Friday 14 September 2012

මැන්චෙස්ටර් එක්සත්


ජාතික කණ්ඩායමට එකම ක්‍රීඩකයෙක්වත් දායාද නොකෙරුවත්, ලංකාවෙ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩා සමාජය මම හිතන්නෙ 'කජුවත්ත එක්සත්'. ලෝකෙ ජනප්‍රියම ක්‍රීඩාව වෙච්ච පාපන්දු ක්‍රීඩාවෙ ජනප්‍රියම පාපන්දු සමාජය තමයි 'මැන්චෙස්ටර් එක්සත්'. දැන් මේක බලන වෙන වෙන පාපන්දු සමාජ වල රසිකයො අවි අමෝරා ගන්න එපා. මමත් මැන්චෙස්ටර්  එක්සත් රසිකයෙක් නෙවේ. කොටින්ම ලොකු පාපන්දු රසිකයෙකුත් නෙවේ. නමුත් ලඟදි කරපු සමීක්ෂණයකට අනුව ලොව වටා මිලියන 659 රසිකයන් ගණනක් එක්ක ඔවුන් තමා ජනප්‍රියත්වයේ හිනිපෙත්තෙ ඉන්නෙ. මට දවසක් යන්න ලැබුන ඔය පාපන්දු සමාජයේ ඇතුලත සවාරියක් ගිහින් එන්න. මතකනෙ කලින් පාරක් මම මැක්ලරෙන් ෆෝමියුලා 1 කණ්ඩායමේ ඇතුලත ගැන විස්තර ලිව්ව. මැන්චෙස්ටර් එක්සත් ක්‍රීඩාංගනය පිහිටල තියෙන්නෙ  එංගලන්තෙ මැන්චෙස්ටර් නගරයේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ප්‍රදේශයෙ. ක්‍රිකට් වලදී අපිට අහල පුරුදු  ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගනය තියෙන්නෙත් මේ කිට්ටුවමයි. මේ තියෙන්නෙ ක්‍රීඩාංගනයෙ ඉදිරිපස.
ක්‍රීඩාංගනය ඇතුලට ගියාම හිතෙන දෙයක් තමයි තරඟයක් දවසට මේක කොහොම ඇතිද කියල.
මේ තියෙන්නෙ Sir Alex Ferguson ක්‍රීඩා මණ්ඩපය. 
මේක එහෙම නම් කරලා තියෙන්නෙ දැනට කණ්ඩායමේ කළමනාකරු වන Sir Alex Ferguson ට කරන උපහාරයක් වශයෙන්. ඔහු තමයි මේ ක්‍රීඩා සමාජයේ හිටපු සාර්ථකම කළමනාකරු. 1986 ඉඳන් මේ වෙනතෙක්ම මැන්චෙස්ටර් එක්සත් කණ්ඩායමේ කළමනාකරු ඔහු තමයි. අවුරුද්දෙන් දෙකෙන්, සමහර වෙලාවට එක සීසන් එකක් ඇතුලත කළමනා කරුවන් මාරු වෙන පාපන්දු ලෝකේ දශක දෙකකටත් වැඩියෙන් ඔහු තමන්ගේ ධුරයේ රැඳී ඉඳිමම මම හිතන්නෙ ලොකු ජයග්‍රහණයක්. මේ පිට්ටනියෙ නවත්තල තියෙන සුදුපාට යකඩ පට්ටම් ගැනත් යමක් කියන්න ඕන. හිරු නොබසින අධිරාජ්‍යට ඉර නගින්නෙත් කලාතුරකින්නෙ. ඉතින් ඔය පේන සුදු පාට යකඩ කරත්ත වල හයි කරල තියෙනව කෘතීම ඉර එලිය දෙන ලයිට්. ශිත කාලෙට මුළු පිට්ටනියම ඔය වගේ යකඩ කරත්ත වලින් වහනවලු තණකොළ වලට ඉර එලිය ලබා දෙන්න.
මේ තියෙන්නෙ Dug out එක.
මේ පාපන්දු සමාජයේ ලොකු අනුග්‍රාහකයෙක් තමයි ලෝක සුපතල Nike සමාගම. මේ ඔවුන්ගෙ සන්නාම සලකුණ සටහන් කරපු ක්‍රීඩා මණ්ඩපය. 
Nike තමයි මැන්චෙස්ටර් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුම් සැපයුම්කරු. ඒ නිසාම ක්‍රීඩාන්ගනේ එක තැනක ලොකු Nike සාපුවක් තියෙනව මැන්චෙස්ටර් සන්නාම නාම සහිත වෙළඳ බඩු වලට. දැනට Nike සමාගම අත්සන් කරලා තියෙන අනුග්‍රාහක ගිවිසුමේ වටනාකම පවුම් මිලියන 302 ක්! ඔය ගෝල් එක පිටිපස්සෙ තියෙන තියෙන හරියෙ සීට් එකක සීසන් ටිකට් එකක් පවුම් 700 ක් විතර වෙනව. සීසන් ටිකට් එකක් ගන්න අයට සීසන් එකකට තියෙන හෝම් ගේම්ස් ඔක්කොම බලන්න අවස්තාව ලැබෙනව. ඒකියන්නෙ අවුරුද්දකට තරඟ 19 ක් විතර. ඔය සීසන් ටිකට් එකක් ගන්නත් කුසපත් ඇදීමකින් දිනන්න ඕන. හොඳට බැලුවොත් පෙනෙයි ඔය Nike සලකුණ තියෙන මට්ටමයි, ඊට උඩ තට්ටුවයි අතර තියෙන ආසන සවිකරපු කුඩා නැරඹුම් මැදිරි. මේ බොක්ස් එකක සීසන් ටිකට් එකක් අවුරුද්දකට පවුම් 70,000 ක් විතර වෙනව. මෙව්ව හුඟක් වෙලාවට ගන්නෙ සමාගම් වලින්. කියන්න අමතක උනා, මේ ක්‍රීඩාංගනයෙ එක පාරකට 78,000 කට විතර තරඟය නරඹන්න පුළුවන්. හැම තරඟයකම වගේ ටිකට් සම්පුරණයෙන් විකිනෙනව. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනුග්‍රාහක මුදල්, තරඟ ටිකට් වලින් එන මුදල් එහෙම ගත්තම මේ පාපන්දු සමාජ සෑහෙන ලාභයක් ලබනව කියල. නමුත් ඔවුන්ගෙ ලොකුම වියදම තමයි ක්‍රීඩකයන්ට ගෙවන මුදල්. උදාහනරනයකට ගත්තොත් මැන්චෙස්ටර් වලට ක්‍රීඩා කරන Wayne Rooney ගෙ සතියක පඩිය පවුම් 250,000 විතර වෙනව. ඔව්! සතියකට පවුම් දෙලක්ෂ පනස්දාහක්!  අපිත් මේ ඉගෙන ගැනිල්ල පැත්තක තියල බෝලෙකට පයින් ගහන්න ඉගෙන ගත්ත නං කියල හිතෙන්නෙ ඔන්න ඔය වෙලාවට තමා. ( මම දන්න තරමින් ලංකාවෙ ඉහල පෙලේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අවුරුද්දකට ගෙවන්නෙත් ඩොලර් ලක්ෂයත්, ලක්ෂ දෙකත් අතර ගානක්). පැරාලිම්පික් තරඟ වලදී දකින්න ඇති නෙ මෙහෙ ආබාධිතයින්ට සලකන්නෙ කොහොමද කියල. මේ තියෙන්නෙ ඒ වගේ රෝද පුටු වලින් තරඟය නරඹන්න එන රසිකයන්ට වෙන් කරපු පුටු. 
රෝද පුටුව උඩින් නවත්තල, තමන්ගෙ සහායකයත් එක්ක ඇවිත් තරඟය නරඹන්න ඔවුන්ට පුළුවන්. මේ අයට වෙනම සාමාජිකත්වය ගන්න පුළුවන්. ඒ සාමාජිකයන් අතරේ කුසපත් ඇදීමෙන් තේරෙන රසිකයන්ට මෙහෙම ඇවිල්ල තරඟය බලන්න පුළුවන් සම්පුර්ණයෙන් නොමිලේ!
මේ තියෙන්නෙ 2008 දී විවුර්ත කරපු Munic Tunnel එක. 
මේක තියෙන්නෙ 1958 පෙබරවාරි 6 වෙනිද වෙච්ච ඛේදවාචකයක් සිහිපත් කරන්න.  ඒ දවසේ යුගෝස්ලාවියාවෙ තරඟයකට සහභාගී වෙලා එමින් හිටපු මැන්චෙස්ටර් කණ්ඩායමේ ගුවන් යානය නැවත ඉන්ධන ගහගන්න මියුනික් ගුවන් තොටුපලට ගොඩ බාල තිබුන. ඉන්ධන පුරවගෙන නැවත ගුවන් ගත වෙන්න හදද්දී යානය අනතුරට ලක් වෙලා ක්‍රීඩකයන් ඇතුළු 23 දෙනෙක් මිය ගියා. Busby Babes නමින් හැඳින්වුණු ඒ කණ්ඩායම සිහිපත් කරන්න තමයි මේ tunnel එක තියෙන්නෙ. ඔවුන් ව ඒ නමින් හඳුන්වන්න හේතුව ඒ දවස් වල හිටපු කළමනාකරු Matt Busby. ටීම් එකේ හිටපු ගොඩක් ක්‍රීඩකයො සෑහෙන තරුණයි. වයස 21 ක් තරම්. ඉතින් ඔවුන් Busby Babes නමින් හැඳින්නුව. මේ ඒ ඛේදවාචකය ගැන කෞතුකාගාරයෙ තියෙන සැමරුම්.  

ක්‍රීඩාංගනය ඇතුලත නරඹන්න එන ය වැඩි වෙලාවක් කැරකෙන තැන තමා මෙතන. ක්‍රීඩකයන්ගේ Dressing Room එක. තම තමන් කැමති ක්‍රීඩකයන්ගෙ ටී ෂර්ට් ඉස්සරහ ඉඳන් චායාරුප ගන්න කට්ටිය පොරකනව. මේ ක්‍රීඩකයන්ව දෙවිවරු වගේ අදහන සමහර රසිකයන්ට ඔවුන් වාඩි වෙන තැන වාඩි වෙන්න ලැබීම ඔවුන්ගෙ හීන හැබෑවිමක්. 



මේ තියෙන්නෙ කෞතුකාගාරය තුල තියල තියෙන, ඔවුන් දිනපු කුසලාන. මෙව්ව බරගානක් තියෙනව.


මේ මොන විස්තර කිව්වත් අන්තිමට මම එක තැනක දැකපු මෙන්න මේක නොදා සටහන අවසන් කරන්න බෑ. මැන්චෙස්ටර් එක්සත් වල බූරුවා!!

15 comments:

  1. හොඳ විස්තරයක් පුබුදු. ගිහින් බලන්ට ආසා හිතුනා.

    උදේට, උදේට නැගිටලා සිංදු කියන්ට පුරුදු උනා නම් ගායකයෙන් වෙන්ට තිබුනා. ඒක ඔය බෝල ගහනවාට වඩා කොච්චර හොඳද? කෙල්ලෝ කැමතී ගායකයන්ට.:D:D:D

    ReplyDelete
  2. ජාතික කණ්ඩායමට එකම ක්‍රීඩකයෙක්වත් දායාද නොකෙරුවත්, ලංකාවෙ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩා සමාජය මම හිතන්නෙ 'කජුවත්ත එක්සත්'. - ලොවෙත් නෑ කියමන හෙහ් හේ.

    ..................
    මැන්චෙස්ටර් එක්සත්ලගේ විස්තර පින්තුරත් එක්ක පලකරපු එක ගැන ස්තුතිය. බුරුවා ගැන විස්තර නොලිව්ව එක නම් හැබැයි හරි මදි.

    මුහුදු දන්නවද ඔය කට්ටියට ඇඳුම් මහන ඕඩරේ ගන්නෙ කව්ද කියලා?

    අපේ පාපන්දු රසිකයන්ටත් මේ තොරතුරු බලන්න සයිබර් යාය ගෘප් එකේ මම මේක බෙදලා දානවා.

    ReplyDelete
  3. බූරුවෝ මෙහෙ හරි ජනප්‍රිය නිසා එයා ගැන ලිව්වා මදි වගේ.. හි හි...

    ඇත්තටම ෆුට්බෝල් බේස්බෝල් ක්‍රීඩකයෝ දේවත්වයෙන්ය කියනවනේ සලකන්නෙ ඔය රටවල් වල... මං මේ ඊයේ පෙරේදා බැලුව Moneyball කියන ෆිල්ම් එකත් ඔය ක්‍රීඩා සමාජවල ඇතුලාන්තය පෙන්වන කතාවක් වගේ කියලා හිතුනා...

    ReplyDelete
  4. නියම ලිපියක් නොදැන හිටපු ගොඩාක් කරුණු දැන්ගත්තා වගේම හරිම රසවත් විදිහට ලියා තිබෙනවා.

    1. බූරුවා ගැන නම් දන්නේ නෑ.. ටිකක් ඒ ගැන කියන්න..

    2. ක්‍රීඩකයන්ගේ විවේකාගාරය නරඹන්නන්ටත් විවෘතද?

    ReplyDelete
  5. @පොඩ්ඩි

    ගෑනු ළමයි සින්දු කියන අයට හරි ආසයි කියල මම දැනන් හිටියෙ නෑනෙ. ඔයාගෙ අහවලාටත් පුලුවන්ද සින්දු කියන්න? :D :D

    @බුද්ධි

    මේ ඉන්නෙ නැති උනයි කියපු මනුස්සය! බූරුව ගැන විස්තර ලිව්වෙ නැත්තෙ ෆොටෝ එකේම විස්තර තියෙන නිසා. බොහොම ස්තුතියි විස්තර බෙදා හැරියට. කොහෙද ගෘප් එක තියෙන්නෙ?

    @හිරු

    මමත් Moneyball බැලුව. කොහොමද මිනිහට අන්තිමට හම්බවෙන offer එක? Boston Red Sox වල තනතුරක් අත අරින්නෙ මොන හිතකින්ද? හැබැයි ඉතින් එයා කොයිතරම් තදින් ඒ දේ කරන්න පුළුවන්ද කියල විස්වාස කරන තරම ඒකෙන් පේනව. බුරුවගෙ විස්තරේ පින්තුරෙම තියෙනවනෙ.

    @හරී

    බූරුව ගැන විතර ෆොටෝ එකේම තියෙන නිසයි ලිව්වෙ නැත්තෙ. මෙන්න මේකයි ෆොටෝ එකේ තියෙන්නෙ.

    "United were once proud owners of a donkey. In January 1923 it was reported in the Board of Directors' Minute Books, 'The donkey was unable to do any further work on the ground. It was agreed if possible, to procure another donkey or a small phony.' Its specific duties are unclear! "

    ඔව්, තරඟ තියෙන දවස් වලට ඇරෙන්න අනික් දවස් වලට ගියොත් ක්‍රීඩකයන්ගේ විවේකාගාරයත් බලන්න පුළුවන්.

    ReplyDelete
  6. මගේ යාලුවෙක් ඉන්නවා ඌ පට්ට ෆුට් බෝල් පිස්සා හැබැයි ඌ සපෝර්ට් කරන්නේ අර "ආර්සනල් "කියන ටීම් එකට ඌ දාන කැප් එක අදින ටී ෂර්ට් එක ඔක්කොම ඔරිජිනල් "ආර්සනල්",පට්ට ගණන් එව්වා ....

    ReplyDelete
  7. හ්ම්ම්..මම ඕවා වැඩිය දන්නේ නැහැ අනේ..ඒත් ලිපිය කියෙව්වා..
    ඔබට ජය!

    ReplyDelete
  8. @රොබින්

    මම බලන්න යද්දී එතන Arsenal සපෝටර් කෙනෙකුත් හිටිය. අපිට ස්ටේඩියම් එක වටේ පෙන්නපු පොර පුළුවන් හැම වෙලාවකම එයාව බයිට් එකට ගත්ත.

    @හිරුහිමාවී

    බොහොම ස්තුතියි!

    ReplyDelete
  9. "මේ ක්‍රීඩකයන්ව දෙවිවරු වගේ අදහන සමහර රසිකයන්ට ඔවුන් වාඩි වෙන තැන වාඩි වෙන්න ලැබීම ඔවුන්ගෙ හීන හැබෑවිමක්."

    මාත් එහෙම හීන දකින රසිකයෙක්... හැබැයි මේ ඩ්‍රෙසින් රූම් එකට යන්න නෙමෙයි... :)

    ReplyDelete
  10. මෙහෙම දේවල් ගැන දැනගෙන නම් හිටියේ නැහැ. මේ විදිහට හරි දැනගත්තු එක වටිනවා...

    ReplyDelete
  11. ස්තුතියි විස්තරයට, මුහුදු.
    ඔය වගේමයි නේද බ්‍රිතාන්‍ය පාපන්දු රසිකයන්ගෙ තියෙන හැසිරීමත්. ස්ටේඩියම් එකට ඇතුල් වෙනකොට පෑගිලත් මැරෙනවා නේ සමහරු?
    දකුණු අමෙරිකානු පාපන්දු රසිකයොත් මම හිතන්නෙ ඔය වගෙම පාපන්දු ආගමක් හැටියට සලකනවා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  12. @Beetle

    Chelsea ද? Arsenal ද? මට ඔය වගේ හීන හැබෑ උනේ ෆෝමියුලා 1 කාර් එකක වාඩි වෙන්න ලැබුණු දවසෙ

    @Hasitha

    අලුත් දෙයක් දැන ගත්තනං මම ලියපු දෙයින් ප්‍රයෝජනයක් තියෙනව.

    @Dude

    පෑගිලා මැරෙන එව්ව නං වෙලා නෑ ලඟදි. මට මතක විදිහට අන්තිම වතාවට ඔහොම එකක් උනේ 1989. ඒ ගැන මේ ඊයෙ පෙරේදත් මෙහෙ කතිකාවක් ගියා. හැබැයි පාපන්දු රසිකයො හරිම කලහකාරී බව නං ඇත්ත.

    ReplyDelete
  13. Chelsea Who?? Arsenal What??

    @ Dude,

    ඇත්තටම බැලුවොත්, එංගලන්තෙ පාපන්දු නරඹන්නන්ට වඩා කලහකාරියි දකුණු අමෙරිකානු හා ඉතාලි නරඹන්නො.. බලන්නකො Seri A match එකක්, කට්ටිය මරාගන්න හැටි බලන්න.. :)

    ReplyDelete
  14. අපේ ගෙදර එක්කෙනා නම් ඔය කොයි ක්‍රීඩාවත් බලනවා . මන් නම් ඉතින් එච්චරම ක්‍රීඩා ලෝලියෙක් නෙමේ . ලෝක කුසලානය වගේ එකක් විතරයි බැලෙන්නේ .ඒ වුනත් මේ වගේ අපට දකින්න නොලැබෙන දේවල් ගැන කියා දෙනවට මුහුදුට ස්තුතියි .

    අපේ කෙල්ලන්ගේ ඉස්කෝලේ ඔය සෙල්ලම හරි ජනප්‍රියයි . සෙනසුරාදට වෙනම උගන්නනවා . අපේ ලොක්කිත් මේ දවස්වල පොඩ්ඩක් සෙල්ලන් කරනවා . තාත්තයි දුලයි සාලේ ෆුට් බෝල් ගහනවා . මන් ඉතින් මගේ වලන් පිඟන් ටික ඇතුලෙන් තියනව ඒ වෙලාවට .

    මේ කලාපයේ උනුත් ඔය සෙල්ලමට පිස්සු වැටිලානේ ඉන්නේ . මට පේනවා මේ ළඟ පිට්ටනියක රෑ 10 11 වෙනකම් සෙල්ලම් කරනවා . කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජය ...ගැන කිව්ව ටික නම් නියමයි.

    ReplyDelete
  15. මම මෙයාල ගැන දන්නවට මෙහෙම විස්තරයක්. මේ ඔයයි එතනට ගියාද?. එල මචං විස්තරේ..

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!