක් එනව දුවගෙන,
'මචන්, එදා උඹට ගහපු එකාට කියන්නෙ පද්මෙ ලු.රොටරි වත්තෙ පද්මෙ කිව්වම නොදන්න එකෙක් නෑලු'
'වෙන්ඩ බෑනේ බන්. මම දැනන් හිටියෙ නෑනෙ!'
'යකෝ, මැට්ට නොවී අහපන්. ඌ ජීවිතේම වලි වලින් ගෙවන එකෙක්. උඹ ඔතනට යන්නෙ ඉගෙන ගන්ඩ. ඔය වලිය තව ඇදුනොත් උඹටමයි පාඩු . '
'දැන් මට මොකද්ද කරන්ඩ කියන්නෙ ?'
'පද්මෙට එදා උඹ ඔක්කොම ඉස්සරහ සද්දෙ දාපු එකට ඌට මළ පැනල ඉන්නේ. ඌට ඕනෙ උඹට දෙකක් නෙලන්ඩ. ඊළඟ පාර ඌ ගහන්ඩ ආවම කට වහගෙන ඉඳපන්. ටිකක් කන්ඩ වෙයි. හැබැයි වලිය ඊට පස්සෙ ඉවරයි.'
මේක මාර ආණ්ඩුවක් නෙ. වලිය සෙට් උනේ වෙන එකෙකුට, හු කිව්වේ වෙන එවුන් (මමත් ටිකක් විතර කිව්ව) දැන් එත් මුළු වලියම මගේ පිට.
' ඒ මොන ලැජ්ජ නැති වැඩක් ද බන්?'
'උඹට ඔයිට වැඩ ලැජ්ජාව නැති වෙනව මේක ඇදුනොත්. මම හසිතයටත් කතා කරා. ඌත් කැමතියි. කරන්ඩ දෙයක් නෑ. ටිකක් කාපන්. මේ වලිය ඉවර කරන්ඩ තියෙන එකම විදිහ ඕක.'

ඕන දේකට ලඟින් ඉන්නව කියල හිතපු සෙට් එක මෙහෙම කියද්දී මොනවා කරන්ඩද? හැබැයි හදවතින් නැතුව මොලෙන් කල්පනා කෙරුවම තේරෙනව උන් කියන්නෙ ඇත්ත කියල. අපිට ඕනෙ නං 20 හොයාගත්තහැකි. එත් වත්තෙ එවුන්ට 100 - 200 අරන් වලියට එන එක එච්චර දෙයක් නෙවෙයි.අනික මේක දිගින් දිගට ඇදුනම වෙන්නෙ වලියට යනව මිසක් ක්ලාස් යන්නෙ නැති එක. ඒත් එහෙම කියල අරුන්ට සෙකන්ඩ් වෙන්ඩ පුලුවන්ද?  බලමු.
හවස ඉස්කෝලෙ ඇරිල යද්දි අපේ සෙක්ෂන් එකේ එකෙක්ව හම්බුනා බස් එකේදී.
'මට ආරංචියි උඹ පද්මෙ එක්ක වලියක් දාගත්ත කියල.මචන් ගිය සුමානෙ ඕකා නුගේගොඩ හන්දියේදී කොල්ලෙක් ව බස් එකකින් ඇදල අරන් බල්ලෙක් ට වගේ ගැහුව බන්'
අනේ ඇත්තට අර අන්දරේ කිව්ව වගේ මට උනේ 'නිකන් කලේ පැන් නැතිවිය පිපාසෙට' වගේ   වැඩක් නෙ. මුන් එකෙක්වත් නිකමටවත් දෙමු මචන් ගේමක් කියන්නෙ නෑනෙ.
ඔය කයි කතන්දර මැද්දේ සතිය ගෙවිල ගිහින් පන්තියන දවස ආව.අද තමයි රාජ කෑමක් කන්න යන දවස.පන්තියට නං ගියා අවුලක් නැතුව. හැබැයි රොටරියට හැරෙන පාර ගාව අරුන්ගෙන් දෙන්නෙක් ඇවිත් ඉන්නව මම දැක්ක අපි අද පන්ති එනවද බලන්න. 
මම ඉතින් පන්තියෙ වාඩි වෙලා ඉන්නව. වටේ ඉන්න එවුන් මතක් කරලා දෙනව මොනවා උනත් කට *ක වහගෙන ඉඳපන් කියල. ඔය අතරෙ අපේ ඉස්කෝලෙ අපේ පන්තියෙ ඉන්න බෙයා එනව ක්ලාස් එකට.බෙයා මේ ක්ලාස් එකට එන එකෙක් නෙවෙයි.බෙයා කියන්නෙ අපේ වයසේ හිටියට වැඩ කිඩ අතින් අපිට සෑහෙන්ඩ ඉස්සරහින් හිටපු පොරක්.කොළඹට නුදුරු පළාතක ඉඳන් ඉස්කෝලෙ ආපු බෙයාට ඒ හරියෙ පාතාලේ එවුන් එක්කත් සම්බන්ද කන් තියෙනව කියල තමයි අපිට ආරංචි. 
'මොකෝ බන් උඹ මෙහෙ?උඹත් මෙහෙ ක්ලාස් එන්ඩ ගත්තද? 'මම බෙයා ගෙන් ඇහුව.
'නෑ බන්, මම අද උඹලගේ වලියට ආවෙ. පොඩි භාන්ඩෙකුත් ගෙනාව. ' බෙයාගේ එක අතක පොත් දෙකක්,අනික් අතේ සිලි සිලි බෑග් එකක්. පොර එහෙම කියන ගමන් බෑග් එක ඇරල පෙන්නුවා.  ලන්චක්කුවක්!!
'බොට පිස්සුද ?පොලිසියෙන් නැවත්තුවනන් එහෙම.අනික අද අපි ගහන්න යන්නෙ නෑ.'       
'මොකක් ?'
'ඇයි උඹට ඉස්කෝලෙදි කවුරුවත් කිව්වේ නැද්ද?මුන්ගේ උපදේශය අනුව අද මමයි හසිතයි ලොවෙත් නැතිවෙන්ඩ කාල වලිය ගොඩ දාන්ඩ ඉන්නෙ '
ඒක අහපු බෙයාගේ මූණ නිකන් පරල වෙලා ගියා.අඩු ගානෙ එකෙක් හරි දැන් වලියට ඉන්න නිසා මටත් ටිකක් සැටිස්. ඒ උනාට ඉතින් මේ වලියට එකෙක් තියා බස් එකක් ආවත් බැරි වග මම දැනන් හිටිය. එදා ක්ලාස් එකේ වැඩ කෙරුවත් හිතේ තිබ්බෙ වලිය ගැන. ඔන්න දැන් ක්ලාස් එක ඉවර උනා.අපි ටිකත් පහලට බැහැල ඇවිත් රොටරියේ ගේට්ටුව පැත්තට යනව.එතකොටම වත්ත පැත්තේ ඉඳල ආපු සෙට් එකක් රොටරිය පහු කරගෙන ඉස්සරහට ගියා. පද්මෙයි, එදා අපිත් එක්ක වලියට ආපු එවුන් 3යිත් ඒ අතර ඉන්නව මම දැක්ක.  එතන 20 - 30 විතර ඉන්ඩ ඇති. සමහර එවුන් අතේ පොලු, ටියුබ් ලයිට් එහෙමත් තිබ්බ. අද නං කනව මාස ගානක් ඉස්පිරිතාලෙ ඉන්ඩ.
දැන් ඉතින් අපි අර රොටරියෙ ඉස්සරහින් වැටිච්ච  පාර දිගේ ඉස්සරහට යනව. අරුන්ටික ගිහින් පාර කෙලවර නැවතිලා බලාගෙන ඉන්නව. ඒ වෙලාවෙ ක්ලාස් ඇරෙන වෙලාව නිසා පාරෙ කට කපල සෙනග.මේ මොන නවනින්ගිරාවක් වෙන්ඩ යනවද මන්ද.අපි කිට්ටුවට යද්දී පද්මෙ සෙට් එකෙන් ගැලවිලා ඉස්සරහට ආව.ඌට ගේම තියෙන්නෙ මාත් එක්ක. මම පද්මෙ ඉස්සරහ නැවතුනා. යාළුවො ටික මාව පහුකරල ගියා. මොකද ඉස්සරහ හසිතයව පිළිගන්ඩ පද්මෙ ගෙ සෙට් එක හිටිය. පද්මෙ එක පාරට ඉස්සරහට පැනල අත දිග ඇරලා දුන්න එකක් මට.හැබැයි කලින් සැරේ මතක නිසා මේ පාර මම රෙඩි වෙලා හිටියෙ.මිනිහ ගහනවත් එක්කම මම අත ඇල්ලුව ඒක බ්ලොක් කරන්ඩ.එතකොට තමයි මගෙ රෙදි ගැලවෙන වැඩේ උනේ.මම ඒ අතින්ම තමයි පොත් ටිකයි,කවකටු පෙට්ටියයි අල්ලගෙන හිටියෙ.ගහපු පාර කෙලින්ම වැදුනෙ ඒ ටිකට.ඒව උඩින්ම විසි වෙලා ගිහින් බිම වැටුන.කවකටු පෙට්ටිය කෑලි කෑලි වලට ගියා. ඒ විතරක් නම් මදෑ, ඒ ටික වැටුනෙ පාරෙ ගියපු අපේ පංතියෙ කෙල්ලෙක් ගෙ කකුල් දෙක ගාවට. කෙල්ලයි එයාගේ යාළුවොයි ඉද්ද ගැහුව වගේ නැවතුනා. ඒ කෙල්ල ඒ දවස් වල මගෙ ට්‍රයි එකේ හොඳම යාලුව. ට්‍රයි එක මේ ක්ලාස් එන්නෙ නෑ. දැන් ඉතින් නාවට අවුලක් නෑ . ෆීල්ඩ් රිපෝර්ට් එකක් යනව අනිවා. අනේ අම්මප සවලක් තිබ්බ නං හාරගෙන යනව ඔස්ට්‍රේලියාවට යනකන්. මට කෙළවෙන හැටි මම කලිනුත් කියල තියෙනවනෙ. වැදුනෙ පොත් ටිකට උනාට කට්ටිය හිතුවෙ මට කන රත්වෙන්ඩ වැදුන කියල. එතකොටම පිටිපස්සෙන් කවුදෝ කියනව ඇහුන  ' හා හා, මෙතන ගහන්නේ නෑ' කියල. හැරිල බලද්දි එතන තාප්පෙ පෝස්ටර් අලව අලව ඉන්න මනුස්සයෙක්. මිනිහ බලන් හිටියෙ පද්මෙ දිහා. බලන් හිටපු විදිහෙන් තේරුනේ මිනිහ පද්මෙව දන්නව කියල. මිනිහව දැක්කම පද්මෙ මෙල්ල උන බවක් පෙනුන. 
පද්මෙ හැරිල එයාගෙ සෙට් එක හිටපු දිහාට ගියා. උන්ටික චට පට ගාල හසිතයට දෙක තුනක් නෙලනවයි, අපේ එවුන් ඒක බේරන්ඩ දඟලනවයි මම එතකොටයි දැක්කෙ. හැබැයි වෙලාවට ඌට පොලු, ටියුබ් ලයිට් වලින් ගැහුවෙ නෑ. කොහොමහරි පද්මෙ ගිහින් උගේ සෙට් එක එකතු කරගෙන පාරෙ පල්ලෙහාට යන්න ගියා. මමත් ඉතින් රෙදි ඇඳගෙනත් නිකන් නෑ වගේ, පොත් ටිකයි, කවකටු පෙට්ටියයි අහුලගෙන ගිහින් අපේ එවුන්ට සෙට් උනා. දැන් අපිත් පාරෙ පහලට යනව. පද්මෙගේ සෙට් එක ඉස්සරහින් යනව. මට තේරුණා උන් යන්නෙ මේ නුගේගොඩ හන්දියට කියල. අපිත් දැන් බස් එක ගන්ඩ යන්නෙ එතෙන්ට.  දැන් මේ උන් යන්නෙ එතැනදී නෙලන්ඩ. මේ ඉවසිල්ල නං මට දැන් එපා වෙලා තිබ්බෙ. අනිත් උන් මොනවා කිව්වත් ආයේ ගැහුවොත් නං ගහනවා. ගහල වෙන ක්ලාස් එකක් හොයා ගන්නව.  පාර ගිහින් නුගේගොඩ පාරට වැටෙන හංදියේදී උන් ටික නැවතුනා. පද්මෙ ඉස්සරහට ආව. ඌ කෙලින්ම ගියෙ හසිතය ගාවට.
'මේ අහපන්. මේ වලිය මෙතනින් ඉවරයි. මම අපේ එවුන්ටත් කිව්ව මේක තව අදින්න එපා කියල. මීට පස්සේ උඹලට ප්‍රශ්නයක් තිබ්බොත් අපිට කියපන්'
මම යි අපේ එවුනුයි ෆුල් හොල්මන් මේ මොකෝ වෙන්නේ කියල. 
ඊට පස්සේ පද්මෙ දැන් හසිතයව අත ඇරල අපේ කට්ටිය අස්සේ කාවද හොයනව.
'කෝ අර උස එකා???' ඌ හොයන්නෙ මාව! පොර මාව දැකල කෙලින්ම ආව ලඟට.
'තෝ ! තොගෙ පොඩ්ඩක් කට වැඩියි. පරිස්සන් වෙලා හිටපන්!'
'වරෙල්ල යන්ඩ' එහෙම කියල පොර කට්ටියත් අරන් ගියා ගියාමයි ආයෙ නං දැක්කෙම නෑ. වලිය එතනින් ඉවරයි! දැන් ඉතින් මේක කියවන අය බනින්න එපා ' අපෝ ඕකද අවසානෙ? ' කියල. මොකද ඉතින් මේක තමයි ඇත්තටම උනේ. ඕනෙ නං ඉතින් මට අර රැජිනිකාන්ත් එක බුලට් එකෙන් සහ පිහියකින් තුන් දෙනෙක් එක පාර මරනව වගේ අවසානයක් ලියන්න තිබ්බ. හැබැයි ඉතින් මේක සත්‍ය කතාවක් නේ. ඉතින් මෙහෙම තමයි ඉවර උනේ.
මොනවා උනත් කියන්ඩ තියෙන්නෙ මගෙ යාලුවොන්ගේ දුර දක්නා නුවන නිසා දුර දිග යන්න තිබ්බ වලියක් නැවතුනා කියල. වලියක් ඉල්ලගෙන ආපු වත්තේ සෙට් එකට අපි වලියක් දුන්නේ නෑ. උන්ට ඕන උනේ උන් ලොකුයි කියල පෙන්නන්ඩ . අපි ඉතින් එකට ඉඩ දුන්න. අපි වලියට වලියෙන් උත්තර දෙන්ඩ ගියා නං කැප් එකක් නිසා මිනි මැරෙන්ඩත් ඉඩ තිබ්බ. ඒක නිසා මගෙ මොලේ පාදල, සිහියෙන් වැඩ කරපු මගෙ මිත්‍ර වරුන්ට මෙන්න ආචාරය! 

Wednesday, 15 June 2011

කව්ද යකෝ හූ කිව්වෙ ???

ඕනම කොල්ලෙක්ගෙ ජිවිතේ කාලයක් එනව අතේ පයේ හිරි ඇරගන්නෙ නැතුව නින්ද යන්නෙ නැති. ඕක වැඩියෙන්ම එන්නේ A/L කරන කාලෙට. ඒ කාලෙට ඉතින් අපිට උඩින් ගියොත් යන්නෙ ඔය කපුටෙක්, උකුස්සෙක් වගේ එකෙක් තමයි. මොකද අපිනේ ඉස්කොලෙටම අයියල. ඉතින් අයියල උනාම ඇවිදින්නෙත් අඩියක් විතර උඩින්. මුහුදු කොල්ලකාරයත් ඉතින් ඔය වගේ 'අයිය' කෙනෙක් කාලේ සෙනසුරාද දවසක පන්ති යන්න සෙට් වෙලා, දවල් පිටකොටුවට ඇවිත් ඉන්නව පන්ති යන්ඩ. මම එදා වෙනදට වැඩිය ටිකක් පරක්කු වෙලා තිබ්බෙ. ක්ලාස් එක තිබ්බෙ නුගේගොඩ රොටරියෙ. ඕකට අපේ ගෙවල් පැත්තේ ඉඳන් යන මගේ පංතියෙම තව යාළුවො කීප දෙනෙක් හිටිය.
 'මොනවද යකෝ අව්වෙ ඉඳන් බඩු බලන්නෙ?'
බස් එකක් එනකන් බෙල්ල දික් කර කර හිටපු මට පිටි පස්සෙන් කවුද මන්ද එහෙම කියනව ඇහිලා මම හැරිල බැලුව. බලද්දී චන්නයයි, හසිතයයි. උන්
දෙන්නත් ඉස්කෝලෙ මගේ පන්තියෙමයි, උනුත් මේ මම යන ක්ලාස් එකටම යන ගමන්.
'මම බලපු බඩුවක් නෑ යකෝ, කවදාවත් නැතුව අද නුගේගොඩ යන්ඩ බස් එකක් නෑ. දැන් පරක්කුත් වෙනව ක්ලාස් යන්ඩ'
'අනේ පල පල. අපි දන්නැද්ද උඹේ හැටි'
'අන්න යන්තන් බස් එකක් එනව. වරෙන් යන්ඩ.'
අපේ වෙලාවට බස් එකක් ආව. කට්ටිය දඩිබිඩියේ බස් එකට නැගල යන්තන් නුගේගොඩට ආව ක්ලාස් එක පටන් ගන්න කලින්. අපි නුගේගොඩ හන්දියෙන් බැහැල, සරසවිය ගාවින් උඩහට තියෙන පාරෙ උඩහට ගිහින් රොටරියට යන පාරට හැරුන. ඔය පාර තාප්ප දෙකක් මැදින් වැටුණු, එක වාහනේකට විතරක් යන්ඩ තරන් පළල පාරක්. තාමත් ඒක එහෙමද දන්නෑ. ඈත ත්‍රි වීල් එකක් එනව දැකපු අපි පාරෙ පැත්තකට වෙලා පෝලිමට යනව. ඉස්සරහින් ම චන්න, ඊට පස්සෙ හසිත, ඊට පස්සෙ මම. කට්ට අව්ව නිසා හසිතය කැප් එකකුත් දාගෙන ගියෙ. පාරෙ දුවිලි අවුස්සගෙන, කඩාගෙන ආපු ත්‍රි වීල් ඒක අපිව පහු කරනවත් එක්කම ඒකෙන් අතක් එලියට එනව මම දැක්ක. ඒක කෙලින්ම ගියෙ හසිතයගෙ තොප්පියට. හැබැයි හසිතය ඊට කලින් ඉස්සර උනා. ඌ පටස් ගාල කැප් එක අල්ල ගත්ත. ත්‍රි වීල් එකේ එකාට කැප් එක මිස් උනා.
හසිතය ටක් ගාල පිටිපස්ස හැරිල පහුකරගෙන යන ත්‍රි වීල් එකට කෑ ගැහුව.
'ආ ඇයි ඇයී..?? මොකෝ..???'
'බරාස්...!!!'
හසිතය කියල කට ගන්නවත් එක්කම ත්‍රි වීල් එක බ්රේක් ගහල නැවැත්තුව. මෙන්න යකෝ ඒකෙන් කොල්ලො තුන් දෙනෙක් බැහැල ඇවිත් හසිතයව වටකරගත්ත. උන් තුන් දෙනාම මටයි හසිතයටයි වැඩිය කොටයි. හැබැයි ඇඟේ සයිස් එකට නෙවෙයි කතාව. හසිතයත් කොහොමත් ටිකක් වලියට බරයි. චන්නය නං අහිංසක එකා. ඌ ඈතට වෙලා මේ මොනවද වෙන්න යන්නෙ කියල කට ඇරන් බලන් ඉන්නව.
'මොකද අඩෝ සද්දේ දාන්නෙ ?' එක පොරක් හසිතයට සත්තමක් දැම්ම. මමත් අඩියට දෙකට කිට්ටු කරා සීන් එකට. හප්පේ වලියක් මෙහෙම දෙය්යො ගෙදරටම ගෙනත් දුන්නම දාල යන්නෙ මොන හිතකින්ද?
'ඇයි උඹලට අත පය විසි කරන්නෙ නැතුව ත්‍රි වීල් වල යන්ඩ බැරිද?'
'මේක අපේ ඒරියා එක ඩෝ!'
'අපිට කොහෙත් එකයි ඩෝ' හසිතයත් අතාරින්නෙ නෑ. අපි ඉතින් කොහොමත් අතින් පයින් වලට වඩා කටින් ගහගන්න දක්ෂයි නෙ.
හැබැයි ඒ එක්කම ඒක අතින් පයින් යන වලියකට හැරුන. එකෙක් පැනල හසිතයට ගහන්න ගියා. මමත් මැද්දට පැනල අත පය විසි කරන්ඩ ගත්ත. චන්නය හුරේ කියල රොටරිය පැත්තට රන් එක දෙනව මම යන්තමට දැක්ක. උන් තුන් දෙනෙක් හිටියත් මමයි හසිතයයි උන්ට වඩා ලොකු නිසා අවුලක් උනේ නෑ. උන්ව තාප්පෙට හේත්තු කරල  චට පට ගාල අපි දැන් නෙලනව.  වැඩේ දෙල් වීගෙන එනව කියල උන් තුන් දෙනාට මීටර් උනා. උන් දඩ බඩ ගාල ගිහිල්ල ත්‍රි වීල් එකට නැගල පාගල ගියා. පාරෙ ක්ලාස් යන එවුන් තක්බීර් වෙලා බලන් ඉන්නව. මමයි හසිතයයි, වීරයො දෙන්න වගේ දැන් පොත් ටිකත් අහුලගෙන, ෂර්ට් එහෙම හදාගෙන දැන් රොටරිය දිහාට යනව. චන්නය ගිහිල්ල අපේ එවුන්ට නිව්ස් එක දීල උන් ටික රොටරියෙ ඉස්සරහට දුවගෙන එනව මම දැක්ක. එතකොටම තමයි මට අපේ පස්සෙන් එන ත්‍රි වීල් එකක සද්දෙ ආයෙම ඇහුනේ. අරුන් ටික හරවගෙන ආයෙම ඇවිත්.
' අඩෝ අපි පස්සෙ බලාගමු' ස්ලෝ කරල අපිව පහු කරල යන ගමන් එකෙක් ඔලුව එලියට දාල කෑ ගැහුව.
'මොනවද මිනිහෝ පස්සෙ? කොන්දක් තියෙනවනන් වරෙන් දැන්!'
ත්‍රි වීල් එක රොටරියෙ ගේට්ටුව පහු කරනවත් එක්කම ගේට්ටුව ළඟ හිටපු අපේ එවුන් දුන්න හුවක් පලාතම දෙදරන්ඩ. මමයි හසිතයයිත් අත අරින්නෙ නැතුව උන්ට සප් එක දුන්න. අනේ ඊට පස්සෙ වෙන්ඩ තිබ්බ දේවල් අපි දැනගෙන හිටිය නං.......

ගේට්ටුව ගාව හිටපු එවුන් අහනවා 'මොකෝ උනේ, මොකෝ උනේ?' ගගා. අපි දෙන්නත් ඉතින් ලුණු ඇඹුල් ඇතිව කට්ටියට කතාව කියන ගමන් පන්තියට ගියා. ගිහිල්ල පොත් ටික දාල පන්තියෙන් එලියට ආව කාර්ඩ් මාක් කරන්ඩ. රොටරියෙ මිදුලේ කට කපල ළමයි පිරිල. මොකද ඒ වෙලාවෙ ගොඩක් ක්ලාස් පටන් ගන්නව. ඒ වෙලාවෙ ක්ලාස් ඇවිත් හිටපු දන්න කියන ඔක්කොම කොල්ලො දැන් අපෙන් සීන් එක අහනව.

ඔය වෙලාවෙ තමයි මම ඇඟ කිලි පොලා යන දර්ශනයක් දැක්කෙ. අර අපිට සත්තම දාපු කොටාල තුන් දෙනා ගේට්ටුව ගාවට ඇවිත් අපිව හොයනව. හැබැයි දැන් උන් තනියම නෙවෙයි. තව හයේ හතරේ ඩයල් සෙට් එකක් ඉන්නව උන් එක්ක. මම උන්ව දකිද්දිම උන් මාවත් දැක්ක.  එකෙක් උගේ සෙට් එකට අපිව අතින් පෙන්නුව. දැන් උන්ටික එනව අපේ දිහාට. මමත් ගියා ඉස්සරහට. මොනවටද බය වෙන්නෙ? හමුදාවක් ආවත් ගහන්ඩ මේ කොල්ලො ඕනතරන් ඉන්නෙ (කරුමෙට මම හිතුවෙ එහෙමයි). එතන හිටපු උසම එකා ආව මගේ ඉස්සරහට. මට කොක්ක තිබුනෙ උන් එක්ක නෙවෙයි. අර ත්‍රි වීල් එකේ ගියපු එවුන් එක්ක. මම කිව්ව
'අපිට ප්‍රශ්නේ තියෙන්නේ උඹ.....'
කියන්න උනේ එච්චරයි.
'චටාස්!'
අරූ දුන්න පාරක් මගේ කන රත් වෙන්ඩ. රොටරියෙ මිදුලෙ තිබ්බ සද්දෙ එක පාරට නැවතුනා. දැන් හ්ම් සද්දයක් නෑ. ඔක්කොම මේක දිහා බලාගෙන.  මට යකා නැග්ග! ඇයි යකෝ මූ එක්ක හොඳට කතා කරන්ඩ ගියාම කට අරින්ඩත් කලින් නෙලුව නෙ.
'අඩෝ බලාගනින් උඹට දෙන්නේ....'
මම අරූව මරාගෙන මැරෙන්ඩ තරං කේන්තියෙන් ගහන්ඩ පැන්න. එතකොටම මට පිටිපස්සේ එවුන් ටික පැනල මාව අල්ලගත්ත. මුන්ට පිස්සුද? හැටිද? මට නෙලපු එකාට නෙලන්නෙ නැතුව මුන් මාව අල්ලන් දඟලනව. 'වරෙන් යන්ඩ මෙන්න මෙහෙ' මාව අල්ල ගත්ත එවුන් දෙන්න මාව පන්තියට ඇදගෙන ගියා. ඒ අස්සේ අපේ අනිත් එවුන් අරුන් එක්ක වලිය ශේප් කරන්ඩ හදනව. මුන්ට නම් ඇත්තටම පිස්සු.
'ලැජ්ජ නැද්ද බන් අරුන් එක්ක ශේප් වෙන්ඩ යන්නෙ? උන්ගෙ එවුන් නෙ මටයි හසිතයටයි ගහන්න ආවෙ.'
'තොට පිස්සුද?'
'මට නෙවෙයි උඹලට තමයි පිස්සු.'
'යකෝ උන් වත්තෙ එවුන්'
'මොන?'
'රොටරි වත්තෙ. ඕකුන් එක්ක වලියක් දාගන්නවට වඩා හොඳයි බෙල්ලෙ වැලක් දාගන්නව'
කොහොමහරි මාව පන්තියට ඇදන් ආපු එවුන් දෙන්න මාත් එක්ක ඔහොම කතා කරන අතරේ අනිත් එවුන් ටික වලිය ශේප් කරන්න දඟලල තියෙනව. එයින් එකෙක් තමයි බඩා. බඩා හැම එකා ගාවටම දුවල පැනල දැන් වලිය ශේප් කරන්ඩ දඟලනවලු. කලින් මම කිව්වනෙ අර ත්‍රි වීල් එක ආපහු රොටරිය පහු කරන් යන වෙලාවෙ අපේ එවුන් හූ කිව්ව කියල. බඩා තමයි වැඩියෙන්ම හූ කිව්වෙ. හූ කියල කියල උගේ උගුරත් රිදෙන්න අරන්ලු තිබ්බෙ. ඒ උනාට දැන් මූ තමයි සාම සාධක මෙහෙයුමේ ඉදිරියෙන්ම ඉන්නෙ. දැන් ඔන්න මූ ගිහින් අර සෙට් එකේ මරු මුස් ම පෙනුම තියෙන එකාගෙ කරට අතත් දාගෙන කතාවලු.
'මචන් ශේප් මචන්. අපේ එවුන් උඹල කවුද කියල දන්නෙ නැතුව තමයි ගහල තියෙන්නෙ. මීට පස්සේ ඒව වෙන්නෙ නෑ මචන්'
'හරි හරි, ඒක ප්‍රශ්නයක් නෑ. අපේ එවුන්ගෙත් වැරද්දක් තියෙනවනෙ. අපිට අවුල ගහපු එක නෙවෙයි'
'එහෙනං..?'
'කවුද යකෝ අපිට හූ කිව්වෙ????'
බඩාට චූ ගියෙ නැති ටික විතරයි!!

මතු සම්බන්දයි 
කව්ද යකෝ හු කිව්වේ ??? - 2 කොටස

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!