Wednesday, 24 August 2011

මෙන්න ඇමරිකාවෙ ණය!

මේක අද ඊ මේල් එකකින් ආවෙ. පහු ගිය ටිකේ නෙට් එකෙත් ගොඩක් මේ රූප ටික තියෙනව දැක්ක. දැකල නැති අයට දැක ගන්න ඔන්න මම දැම්ම. මේකට නිමිත්ත තමයි ඇමෙරිකාවෙ නිස්සදාතන වගකීම් ( සිංහලෙන් කිව්වොත් unfunded liabilities ) වල අගය ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 114.5 ක් කියල කියනව. මේ ඒ ගාන කොච්චරද කියල පෙන්වන රූප පෙළක්.


ඩොලර් 100නෝට්ටුව. ලෝකයේ වැඩියෙන්ම හොරට අච්චු ගහන මුදල් නෝට්ටුව.

ඩොලර් 10,000. ඇමරිකාවෙදි පාවිච්චි කරපු වාහනයක් ගන්න පුළුවන් ගානක්.

ඩොලර් මිලියනය. පෘතුවිය මත සාමාන්‍ය මිනිසෙකුගේ අවුරුදු 92 ක අදායම ලු!
මේ තියෙන්නෙ ඩොලර් මිලියන 100 ක සයිස් එක ඩොලර් 100 නෝට්ටු වලින්. මිලිටරි ස්ටෑන්ඩර්ඩ් පැලට් එකක් සයිස්.
මේ තියෙන්නෙ ඩොලර් බිලියනයක්! කොහොමද දැන් මිලියනේ පේන හැටි?
මෙන්න ඩොලර් ට්‍රිලියනේ! ට්‍රක් ලෝඩ් කීයක්ද? ඊ මේල් එකේ තිබ්බ විදිහට ජේසුස් වහන්සේ ඉපදුන දවසේ ඉඳන් මේ වෙනකන් දවස ගානේ ඩොලර් මිලියනයක් වියදන් කලත්, තාම ට්‍රිලියනයක් නෑ. එහෙනං වියදන් වෙලා තියෙන්නෙ බිලියන 700 යි. ආර්ථික අර්බුදය කාලේ ඇමරිකාවේ බැංකු ගොඩ ගන්න හරියටම රජයෙන් වියදන් කරපු මුදල!
කලින් පින්තුරෙන් සයිස් එක හිතාගන්න අමාරු උනානං මෙන්න උදව්වක්. මෙහා පැත්තෙ තියෙන්නෙ ඇමරිකන් ෆුට් බෝල් පිට්ටනියක්. එහා පැත්තෙ තියෙන්නෙ යුරෝපිය පාපන්දු පිට්ටනියක් . එක උඩ නවත්තල තියන්නෙ boeing 747 එකක්.  
මේ තියෙන්නේ ඩොලර් ට්‍රිලියන 15 ක්! මේක තමයි ඇමරිකා 2011 අවසානය වෙද්දි ණය වෙන මුදල. මේක මුළු ලෝකයේම දළ ජාතික නිෂ්පාදනයෙන් 20% හා සමානයි!
මේ තියෙන්නේ තමන් ගත්තු ණය, සෞඛ්‍ය පහසුකම්, විශ්‍රාමික පහසුකම්, යුධ වියදම් ආදී සියල්ලේම එකතුව වන ඩොලර් ට්‍රිලියන 114.5, ඩොලර් 100 නෝට්ටු වලින් ගොඩ ගැහුවොත් කලින් ලෝකයේ උසම ගොඩනැගිලි වෙලා තිබ්බ Empire State සහ WTC වලට සාපේක්ෂව ඒකෙ උස. මේ සල්ලි කුලුනේ පාදම කලින් පින්තුර වලට වඩා කුඩයි. පාදම ට්‍රිලියන බාගයක් තමයි සංකේතවත් කරන්නෙ. එහෙම කරල තියෙන්නේ අර ලෝක වෙළඳ මධ්‍යස්ථානේ පාදමේ වර්ගඵලයට සමාන වෙන්න. 

මට ආපු ප්‍රශ්නේ මේකයි. ඇමෙරිකාවට මෙහෙම නං, නිකන් බෙහෙත් දීල, නිකන් උගන්නල, නිකන් උපාධි දීල, නිකන් ඉන්න රස්සා දීල, විශ්‍රාම ගියාම නිකන් ගෙදර ඉන්න විශ්‍රාම වැටුපකුත් ගෙවන ලංකාවෙ නිස්සදාතන වගකීම් මෙහෙම ගොඩ ගැහුවොත් කොහොමට හිටීද කියල. එච්චර උස වෙන එකක් නෑ මයේ හිතේ. මොකෝ අපිට නං 5000 කොලත් තියෙනවනෙ.
අමෙරිකාවේ ණය සහ අනෙකුත් අදායම් වියදම් හරියට ක්‍රිකට් මැච් එකක ලයිව් ස්කෝර් එක වගේ බලාගන්න මෙන්න මේ සයිට් එකෙන් පුළුවන්.

20 comments:

  1. ඇමරිකන් කාරයටනම් ඔහොමවෙලා මදි.දන්නැත් දෙයක් දැනගන්න සැලස්සුවට සතුතියි

    ReplyDelete
  2. මේකෙ මෙහෙම දෙයකුත් තියෙනවා. කවුරු කොහොම කිවුවත් විනිමය අනුපාත ක්‍රමය හැදුනයින් පස්සෙ ලෝකෙ අනිත් මුදල් වල අගය තවමත් තීරණය වෙන්නෙ ඇමරිකානු ඩොලරයකට සාපෙක්ෂව. ඒක නිසා අනිත් මුදල් ඒකක වලට නැති අසීමිතව මුද්‍රණය කිරීමේ නිදහසක් ඇමරිකානු ඩොලර් වලට තියෙනවා. වෙන රටක්නම් ජාතික ආදායමෙන් මෙච්චර ප්‍රතිශතයක් ණය ගත්තනම් මේ වෙනකොට හතර පස් පාරක්ම බිඳ වැටිලා. පහුගිය දවස් වල උග්‍ර ආර්ථික අර්බුධයක් තිබ්බ ග්‍රීසියේ ණය ප්‍රතිශතයත් මෙයින් 1/4 ක් විතර

    ReplyDelete
  3. අපරාදේ කියන්ට බෑ, ඉතා සරල විදියට ණයේ බරපතලම තේරුම් කරලා තියනවා. පින්තූර ටික දැක්කත් ඇති.

    අර බිලියනයපති හීනේ ඔලුවෙන් ගිගින් නැති හැඩයි තාම සල්ලි ගැනම හිතෙන්නේ. ඉතින් මේ වෙනකොට අර ගෙදර ගෙනායු සුපර් මාර්කට් එකම කාලා ඉවර උනාද?...:D

    ReplyDelete
  4. අමාරුයි,,අමාරුයි හොදටම අමාරුයි,,,පිංතූර හින්දා තේරුම් ගත්තා...

    ReplyDelete
  5. Networkදිසා - ආර්ථික කළමනාකරණය හරියට වෙන්නේ නැති ඕනම රටක් මේ තත්වෙට පත්වෙන්ඩ පුළුවන්. ලංකාවට උනත් මේ වගේ ප්‍රශ්නයක් එන දවස වැඩි ඈතක වෙන්ඩ බෑ. ස්තුතිය් මේ පැත්තෙ ආවට :)

    ReplyDelete
  6. Chanaka - අනිවාර්යෙන්ම!OPEC එකේ තෙල් බැරල් මිල කරන්නෙත් ඇමරිකන් ඩොලර් එකෙන්. ඒක නිසා තමයි ඇමරිකාවට හම්බකරන ගානට වඩා වියදන් කරලා ජීවත් වෙන්ඩ පුළුවන් වෙලා තියෙන්නෙ. තව කාරණයක් මට කියවන්ඩ ලැබුන. ඒ තමයි ඇමරිකාවේ ණයෙන්, විදේශ වලින් අරන් තියෙන ණය වලින් 36% ක ප්‍රතිශතයක් අයිති චීනෙට !

    ReplyDelete
  7. පොඩි - මේ දවස් වල පස් තාච්චි කුපාඩි වැඩක් කරනව. මේ දවස් වල යන්නෙ investments, financial analysis වගේ ඒව. ඒක නිසා සල්ලි සම්බන්ද මාතෘකා පේනව වැඩියි. :D
    අපොයි සුපර් මාර්කට් එකේ කෑලිත් නෑ. සතියම කන්ඩ කියල ගෙනාවට මොකද සතියෙ මැද වෙද්දි ඉවරයි. මේ කාපු හැටියට ඉතුරු දවස් ටිකේ ඩයට් කරන්ට ඉන්නෙ :DDD !!!!

    ReplyDelete
  8. ItalyDilan - අර සයිට් එකටත් ගිහින් බලන්න බලාගෙන ඉන්දැද්දි ගාන වැඩිවෙන හැටි!

    ReplyDelete
  9. දැන් කාගෙන්ද ඔය ණය අරන් තියෙන්නේ . බලනකොට හැමෝම ණයයි. කවුද මේ පොලී මුදලාලි . ඔය අංශෙ ගැන මගේ දැනීම -----000.

    ReplyDelete
  10. @ මුහුදු කොල්ලකාරයා

    කොල්ල කාරයා මේ දේවල් ගැන පස් තාච්චි කුපාඩි කරනවා කියපු හින්දා නොදන්න දෙයක් දැන ගන්න අහන්නෙ. ලෝක/රටක ආර්ථිකය වර්ධනය වෙනවා කියන්නෙ මොකක්ද ?

    ReplyDelete
  11. Bindi - අන්තිමට බලාගෙන ගියාම. හැමෝම, හැමෝටම ණයයි. ණය නැති රටවල් නෑ.

    ReplyDelete
  12. Chanaka - සරලවම කිව්වොත් මෙහෙමයි. රටක ආර්ථිකය වර්ධනය වෙනව කියන්නෙ ඒ රටේ දළ ජාතික නිෂ්පාදනය ( GDP ) එක වැඩි වෙනව කියන එක. ඒ කියන්නෙ ඒ රටේ නිපදවන මුළු භාණ්ඩ හා සේවා වල වටිනාකම අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙන වේගය තමයි ආර්ථික වර්ධන වේගය කියන්නෙ. ආර්ථික අවපාතයකදී ( recession ) එකකදී වෙන්නෙ ඔය වේගය රින අගයක් ගන්නව. එහෙමත් නැත්තන් ආර්ථිකය නිපදවන මුළු භාණ්ඩ හා සේවා වල වටිනාකම අඩු වෙනව. ලෝකයේ ආර්ථික වර්ධන වේගය කියන්නෙ මුළු ලෝකයේම ඔය භාණ්ඩ හා සේවා වල වටිනාකම වැඩිවෙන එක.

    රටක තියෙන සම්පත් ප්‍රමාණය අනුව ඒ රටට නිපදවන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනව. උදාහරණයකට හිතන්න, ඔබට ෆැක්ටරියක් තියෙනව කියල ටොපි සහ චොකලට් හදන්න පුළුවන්. ඔබට එක වරකට ඕනේ නං ටොපි 300 කුයි චොකලට් 0 කුයි හදන්න පුළුවන්. එහෙම නැත්තන් චොකලට් 100 කුයි ටොපි 0 කුයි හදන්න පුළුවන්. ඒ වගේම ඔය අන්ත දෙක අතර ඕනෑම කම්බිනේෂන් එකක් හදන්න පුළුවන්. දැන් ඔය කම්බිනේෂන්ස් ඔක්කොම X, Y , ප්‍රස්ථාරයක ලකුණු කරල යා කරොත් එන රේඛාවට (මේක කවාකාර වෙන්නත් පුළුවන් කෙලින් රේඛාවක් වෙන්නත් පුළුවන් ) අපි කියනව Production Possibility Frontier කියල. ඒ කියන්නෙ තියෙන සම්පත් උපයෝගී කරගෙන, උපරිම කාර්යක්ෂම තාවයෙන් ටොපි සහ චොකලට් නිපවදවන්න පුළුවන් කම්බිනේෂන්හැම එකක්ම ඔය රේඛාව උඩ තියෙනව. දැනට නිපදවන කම්බිනේෂන් ඔය රේඛාවෙන් ඇතුලෙ නං තියෙන්නේ, ඒ කියන්නෙ තව කාර්යක්ෂම තත්වයෙන් වැඩ කරල, තව රේඛාව උඩට තමන් නිපදවන කම්බිනේෂන් ගේන්ඩ පුළුවන්. නමුත් ඔය රේඛාවෙන් එළියේ තියෙන කම්බිනේෂන් එකක් ඇචිව් කරන්න නං ඔබට ෆැක්ටරියේ ධාරිතාවය ( capacity ) එක වැඩි කරන්ඩ වෙනව. එකට තව මැෂින්, ගොඩනැගිලි වගේ Capital Goods වල ආයෝජනය කරන්න වෙනව. ණය ගන්න ඕන වෙන්නෙ අන්න එතකොට.

    රටක නිෂ්පාදනයත් ඔය වගේ. කාර්යක්ෂම තාවය වැඩි කිරීමෙන්, ප්‍රාග්ධන භාණ්ඩ වල ආයෝජනය කිරීමෙන්, දැනට තිබෙන ආයෝජන නිසි තැන් වල ආයෝජනය කිරීමෙන් රටකට තමන් ගේ නිෂ්පාදනය වැඩි කරන්ඩ පුළුවන්. ඔන්න ඔහොම තමයි ඉතින් වැඩේ වෙන්නෙ. තේරුනාද මන්ද! :)

    ReplyDelete
  13. "ලෝකයේ ආර්ථික වර්ධන වේගය කියන්නෙ මුළු ලෝකයේම ඔය භාණ්ඩ හා සේවා වල වටිනාකම වැඩිවෙන එක."

    වටිනාකම මැනෙන්නේ මොකක් හරි දේකට සාපේක්ෂව නේද ? වටිනාකම වැඩි වෙන්නෙ මොකට සාපේක්ෂවද ?

    PPF ගැන දනිමි. ආර්ථික විද්‍යාවේ මූලික කරුණු ඉගෙනගෙන තිබේ

    ReplyDelete
  14. Chanaka - මම හිතන්නෙ ඔබ ඔය ප්‍රශ්නෙට උත්තරේ දැනටමත් දන්නව. Neoclassical economics අනුව වටිනාකම කියන්නෙ අපි කවුරුත් දන්න ඉල්ලුම සහ සැපයුම තුලනය වන ලක්ෂය. බොහොම සරලව කිව්වොත් වෙළඳ පොලේදී භාණ්ඩයකට හිමිවන මුදල. Classical economics වලදී වටිනාකම මනින විදිහ වෙනස් වෙනව. නමුත් මම ඉගෙනගෙන තියෙන්නේ Neoclassical economics . ඉතින් වෙළඳ පොලේදී භාණ්ඩයකට හෝ සේවාවකට හිමිවන මුදල තමයි එහි වටිනාකම. මේ මුදල රුපියල් හෝ ඩොලර් වෙන්ඩ පුළුවන්. එහෙම නැත්තන් වෙනත් මුදල් ඒකකයක් වෙන්ඩ පුළුවන්. එහෙම වෙලාවට අපි වටිනාකම සංසන්දනය කරන්න ඔබ කලින් කිව්ව වගේ විනිමය අනුපාතය පාවිච්චි කරනව. ඉතින් ගොඩක් වෙලාවට අපි අගය කියන්නෙ ඇමෙරිකන් ඩොලර් එකට සාපේක්ෂව. මුලික වටිනාකම එහෙම තීරණය උනාට පස්සෙ, ආර්ථික වර්ධනය මනින්නෙ කලින් අවුරුද්දෙ අගයට සාපේක්ෂව. වටිනාකමේ සාපේක්ෂතාව එන්නේ ඔහොමයි.
    තව එකක් කියන්ඩ ඕනෙ. මේ පඬි ටෝක් දුන්නට මම ආර්ථික විද්‍යාවට සම්බන්ද ක්ෂේත්‍රයක වැඩ කරන කෙනෙක් නෙවෙයි. මම දැනට ඉන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ. මේව අධ්‍යාපනිකව ඉගෙන ගත්තු කරුණු විතරයි. :D . මගේ ඉගෙනීම් Microeconomics වලට තමයි වැඩිය සම්බන්ධ. Macroeconomics වලදී ආර්ථික වර්ධනය මනිද්දී ඒකට උද්ධමනය බලපාන විදිහ ගැන මටත් ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනව.

    ReplyDelete
  15. හා හා. ඒ කියන්නේ ආර්ථික වර්ධනය කියන්නෙ අමු බොරුවක්. ඉලක්කම් වල අඩු වැඩි වීමක් වුණාට ලෝකෙ තියෙන සම්පත් වල ප්‍රමාණය වෙනස් වෙන්නෙ නැති නිසා ලෝක ආර්ථිකය සමස්ථ ලෙස වර්ධනය වෙන්න බෑ. එක රටක වැඩි වෙනවානම් තව රටක අඩු විය යුතුයි. ඒත් ලෝක ආර්ථිකය වර්ධනය වෙනවා වගේ පෙනෙන්නෙ විනිමය අනුපාත ජිල්මාට් එක හින්දා .

    අමුද්‍රව්‍ය නිමි ද්‍රව‍ය බවට පත් වීමේදී පාරිභෝගික වටිනාකම වැඩිවීම වෙනම දෙයක්. එතනදි වෙන්නෙ සීමිත ස්වභාවික සම්පත් වලින් පාවිච්චි කරල ඉවර කරපු ප්‍රමාණයේ වැඩි වීමක්.

    එහෙමද ?

    මමත් තොරතුරු තාක්ෂණය සම්බන්ධයි.

    ReplyDelete
  16. මේ පෝස්ට් එක නම් නියමයි. කියලා වැඩක් නැහැ.
    henryblogwalker aka Dude

    ReplyDelete
  17. Chanaka - තර්කානුකූලව ඔබ කියන දේ ඇත්තක් තියෙනව. නමුත් අපි තාම ලෝකෙ සම්පත් වලින් 100% පාවිච්චි කරන්නේ නෑ. ඒක නිසා මම හිතන්නෙ ලෝකෙ හැම රටකටම ආර්ථිකය එක සැරේ වර්ධනය කරන්න තර්කානුකූලව බැරි කමක් නෑ. හැබැයි සීමිත සම්පත් සම්බන්ධව ඔබ කියූ දේ හරියට හරි. ආර්ථික විද්‍යාවේ මුලික ප්‍රශ්නය ඕක. සීමිත සම්පත් වලින් කොහොමද අසීමිත ආශාවන් සංසින්දුවන්නේ. ඔතනදීත් කරලියට එන්නෙ ඉල්ලුම හා සැපයුම න්‍යාය. සීමිත සම්පත් කියන්නෙ සැපයුම, අසීමිත ආශාවන් කියන්නෙ ඉල්ලුම. ඔය දෙක සමබර වෙද්දී සම්පත් වලට වටිනාකමක් නියම වෙනව. ඒ වටිනාකම සංකේතවත් කරන කෘතීම ජිල්මාර්ට් එකක් තමයි මුදල් කියන්නෙ. මුදල් වල වටිනාකම තියෙන්නෙ ඒ සංකේතාත්මක බව පිලිගන්නකන් විතරයි. ආර්ථික අවපාතයක් කාලෙට මුදලේ අගයක් නැතුව ගිහින්, භාණ්ඩ වල අගය නොවැටී පවත්න්නේ ඒකයි. උදාහරනෙකට පොඩි කතාවක් කියන්නන්. මේක මටත් මගේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක් කියපු එකක්. ඇත්ත නැත්ත දන්නෑ. ජර්මනියේ දැඩි ආර්ථික අර්බුදයක් තිබ්බ කාලෙක එක මනුස්සයෙක් ගියාලු අවන්හලකට. කොපි එකක් බොන්ඩ කියල හිතමුකො. මුදල කොච්චර බාල වෙලාද කියල කියනවනං මේ මනුස්සය කොපි එක බොන්ඩ ඕනේ සල්ලි සූට් කෙස් එකක තමයි දාගෙන ගිහින් තියෙන්නෙ. මේ මනුස්සය බැග් එක බිමින් තියල ඕඩර් එක දෙන අතරේ හොරෙක් ඇවිල්ල, සූට් කෙස් එකේ සල්ලි බිමට හලලා, බැග් එක අරන් දිව්වලු. මොකද බැග් එක අර සල්ලි මිටි ඔක්කොටම වඩා වටිනව. සල්ලි කියන ජිල්මාට් එක අසමත් උන අවස්ථාවක භාණ්ඩ වල අගය නැති නොවී පවතින එකට උදාහරණයක් ඔය.

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!