Friday, 14 September 2012

මැන්චෙස්ටර් එක්සත්


ජාතික කණ්ඩායමට එකම ක්‍රීඩකයෙක්වත් දායාද නොකෙරුවත්, ලංකාවෙ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩා සමාජය මම හිතන්නෙ 'කජුවත්ත එක්සත්'. ලෝකෙ ජනප්‍රියම ක්‍රීඩාව වෙච්ච පාපන්දු ක්‍රීඩාවෙ ජනප්‍රියම පාපන්දු සමාජය තමයි 'මැන්චෙස්ටර් එක්සත්'. දැන් මේක බලන වෙන වෙන පාපන්දු සමාජ වල රසිකයො අවි අමෝරා ගන්න එපා. මමත් මැන්චෙස්ටර්  එක්සත් රසිකයෙක් නෙවේ. කොටින්ම ලොකු පාපන්දු රසිකයෙකුත් නෙවේ. නමුත් ලඟදි කරපු සමීක්ෂණයකට අනුව ලොව වටා මිලියන 659 රසිකයන් ගණනක් එක්ක ඔවුන් තමා ජනප්‍රියත්වයේ හිනිපෙත්තෙ ඉන්නෙ. මට දවසක් යන්න ලැබුන ඔය පාපන්දු සමාජයේ ඇතුලත සවාරියක් ගිහින් එන්න. මතකනෙ කලින් පාරක් මම මැක්ලරෙන් ෆෝමියුලා 1 කණ්ඩායමේ ඇතුලත ගැන විස්තර ලිව්ව. මැන්චෙස්ටර් එක්සත් ක්‍රීඩාංගනය පිහිටල තියෙන්නෙ  එංගලන්තෙ මැන්චෙස්ටර් නගරයේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ප්‍රදේශයෙ. ක්‍රිකට් වලදී අපිට අහල පුරුදු  ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගනය තියෙන්නෙත් මේ කිට්ටුවමයි. මේ තියෙන්නෙ ක්‍රීඩාංගනයෙ ඉදිරිපස.
ක්‍රීඩාංගනය ඇතුලට ගියාම හිතෙන දෙයක් තමයි තරඟයක් දවසට මේක කොහොම ඇතිද කියල.
මේ තියෙන්නෙ Sir Alex Ferguson ක්‍රීඩා මණ්ඩපය. 
මේක එහෙම නම් කරලා තියෙන්නෙ දැනට කණ්ඩායමේ කළමනාකරු වන Sir Alex Ferguson ට කරන උපහාරයක් වශයෙන්. ඔහු තමයි මේ ක්‍රීඩා සමාජයේ හිටපු සාර්ථකම කළමනාකරු. 1986 ඉඳන් මේ වෙනතෙක්ම මැන්චෙස්ටර් එක්සත් කණ්ඩායමේ කළමනාකරු ඔහු තමයි. අවුරුද්දෙන් දෙකෙන්, සමහර වෙලාවට එක සීසන් එකක් ඇතුලත කළමනා කරුවන් මාරු වෙන පාපන්දු ලෝකේ දශක දෙකකටත් වැඩියෙන් ඔහු තමන්ගේ ධුරයේ රැඳී ඉඳිමම මම හිතන්නෙ ලොකු ජයග්‍රහණයක්. මේ පිට්ටනියෙ නවත්තල තියෙන සුදුපාට යකඩ පට්ටම් ගැනත් යමක් කියන්න ඕන. හිරු නොබසින අධිරාජ්‍යට ඉර නගින්නෙත් කලාතුරකින්නෙ. ඉතින් ඔය පේන සුදු පාට යකඩ කරත්ත වල හයි කරල තියෙනව කෘතීම ඉර එලිය දෙන ලයිට්. ශිත කාලෙට මුළු පිට්ටනියම ඔය වගේ යකඩ කරත්ත වලින් වහනවලු තණකොළ වලට ඉර එලිය ලබා දෙන්න.
මේ තියෙන්නෙ Dug out එක.
මේ පාපන්දු සමාජයේ ලොකු අනුග්‍රාහකයෙක් තමයි ලෝක සුපතල Nike සමාගම. මේ ඔවුන්ගෙ සන්නාම සලකුණ සටහන් කරපු ක්‍රීඩා මණ්ඩපය. 
Nike තමයි මැන්චෙස්ටර් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුම් සැපයුම්කරු. ඒ නිසාම ක්‍රීඩාන්ගනේ එක තැනක ලොකු Nike සාපුවක් තියෙනව මැන්චෙස්ටර් සන්නාම නාම සහිත වෙළඳ බඩු වලට. දැනට Nike සමාගම අත්සන් කරලා තියෙන අනුග්‍රාහක ගිවිසුමේ වටනාකම පවුම් මිලියන 302 ක්! ඔය ගෝල් එක පිටිපස්සෙ තියෙන තියෙන හරියෙ සීට් එකක සීසන් ටිකට් එකක් පවුම් 700 ක් විතර වෙනව. සීසන් ටිකට් එකක් ගන්න අයට සීසන් එකකට තියෙන හෝම් ගේම්ස් ඔක්කොම බලන්න අවස්තාව ලැබෙනව. ඒකියන්නෙ අවුරුද්දකට තරඟ 19 ක් විතර. ඔය සීසන් ටිකට් එකක් ගන්නත් කුසපත් ඇදීමකින් දිනන්න ඕන. හොඳට බැලුවොත් පෙනෙයි ඔය Nike සලකුණ තියෙන මට්ටමයි, ඊට උඩ තට්ටුවයි අතර තියෙන ආසන සවිකරපු කුඩා නැරඹුම් මැදිරි. මේ බොක්ස් එකක සීසන් ටිකට් එකක් අවුරුද්දකට පවුම් 70,000 ක් විතර වෙනව. මෙව්ව හුඟක් වෙලාවට ගන්නෙ සමාගම් වලින්. කියන්න අමතක උනා, මේ ක්‍රීඩාංගනයෙ එක පාරකට 78,000 කට විතර තරඟය නරඹන්න පුළුවන්. හැම තරඟයකම වගේ ටිකට් සම්පුරණයෙන් විකිනෙනව. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනුග්‍රාහක මුදල්, තරඟ ටිකට් වලින් එන මුදල් එහෙම ගත්තම මේ පාපන්දු සමාජ සෑහෙන ලාභයක් ලබනව කියල. නමුත් ඔවුන්ගෙ ලොකුම වියදම තමයි ක්‍රීඩකයන්ට ගෙවන මුදල්. උදාහනරනයකට ගත්තොත් මැන්චෙස්ටර් වලට ක්‍රීඩා කරන Wayne Rooney ගෙ සතියක පඩිය පවුම් 250,000 විතර වෙනව. ඔව්! සතියකට පවුම් දෙලක්ෂ පනස්දාහක්!  අපිත් මේ ඉගෙන ගැනිල්ල පැත්තක තියල බෝලෙකට පයින් ගහන්න ඉගෙන ගත්ත නං කියල හිතෙන්නෙ ඔන්න ඔය වෙලාවට තමා. ( මම දන්න තරමින් ලංකාවෙ ඉහල පෙලේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අවුරුද්දකට ගෙවන්නෙත් ඩොලර් ලක්ෂයත්, ලක්ෂ දෙකත් අතර ගානක්). පැරාලිම්පික් තරඟ වලදී දකින්න ඇති නෙ මෙහෙ ආබාධිතයින්ට සලකන්නෙ කොහොමද කියල. මේ තියෙන්නෙ ඒ වගේ රෝද පුටු වලින් තරඟය නරඹන්න එන රසිකයන්ට වෙන් කරපු පුටු. 
රෝද පුටුව උඩින් නවත්තල, තමන්ගෙ සහායකයත් එක්ක ඇවිත් තරඟය නරඹන්න ඔවුන්ට පුළුවන්. මේ අයට වෙනම සාමාජිකත්වය ගන්න පුළුවන්. ඒ සාමාජිකයන් අතරේ කුසපත් ඇදීමෙන් තේරෙන රසිකයන්ට මෙහෙම ඇවිල්ල තරඟය බලන්න පුළුවන් සම්පුර්ණයෙන් නොමිලේ!
මේ තියෙන්නෙ 2008 දී විවුර්ත කරපු Munic Tunnel එක. 
මේක තියෙන්නෙ 1958 පෙබරවාරි 6 වෙනිද වෙච්ච ඛේදවාචකයක් සිහිපත් කරන්න.  ඒ දවසේ යුගෝස්ලාවියාවෙ තරඟයකට සහභාගී වෙලා එමින් හිටපු මැන්චෙස්ටර් කණ්ඩායමේ ගුවන් යානය නැවත ඉන්ධන ගහගන්න මියුනික් ගුවන් තොටුපලට ගොඩ බාල තිබුන. ඉන්ධන පුරවගෙන නැවත ගුවන් ගත වෙන්න හදද්දී යානය අනතුරට ලක් වෙලා ක්‍රීඩකයන් ඇතුළු 23 දෙනෙක් මිය ගියා. Busby Babes නමින් හැඳින්වුණු ඒ කණ්ඩායම සිහිපත් කරන්න තමයි මේ tunnel එක තියෙන්නෙ. ඔවුන් ව ඒ නමින් හඳුන්වන්න හේතුව ඒ දවස් වල හිටපු කළමනාකරු Matt Busby. ටීම් එකේ හිටපු ගොඩක් ක්‍රීඩකයො සෑහෙන තරුණයි. වයස 21 ක් තරම්. ඉතින් ඔවුන් Busby Babes නමින් හැඳින්නුව. මේ ඒ ඛේදවාචකය ගැන කෞතුකාගාරයෙ තියෙන සැමරුම්.  

ක්‍රීඩාංගනය ඇතුලත නරඹන්න එන ය වැඩි වෙලාවක් කැරකෙන තැන තමා මෙතන. ක්‍රීඩකයන්ගේ Dressing Room එක. තම තමන් කැමති ක්‍රීඩකයන්ගෙ ටී ෂර්ට් ඉස්සරහ ඉඳන් චායාරුප ගන්න කට්ටිය පොරකනව. මේ ක්‍රීඩකයන්ව දෙවිවරු වගේ අදහන සමහර රසිකයන්ට ඔවුන් වාඩි වෙන තැන වාඩි වෙන්න ලැබීම ඔවුන්ගෙ හීන හැබෑවිමක්. 



මේ තියෙන්නෙ කෞතුකාගාරය තුල තියල තියෙන, ඔවුන් දිනපු කුසලාන. මෙව්ව බරගානක් තියෙනව.


මේ මොන විස්තර කිව්වත් අන්තිමට මම එක තැනක දැකපු මෙන්න මේක නොදා සටහන අවසන් කරන්න බෑ. මැන්චෙස්ටර් එක්සත් වල බූරුවා!!

Wednesday, 5 September 2012

සුපිරි මිනිසුන් සියැසින් දුටුවෙමි


සැමදා නියං එකදා වැහි වලාවේ කියුවාක් මෙන්, මෙතෙක් පැවති සීතල දුරුවී එදා ඉරු රශ්මිය නගරය උණුසුම් කරමින් තිබිණි. මිනිසුන් අතර සිටින සුපිරි මිනිසුන්ගේ දස්කම් දැකගැනීමේ උද්යෝගයත්, බලාපොරොත්තුවත් ඇතිව මම වහ වහා ඉදිරියට ඇදුනෙමි. මා මෙන්ම උද්යෝගයෙන් මහා ජන ගංගාවක් ඉදිරියට ගලමින් තිබිණි. මේ සියල්ලෝම ඇදෙන්නේ එකම දෙසකටය. එකම කරුනකටය. එහෙත් කිසිම තැනක තද බදයක්, පොරකෑමක් තිබුනේ නැත. සියල්ලම අපුරු සංවිධානාත්මක බවකින් ගලා 
යමින්  තිබිණි. ඈතට යන්තම් පෙනුණු ඇතුල් වීමේ ද්වාරය, දැන් දැන් ළඟ ළඟම පෙනෙන්නට ගත්තේ ඒ මහා සැණකෙළියේ තවත් අදියරක් දැක බලා ගැනීමේ අවස්තාව තව මොහොතකින් උදාවන බව පසක් කරන්නටය.

පුරාණ ග්‍රීසියේ එදා මේ සැණකෙළිය තිබෙන්නට ඇති හැටි මෙනෙහි කරමින් මම ක්‍රීඩාංගනයට ඇතුළු වුනෙමි. එහෙත් මා වැරදිය. පුරාණ ග්‍රීසියේ මේ සැණකෙළිය මෙයාකාරයෙන් තිබුනේ නැත. එදා ඒ සැණකෙළිය තිබුනේ පරිපුර්ණ ශරීරාංග වලින් යුතු අයටය. එහෙත් 21 වන සියවසේ මා මේ පැමිණ ඇත්තේ එහිම තවත් විකාශනයක් වූ, ආබාධිතයන් සඳහා වන ලොව ලොකුම ක්‍රීඩා උළෙල නැරඹීමටය. මට හිමි අසුන වෙත ගොස් හරි බරි ගැසී වාඩි උන මම ක්‍රීඩාංගනය සිසාරා නෙත් යැව්වෙමි. 


අසූ දහසක් අසුන් ගත හැකි මේ දැවැන්ත ක්‍රීඩාංගනය අතුරු සිදුරු නැතිව පිරී යන බව පසක් කරමින් නොයෙකුත් දෙසින් ඇතුළුවන ප්‍රේක්ෂකයෝ තමන්ගේ අසුන් වෙත ඇදෙති. 



දැවැන්ත රූපවාහිනී තිර මත තරඟ කාල සටහන්, ඒවායේ නීති රීති, ක්‍රීඩකයන් වර්ග කිරීම් දිස් වේ. පහල ක්‍රීඩා පිටියේ යුහුසුළුව පිටිය සකසන්නට වෙහෙසෙන බොහෝ දෙනෙකි. එහෙත් මගේ දෙනෙත් සොයන්නේ මේ එකක්වත් නොවේ. ලෝකයේ කුමන රටකදී වුවද දුටුවිට හදවත අභිමානයෙන් පුම්බාලන ඒ දර්ශනය තාමත් මගේ නෙත ගැටුනේ නැත. පිටියේ අහුමුලු පිරික්සා අවසානයේ එය  මගේ  නෙත් ඉදිරිපිටම කල එළියේ මෙතෙක් වෙලා තිබී ඇති බව මටම දෙස් දෙමින් පසක් කර ගතිමි. 


පළමුව ඇරඹුණේ කාන්තා මීටර් 400 T13 අවසාන වටයයි. 

මේ උළෙලේ ක්‍රීඩකයන් අබාධ අනුව විවිධ කොටස් වලට වර්ග කෙරේ. T අකුරෙන් සනිටුහන් වන්නේ ජවන ( track ) තරඟයි. ඊළඟට එන නොම්මරය අනුව අබාධ කාණ්ඩය හැඳින්වෙයි. උදාහරණයක් ලෙස 1 න් ආරම්භ වන නොම්මර ඇත්තේ පෙනීමේ ආබාධ ඇති ක්‍රීඩකයන්ටය. T 11 යනු පෙනීම ඇත්තේම නැති ක්‍රීඩකයන්ය. ඔවුන් ධාවනයේ යෙදෙන්නේ මග පෙන්වන්නෙකු සමගිනි. T 12, T 13 කාණ්ඩ වල අයට පිලිවෙලින් පෙනීමේ නොයෙකුත් දුර්වලතා ඇත. අංක 4 න් පටන් ගන්නා කාණ්ඩ වල ක්‍රීඩකයන්ගේ අතක්, පයක් ඉවත් කර ඇත. අපි කවුරුත් දන්නා ඔස්කාර් පිස්ටෝරියස් තරඟ කරන්නේ මේ T 43 . T 44 කාණ්ඩ වලය. DSLR කැමරාවක් නොතිබුනත් අතේ තිබු කුඩා කැමරාවෙන් මම T 13 කාන්තා අවසාන වටයේ දර්ශන හැකි පමණ සනිටුහන් කර ගත්තෙමි.  






ඉන් පසුව ඇරඹුණේ අති උද්වේගකර T53 මීටර් 100 තරඟයයි. එහි උද්වේගයට හේතුව තරඟය ජයගන්නට වැඩිම හැකියාව තිබු Mickey Bushell බ්‍රිතාන්‍ය ජාතියෙකු වීමයි. තරඟය ආරම්භයේ සිට ලැබුණු පොලව දෙදරවන අත්පොලසන්, දිරි ගැන්වීම් හමුවේ ඔහු නව පැරාලිම්පික්  වාර්තාවක්ද සමගින් තරඟය ජය ගැනීම පුදුමයක් නොවේ.




සුද්දන් උද්දාමයෙන් Mickey ට ඔල්වරසන් දෙද්දී මගේ නෙත් ඈත තිබු තිරය දිහාට යොමු උනේ එහි දිස්වූ දොඹගොඩ නාමයත්, ඊට ඉදිරියෙන් තිබු SRI යන අකුරු 3 ත්. මේ සැන්දෑවේ එකම ශ්‍රී ලංකා නියෝජනය!!




පිරිමි උස පැනීමේ F42 ඉසව්වෙන් තරඟ වැදුණු දොඹගොඩ තමන්ගේ එකම කකුලෙන් පැනවිත් මීටර් 1.5 ක උසක් පැන්නේ ඔහුගේ පවුද්ගලික දක්ෂතාවය සමකරමින්. නමුත් අවාසනාවකට මීටර් 1.6 කටත් වඩා පනින ක්‍රීඩකයන් සිටින ඉසව්වේ ඔහුට වැඩි දුර යන්නට හැකි උනේ නෑ.  

ඊට පසුව පැවැත්වුන  T11 කාණ්ඩයේ ( ඇස් නොපෙනෙන) තරඟ කිහිපයක  කැමරාවට හසුවූ  තැන් මේ








 මේ තරඟ නරඹන විට දැනුනු එක දෙයක් නම්, කලින් අප මේ තරඟ නැරඹුවේ අබාධිතයන් තරඟ කරනවා බලන්නට. නමුත් අද දවසේ අප එය නරඹන්නේ, ක්‍රීඩකයන් තරඟ වදිනවා බලන්නට. ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්ය මේ අය ආබාධිතයන් බව අමතක කරවන තරම්. සැබවින්ම විය යුත්තේද එයයි. මක් නිසාදයත් ඔවුන්ගේ ආබාධ කිසි ලෙසකින් ඔවුන්ගේ හැකියාවන්, උත්සාහයන් සහ ධෛර්ය මොට කරන්නට සමත් වී නැති නිසා. සැබවින්ම ඔවුන් සුපිරි මිනිසුන්!!!

Wednesday, 18 July 2012

ගෙම්බෙක් කා දවස පටන් ගනිමු!


මේ ටිකේම චුරු චුරු වැස්ස. වහිනවා වහිනවා ඉවරයක් නෑ. හැබැයි ඒකත් අර ගෙදරට වෙලා උණු කෝපි කෝප්පයක් අරන් කකුල් දෙක උඩ දාගෙන ෆිල්ම් එකක් බලන්න හිතෙන ජාතියෙ වැස්සකුත් නෙවේ. සීතලට ගුලි වෙලා ඔලුවෙ ඉඳන් පොරවගෙන නිදා ගන්න හිතෙන වැස්සකුත් නෙවේ. නිකන් බොහොම ලාවට මුළු දවස තිස්සෙම වැටෙන එපා කරපු වැස්සක්. අනික ඉතින් ඔය කිව්වට කෝපි බොන්නයි, පොරවගෙන නිදා ගන්නයි කොහෙන්ද වෙලාවක්?ලංකාවෙ නං වැස්ස කාලෙට ගෙම්බො ගෙට එනව. හරියට උන්ගෙ ගෙදර වගේ තමා ඇතුලට එන්නෙ. මට හිතෙන්නෙ එහෙම ගෙවල් ඇතුලට එන්නෙ මදාවි ගෙම්බො. මොකද උන්ව එලියට දාන්න හදනකොට '"පුළුවන්නං යවහල්ල බලන්න " කියන්න වගේ පුටු අස්සෙ, කබඩ් අස්සෙ රිංගනව විතරක් නෙවේ කොහොමහරි කරල එලියට වීසි කරාම ගේ පැත්ත බලාගෙන වැටිල "අඩෝ අපි ඊළඟ පාර බලාගම්මු හරිද? " වගේ ලුක් එකක් දීල තමා යන්නෙ.


දවසේ වැඩ පටන් ගනිද්දි පලවෙනි වැඩේ හැටියට ගෙම්බව කන්න කියල කියනවනෙ. මම නෙමේ මෙහෙම කියන්නෙ. Eat that frog පොත ලියපු බ්‍රයන් ට්‍රේසි (පොරට කලින් මාර්ක් ට්වෙනුත් ඕක කිව්ව) . ඒක සූප ශාස්ත්‍ර පොතක් නෙවේ. කාල කළමනාකරණය, සිංහලෙන් කිව්වොත් Time Management ගැන ලියවිච්ච පොතක්. ඔහු කියන්නෙ මේකයි. අපි වැඩ කරනකොට අපිට කරන්න හිතෙන්නෙ නැති, අකමැතිම වැඩක් තියෙනව. ඒ වැඩේ තමයි අපි නිතරම කල් දාන්නෙ. නමුත් ඒක අපේ ජිවිතේ දියුණුවට, රැකියාවේ දියුණුවට වැදගත් වෙන වැඩක් වෙන්න පුළුවන්. එහෙම වෙලාවට ඒ වැඩේ මුලින්ම කරන්න කියන එක තමයි ඔහු දෙන උපදෙස. උදේම ගෙම්බෙක් කෑවොත්, ඊළඟට දවසේ කරන්න තියෙන කිසිම වැඩක් ඒ තරම් අප්පිරිය නෑ. ඒ වගේ, අමාරුම වැඩේ කලින් ඉවරකරොත් තමන්ට ඊලඟට කරන්න තියෙන වැඩ ඒ තරං අමාරු නෑ කියල අපේ හිත දන්නව. ඒ වගේම අර අමාරු වැඩේ තමන් කොහොමහරි ඉවර කරාය කියන හැඟීමත් එක්ක අපිට සතුටක් ආත්ම විස්වාසයක් ඇති වෙනව. ඒ ආත්ම විස්වාසය තමන්ට අනික් වැඩ සාර්ථකව ඉවර කරන්න උදව් වෙනව.

ඔය ගෙඹි න්‍යාය දවසේ වැඩ වලට විතරක් නෙවේ, තමන්ගේ රැකියාවේ හෝ ඉගෙනීමේ කටයුතු වල දීර්ඝ කාලීන දියුණුවටත් යොදා ගන්න පුළුවන්. ඒකට කරන්න ඕන කන්න ඕන ගෙම්බො මොක්කුද කියල හොයා ගන්න එක. එහෙමත් නැත්තම් තමන්ගේ ඉලක්කය කරා යන්න, තමන්ට කරන්න තියෙන අමාරුම වැඩ ටික මොනවද කියන එක මුලින් අවබෝධ කරගන්න ඕන. මේකට බ්‍රයන් ඔහුගේ පොතේ සඳහන් කරන්නෙ තමන්ගේ ඉලක්කයන් පොතක හෝ කොලයක සටහන් කරන්න කියල. ඒ වගේම ඒ සඳහා කලයුතු වැඩ මොනවද කියන එක පුළුවන් තරම් දුරට ලැයිස්තු ගත කරන්න කියල ඔහු කියනව. මේ ක්‍රමයෙන් තමන්ගේ ඉලක්කය තමන්ගේ මනසේ සුපැහැදිලි කරගත්තම තමන්ට ඒ කරා යන මාර්ගයත්, ඒකෙ යද්දී ගිලින්න ඕන ගෙම්බොත් හඳුන ගන්න පුළුවන්. ඔහු පවසන තවත් දෙයක් තමා අපි කොච්චර වැඩ කෙරුවත්, කොච්චර කාර්යක්ෂම උනත්, අපිට කරන්න තියෙන වැඩ ඉවරකරගන්න අපිට තියෙන වෙලාව ඇතුලත දී බැහැයි කියන එක. ඒක නිසා අපි කරන්න අවශ්‍ය දේවල් මොනවද, අනවශ්‍ය දේවල් මොනවද කියන ඒක වර්ග කරගන්න අවශ්‍යයි. ඒ වර්ග කිරීම තීරණය වෙන්නෙ අර කලින් කිව්ව තමන්ගේ ඉලක්කය මොකද්ද කියන එක මත.

පරෙටෝ ගේ 20/80 න්‍යාය දන්නව ඇතිනේ. බ්‍රයන් කියන විදිහට අපි ගොඩක් දෙනෙක් 80% ප්‍රතිපල දෙන 20% වැඩ අත ඇරලා, 20% ප්‍රතිපල දෙන, 80% ක වැඩ කරනව කියල. ඇත්ත. ගොඩක් වෙලාවට අපි පුංචි පුංචි වැඩ ටික ඉවර කරල ඉන්නව ලොකු වැඩ වලට යන්න කලින්. නමුත් ලොකුම බලපෑමක් කරන්න පුළුවන් අර අපි කරන්න අකමැති වැඩ 20% ට. ඔහු කෘතිය පුරාම කියන දෙයක් තමා කොලයක හිතන්න ( Think on paper ) කියන එක. මොකද කරන්න තියෙන වැඩ හිතේ තියන්න ඉන්නවට වඩා, ලැයිස්තු ගත කළාම, ලිව්වම අපිට කරන්න ඕන දේ වඩාත් පැහැදිලි වෙනව.  ඒ තුලින් අපිට තියෙන සීමිත කාලයෙන් කෙරෙන සීමිත වැඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රතිපලයක් ලබන්න පුළුවන්. 

කාලය කළමනාකරණය කරන හැටි ගැන ලියවෙච්ච දේවල් ගැන කියවෙනකොට හිතෙන දෙයක් තමා මේ තියෙන දේවල් කරන්න කොහෙද වෙලාවක් කියන එක. ඔය Think on paper න්‍යාය ට අනුව බ්‍රයන් කියන දෙයක් තමයි තමන්ට ඉදිරි මාසෙට කරන්න තියෙන දේවල් ගැන ලිස්ට් එකක් හදන්න කියන එක. ඊට පස්සෙ ඔහු කියනව, සතියක් පටන් ගනිද්දි ඒ සතිය තුල කරන දේවල් ලිස්ට් එකක් හදන්න. ඊටත් පස්සෙ කියනවා දවස පටන් ගනිද්දි එදා කරන්න ඕන දේවල් ගැන ලිස්ට් එකක් හදන්න. ඔය ලිස්ට් තුනම එකකට එකක් සම්බන්දයි. හැබැයි මට හිතෙන හැටියට, කාලය කළමනාකරණය කිරීමේ රහසත් ඒකයි. අපි ඒ වෙනුවෙන් වෙනම කාලයක් යොදවන්න ඕන. එහෙම කලේ නැත්තන් එතන කළමනාකරණයක් නෑ. අනික මාසයක්, සතියක් හෝ දවසක් පටන් ගනිද්දි කරන්න තියෙන වැඩ සැලසුම් කරල ඒ කාල සීමාව අවසානයේදි ආපහු හැරිලා බලපුවම අපිටම මැන ගන්න පුළුවන් අපි ඉස්සරහට ගිහින්ද, පස්සට ගිහින්ද, කොතන හරි වැරදුනාද, කොතනද හරි ගියේ කියන එක. ඒක හරියටම සිතියමක් බලාගෙන ගමනක් යනව වගේ. අපි ගොඩක් වෙලාවට කරන්නෙ සිතියමක් නැතිව ඔහේ තියෙන තියෙන පාරවල් වල ගිහින් කල්පනා කරනවා ඇයි මේ ගමනාන්තයට මෙච්චර දුර කියල.


හරි! එහෙනං දැන් ගිහින් ගෙම්බෙක් කමු!

Wednesday, 11 April 2012

ඔරිජිනල් සහ ඩුප්ලිකේට් (18+ පොඩිහිටියන්ට තහනම්!)

මතකද ලම්බාඩා??  එක පාරක් අහපු කෙනෙකුට ආයෙ අමතක වෙන්නෙ නැති සින්දුවක්. කියන්නෙ මොනවද කියල මෙලෝ සංසාරයක් තේරුනේ නැති උනත් ඉබේ නැටවෙන සින්දුවක්. කාලයක් ලංකාවෙ, ගෙයක්, දොරක්, ගහක්, ගලක්, ත්‍රිවිල් එකක්, බස් එකක් ගානෙ ප්ලේ වෙච්ච සින්දුවක්. තාමත් ඇහෙද්දි හිත අතීතෙට අරන් යන සින්දුවක්.  ඕක නැගල ගියාම අපේ කට්ටිය ගැහුව ඕක කොපි කරල සින්දුවක්. මේ තියෙන්නෙ ඒ ඩුප්ලිකේට් එක.
 අපි කව්රුත් අහල තියෙන ඔරිජිනල් එක Kaoma කියන ගායක කණ්ඩායම ගායනා කරන Lambada. සින්දුව. මේ සින්දුව ගැයෙන්නේ පෘතුගීසි භාෂාවෙන් උනත්, Kaoma සංගීත කණ්ඩායම කියන්නෙ ප්‍රංශ ජාතික කණ්ඩායමක්. ඔවුන්ගෙන් සමහරු කලින් Toure Kunda කියල සෙනගාල සංගීත කණ්ඩායමක හිටපු අය. ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙක්, බ්‍රසීලයට ගියපු වෙලාවක, ඔහු හිටපු ප්‍රදේශයේ මිනිස්සු බොලිවියානු සංගීතයකට නටන Lambada කියන නර්තනය දැකල, ඔහු නැවතත් ප්‍රංශයට ආවම කරන්නෙ Kaoma කියන සංගීත කණ්ඩායම ආරම්භ කරනව මේ සංගීතය ප්‍රසිද්ධ කරන්න. ඔවුන් 1989 නිකුත් කරන Lambada සින්දුව ඉතාම ජනප්‍රිය වෙනව.   ඒ නිකුත් කරපු පලවෙනි ගීතය සහ වීඩියෝ එක තමා මේ. (පොඩි එවුන් ඇස් වහගනිල්ලා.. )
(හා දැන් ඇරපල්ලා) නැටවෙන සංගීතය වගේම, දකුණු ඇමෙරිකානු නර්තන වලට උරුම උන ශෘංගාරය කැටි කරගත් Lambada නැටුමත් මේ ගීතයේ ජනප්‍රියත්වයට දායක උනා. Lambada නැටුමට ආභාෂය ලැබිල තියෙන්නෙ තවත් ලතින් නර්තන වෙන salsa, merengue සහ carimbo වගේ නර්තනයන්ගෙන්.ඕක ඇවිල්ල ටික කාලෙකින් රාවයක් ගියා මේ සින්දුව තහනම් කලාය කියල. ඒකට හේතුව කිව්වෙ ඔය වීඩියෝ එක. දැන් නම් බැලුවට මහලොකු දෙයක් නැති උනත් ඒකාලේ ඔව්ව මැජික් නිසා ගොඩක් අය හිතුවෙ ඒක තමා හේතුව කියල. ඇත්තටම මේ සින්දුව තහනම් උනා. නමුත් ඒ ඔය වීඩියෝ එක නිසා නෙවේ. ඒකට හේතුව මට ලඟදි හම්බුනා. ඒ මෙන්න මේක,
මේ බොලිවියානු සංගීත කණ්ඩායමක් වන Los Kjarkas ගායනා කරන Llorendo se fue ගීතය. මේක තමයි lambada සින්දුවෙ ඔරිජිනල් එක. හැබැයි මේකත් ඔරිම ඔරිජිනල් එක නෙවේ මම හිතන්නෙ. මොකද මේකත් ඔවුන් හදල තියෙන්නෙ, බොලිවියානු ජන සංගීතයක තනුවක් යොදාගෙන. මේ ගීතය lambada විදිහට ගායනා කරන්න ගන්නකොට මේ සංගීත කණ්ඩායමෙන් හෝ මේ ගීතය ලියපු කෙනාගෙන් කිසිම අවසරයක් නැතුව තමා Kaoma ගායක කණ්ඩායම ඒක අරගෙන තියෙන්නෙ. ඒක නිසා lambada ගීතයට විරුද්ධව  Los Kjarkas නඩු මගට බහිනව. ඒකෙ ප්‍රතිපලයක් විදිහට තමා lambada සින්දුව තහනම් වෙන්නෙ. මේ ඔරිජිනල් ඒක ඇහුවට පස්සෙ නං මට lambada සින්දුවට වඩා මේ සින්දුවට ආස හිතුන. මේකෙන් මොකද්ද වඩා හොඳ සින්දුව? lambada නැටුමට මුලික උණු carimbo නැටුම හඳුන්වන්නේ Forbidden Dance කියල. අන්තිමට ඒක අල්ලන් හැදුන සින්දුවත් තහනම් උනා.

ප.ලි.
ඔය ලතින් ඇමෙරිකානු නර්තන කරද්දී කියන දෙයක් තමා විලුඹ බිම තියන්නෙ නැතුව, යටි පතුලෙ ඇඟිලි වලින් පොඩ්ඩක් පස්සට වෙන්න තියෙන හරිය ( සිංහලෙන් කිව්වොත් ball of the foot) පොලොවෙ වදින්න අඩිය තියල නටන්න කියල. නර්තන ඉරියව් ඉලිප්පිලා පෙනෙන්නත්, චලනය පහසු කරන්ටත් ඒක උපකාර වෙනව. දැන් මේ අධ්‍යාපනික වීඩියෝව බලන්න. ඒකෙ ඉන්න ගෑනු ළමය කොයි වෙලාවකවත් විලුඹ බිම තියනවද කියල. :D :D

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!