Friday 11 March 2011

ප්‍රංශ සවාරිය

ගොඩ කාලෙකින් මේ පැත්තෙ ආවෙ. පහුගිය ටිකේ අම්බානක වැඩ තිබ්බ නිසා මුකුත් ලියන්නවත්, කියවන්නවත් හම්බුනේ නෑ. ප්‍රංශ සවාරිය කියල පටන් ගත්තට මේ ලියන්න යන්නෙ අර ආම්ස්ට්‍රෝන්ග් ගොයිය පදින එක ගැන නෙවෙයි. මේ මුහුදු කොල්ලකාරය ප්‍රංශෙට ගියපු සවාරියක් ගැන. කාලෙකට කලින් මම තව යාලුවෙක් එක්ක පැරිස් ගිහින් එන්න සෙට් උනා. ලන්ඩන් ඉඳන් පැරිස් යනව කියන්නෙ, කොළඹ ඉඳන් මාතරට යනවට වඩා ඉක්මනට යන්ඩ පුළුවන් ගමනක්. ඒ උනාට මේ අපි දෙන්නම ප්‍රංශෙට යන පලවෙනි සැරේ. ඉතින් අපි එහෙ ගිහින් බලන්ඩ යන්ඩ ඕනෙ තැන්, ඒවාට යන විදිහ, පාරවල් හොයා ගන්න හැටි ගැන එහෙම දැන් යන්ඩ කලින් හොයනව. ඔහොම හොයනකොට අපිට දැන ගන්න ලැබුනු දෙයක් තමයි ප්‍රංශෙට ගිහින් ඉංගිරිසි කතා කරන එක එච්චර ශරීර සෞඛ්‍යට හොඳ නැති දෙයක් වග. මොකද ප්‍රංශ කාරයො කොහොමත් ඉංග්‍රීසි කාරයොත් එක්ක ඔරොප්පුයි. අනික ඒගොල්ලෝ එච්චර ආගන්තුක සත්කාරයට ලැදි කට්ටියකුත් නෙවෙයි කියල ගොඩක් වෙබ් සයිට්ස් වල කියල තිබ්බ. අපිත් එක්ක වැඩ කරන සුද්දොත් ඉතින් කිව්වේ ඒකම තමයි. උන්ටත්  ඉතින් ප්‍රංශෙ තලන්ඩ තියෙනවනන් ඊට වඩා දෙයක් නෑනෙ. හැබැයි ගොඩ දෙනෙක් කියපු කතාවක් තමයි, පාරක් හරි මොනවහරි අහන්ඩ ඕන උනාම එක පාරට කඩ්ඩෙන් කොටන්ඩ එපා, ඒක තමයි උන් අකමැතිම, මුලින් ප්‍රංශ  බාසාවෙන් අහන්ඩ ඉංගිරිසි  දන්නවද කියල, ඊට පස්සේ ඉංගිරිසි වලට මාරු වෙන්ඩ කියල. මමවත්, මගේ යාලුවවත් ප්‍රංශ මළපොතේ අකුරක් දන්නෙ නෑ. හැබැයි අපි දෙන්න කොහොමහරි 'ඔයා ඉංගිරිසි කතා කරනවද' කියල ෆ්‍රෙන්ච් වලින් අහන හැටි පුරුදු උනා.

ඕවත් ඉගෙන ගෙන දැන් අපි පැරිස් ගියා. ගිහින් පලවෙනි දවසෙ රෑ හොටෙල් එකෙන් නැතුව එළියේ හොඳ රෙස්ටොරන්ට් එකකින් ෆ්‍රෙන්ච් කෑමක් කමු කියල හිතල බැස්ස එලියට. දැන් ඉතින් අපි දෙන්න ඇවිදිනව කන්ඩ තැනක් හොය හොයා. අනේ මන්ද ෆ්‍රෙන්ච් එවුන්ගෙ ගෙවල් වල කුස්සි නැද්ද කියල. හැම රෙස්ටොරන්ට් එකක් ම අම්බානක පිරිල. අපිට ඉතින් ඔය කට්ටිය පිරුණු ඒවාට යන්ඩත් මොකද්ද වගේ. බාසාව දන්නෙත් නෑනෙ. ගිහින් චාටර් වෙන්ඩ බෑනේ. දැන් ඉතින් අපි දෙන්න කැරකෙනව ටිකක් අඩුවෙන් චාටර් වෙන්ඩ තැනක් හොය හොයා. ඇවිදල ඇවිදල අන්තිමට හම්බුනා රෙස්ටොරන්ට් එකක් එච්චර සෙනග නැති. එකේ නම ලියල තිබ්බෙ ෆ්‍රෙන්ච් වලින්. එලියෙ මෙනු එක ඩිස්ප්ලේ කරලා තිබ්බට ඒකත් තිබ්බෙ ෆ්‍රෙන්ච් වලින්. මෙලෝ මගුල තේරෙන්නෙ නෑ. කරන්ඩ දෙයක් නෑ දැන් අම්බානක බඩගිනිත් එක්ක. තව ඇවිදින්නත් බෑ. මම ඕ.පු. කියල ගත්ත පුරුෂ ධය්ර්ය හිතට. 'වරෙන් යන්ඩ' කියල යාලුව වත් අඬ ගහගෙන ගියා ඇතුලට. රිසෙප්ෂන් එකේ හිටිය කෙල්ලො දෙන්නෙක්. දැන් කතාව යනව මෙහෙම,

මම: excusez-moi, parlez-vous anglais? (excuse me, do you speak English?)
කෙල්ල :  A little bit.
මම:  Do you have a menu in English?
කෙල්ල: Sorry, no, it is only in French.
මම:  Ok, then. We are looking to have good french meal for dinner. Could you suggest us a good French dish from your menu?


ඒක කිව්ව විතරයි කෙල්ල තක්බීර් උනා. මමත් බැලුව මොකෝ යකෝ මේ උනේ කියල. කෙල්ල දැන් ඇඹරි ඇඹරි වගේ අනිත් කෙල්ල දිහා බලනව. ඒ කෙල්ලත් හිනාව තද කරන් වගේ ඉන්නව. ඊට පස්සේ ඒ කෙල්ල මගේ දිහාට හැරිලා කිව්ව මෙහෙම,

Sorry, this is a Spanish restaurant!

හුටා!! අපි ප්‍රංශ කෑම කන්න ඇවිත් තියෙන්නෙ ස්පාඤ්ඤ රෙස්ටොරන්ට් එකකටනේ! දැන් මොකෝ කරන්නේ. වැඩිය කට්ටිය හිටියෙ නැති නිසා පොඩ්ඩයි චාටර්. ඒක නිසා අපි එදා රෑට එතනින් කෑව. ආයෙ ෆෙන්ච් ඒව හොයන්ඩ ගිහින් කොහේ නතර වෙයිද දන්නෑ නෙ.


----------------------------------------------------------------


දැන් ඉතින් පැරිසියේ කරක් ගහල, අර යකඩ අට්ටාලේ උඩට නැගල, ඒකෙ උඩම තට්ටුවෙ තියෙන රට රටවල් වල කොඩි වලින් ලංකාවෙ කොඩිය ගාව ඉඳන් ෆොටෝ එකකුත් අරන් අපි දෙන්න දැන් ඊළඟට යන්ඩ තැනක් කල්පනා කරා. පිටරකදී එහෙම තමන්ගෙ රටේ දෙයක් දැක්කම පුදුම හැගීමක්  දැනෙන්නෙ. සමහර රෙස්ටොරන්ට් වල මෙනු වල තේ එක නිකම්ම නිකන් Tea  කියල නැතුව Ceylon Tea කියල ගහල තියෙනව දැක්කම හප්පේ දැනුනු ආඩම්බරේ.

දැන් ඉතින් තව බලන්ඩ යන්ඩ තැනක් කල්පනා කරද්දී තමයි මතක් උනේ  Moulin Rouge  එක. ඕක පැරිසියේ තියෙන බොහොම ප්‍රසිද්ධ කැබරේ නර්තන ශාලාවක්. එකදාස් අටසිය ගණන් වල ආරම්බ කරපු එකක්. අපි දෙන්නත් දැන් ගියා මේකෙ බිත්ති වල ගාල තියෙන්නෙ මොන පාටද කියල බලන්ඩ. ෂෝ එකක් බලන්ඩ ගියේ නං නෑ. වෙන දෙයක් නිසා නෙවෙයි, නිකන් ගෑනු ටිකක් බාගෙට ඇඳන් නටනව බලන්ඩ යුරෝ 150 දෙන්න තරං කැසිල්ලක් අපි කාටවත් තිබ්බෙ නැති නිසා. දැන් ඉතින් ඕකෙ පින්තුරත් අරන් අපි ආයෙ ඇවිදින්න ගත්ත. ඔය Moulin Rouge  එක කිට්ටුව තමයි පැරිසියේ රතු එලි දිස්ත්‍රික්කය තියෙන්නෙ. අපි දන්නෙ නැතුව පය ගහල තියෙන්නෙ ඒකට. (ඔව් බොලව්! දන්නෙ නැතුව තමයි...) දන්නෙ නැතුව ආවට ඉතින් දැනගන්නෙ නැතුව යන එක හරි නෑනෙ. ඉතින් අපි සිරි නරඹන්ඩ  ගත්ත. අඩි දහයක් ගියේ නෑ එකෙක් ඇවිත් 'භායි  සහාබ්, කේසා හේ තුම් ? අන්දර් ආවෝ' කියල අහපි. මෙන්න යකෝ ඉංග්‍රීසිත් බැහැයි කිව්ව ප්‍රංශ කාරයො හින්දි කතා කරනව!!! මූ හිතල තියෙන්නෙ අපි ඉන්දියන් කියල. එතන ඉඳන් මග දිගට පිම්පියොන් ගෙනුයි ගෑනුන් ගෙනුයි ගැලවිල්ලක් නෑ. අපි බේරිලා ආවෙ බොහොම අමාරුවෙන්. හැබැයි සිංහල ඇරෙන්ඩ ගොඩක් බාසා වලින් උන් අපිට අඬ ගැහුව මම හිතන්නෙ. අනේ උන් නොදන්න ඉංග්‍රීසි!!!

ප/ලි
මේක කියවන කොල්ලොන්ට: ප්‍රංසෙට ගිහින් මොනවා හරි දැනගන්න ඕනෙ නං ප්‍රංස නංගිලා ගෙන් අහන්ඩ. හරි හොඳට හිනා වෙලා කියල දෙනව. මට දන්න
දේවල්  ගොඩාක්  අමතක උනා එහෙට ගියාට පස්සෙ.




12 comments:

  1. ප්‍රංශෙය යන එක පස්සේ ඊට කලින් ලංකාවෙන් පැන ගන්න එපැයි ආබාධයක් නැතුව.ඒක නෙමේ ප්‍රංශ කාරයෝ ජර්මන් වලට එහෙම හොදට සලකනවලු නේද

    ReplyDelete
  2. ආගන්තුක සත්කාරේ නම් බින්දුවයි...මම එකගයි එකට ... අපි එක සැරයක් ප්‍රාංශේ ගිහින් පිස්සුවක් කැවේ..මුන්ගේ රෙස්ටුරන්ට් එකේ එක මේසෙකට එක විදිහක්...අපිට එක විදිහක්... එජෙන්සි එකකින් ගිය හන්දා සමාන්යෙන් හැමොටම එක විදිහ ...එ උනාට මුන් එක එක ජාති අඩුයි..වැඩියි... ඔය භාෂා ප්‍රශ්නේ නම් එච්චර ආවේ නැ...මොකද ඉතාලි කතා කරන්න දන්න හන්දාත් ඉතාලි ප්‍රංශයි එක ලග හන්දා... එක විතරයි හිතට සැනසිමකට තිබ්බේ..අනිත් වා..අපෝ...

    ReplyDelete
  3. sihinadanawwa - ඒක නං කොහොමද කියන්න මම දන්නේ නෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනව. දෙවෙනි ලෝක යුද්දේ වෙලාවේ ජර්මානු හමුදා පැරදිලා ප්‍රංශයෙන් පලා යද්දී, හිට්ලර් නියෝග කරල තියෙනව ප්‍රංශේ භාරව හිටපු ජර්මානු හමුදාවේ ජෙනරාල් ට, පැරිසියේ තියෙන අය්තිහාසික ස්ථාන ඔක්කොම විනාස කරන්ඩ කියල. හැබැයි ඒ ජෙනරල් එහෙම කරල නෑ. එහෙම නොවෙන්ඩ අද අපිට දකින්ඩ තියෙන ගොඩක් ලස්සන ස්ථාන නැති වෙන්ඩ ඉඩ තිබ්බ.

    ReplyDelete
  4. නිම්ෂා - අපිට හැබැයි දෙයියනේ කියල නරක සැලකිලි නං ලැබුනේ නෑ. හැබැයි මම ගොඩක් ඒ වගේ කතා අහල තියෙනව. ඔව් බාසාව එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. සංචාරක ආකර්ෂණ කිට්ටුව තියෙන රෙස්ටෝරන්ට් වල ඉන්න හැම එකාටම හොඳට ඉංග්‍රීසි කතා කරන්ඩ පුළුවන්.

    ReplyDelete
  5. මුහුදු කොල්ලකාරයා,
    නෑ මුහුදු කොල්ලකාරයා එක දවසක් මට පාර්ටි එකකදි (දැන් අහන්න එපා පාර්ටි එක මොකක්ද කියලා මත මතක නැ - 31ස්ට් Night ? ) කපල් දෙකක් හම්බ වුණා.එක කපල් එකක කොල්ලා (uncle)ජර්මන් කෙල්ල(aunty) ප්‍රංශ (වැඩිමල් කපල් එක ) උන් එක්ක හිටිය අනිත් කපල් එකේ කොල්ලා අරුන් දෙන්නාගේ පුතා කෙල්ල ඔස්ට්‍රියා ඉති ඒ ගොල්ලේ කිව්වා ඒ ගොල්ලෝ රටවල් තුනක වුණාට සැහෙන්න හොදින් ඉන්නවා කියලා ඇත්තද බොරුද දන්නේ නෑ.ජර්මන් වල ප්‍රංශත් භාෂාවක් විදියට කතා කරනවාලු(ලූ).ප්‍රංශෙත් එහෙමලු.ඇත්ත්ද බොරුද කියන්න දන්නේ නැ.කිව්වත් වගේ ඔය හරියේ කෙල්ලෝනම් පට්ට ලස්සනයි.

    ReplyDelete
  6. මං අටේ පංතියෙ ඉන්න කොට කියවල තියෙනවා ප්‍රංශ රසය කියල පොතක්

    ReplyDelete
  7. මේක කියෙව්වාම ප්‍රන්ශෙට යන්නම හිතෙනවා හැබැයි භාෂාව කතා කරන්න පුලුවන් කෙනෙක් එක්ක. අද තමා ඉස්සල්ලාම මේ පැත්තේ ආවේ. වටිනා කියන දේවල් නැති උනොත් වග කියන්නේ නැති හන්දා වැඩි වෙලා රැදෙන්න නම් බයයි.

    ReplyDelete
  8. sihinadanawwa - ඔව් එහෙ ජර්මන් වල උප භාෂා භාවිතා වෙනවා කියල මම අහල තියෙනව.

    ReplyDelete
  9. යතාර්තවාදියා - ඒකෙ මොන මොන රස ගැනද තිබුනේ ? :). කතෘ එහෙම මතක නැතෙයි අපිටත් හොයාගෙන බලන්ට?

    ReplyDelete
  10. Podi Kumarihami - බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට. මම ගොඩක් කාලෙකින් වලව්වට ගොඩ වැදුන. හප්පේ ඒකෙ මොකද්ද වෙන ජංජාලේ කියල නොතේරුන නිසා සද්ද නැතුවම ආව.

    ReplyDelete
  11. මේ පෝස්ට් එක අහම්බෙන් නේ ඇහැ ගැටුනේ . අපි ගියා පැරිස් පෙබරවාරියේදී.නුලෙන් නේ මිස් වෙලාතියෙන්නේ . අපිත් හිතන් හිටියේ ප්‍රංශ කෑම කන්න . අපෝ ඒ රෙස්ටුරන්ට් හරි ගණන් . ඒ මදිවට වැඩි හරිය පාන්ම තමයි. අපේ නෑදෑය අපිව දක්කන් ලා චැපල් ගියායින් යන්තම් බේරුනා . අපිත් හිතන් හිටිය තරම්ම ප්‍රන්ශුවා ආඩම්බර නැහැ . අනික් එක දැක බලා ගන්න තියන තැන් වල ඉන්න කට්ටිය ඉංග්‍රීසිත් දන්නවා . වෙබ් සයිට් කියවල මන් හිතන් හිටියේ ප්‍රංශ දන්නැතුව හරි අමාරුවේ වැටෙයි කියල . එහෙමට කරදරයක් වුනේ නැහැ . මොනවා වුනත් ලස්සන රට

    ReplyDelete
  12. Bindi - මම බින්දි ගේ පොස්ට් එක දැක්ක. කොමෙන්ට් කරාදත් කොහෙද. මේ ට්‍රිප් එක ගියෙ සෑහෙන කාලෙකට කලින්. ඔව් හිතපු තරං ප්‍රංශ කාරයෝ ආඩම්බර නෑ. අනික සංචාරක ආකර්ෂණ ගාව ඉන්න අයට හොඳට ඉංග්‍රීසි පුළුවන්. අපිටත් හිතපු තරං අමාරුවක් උනේ නෑ.

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!