Wednesday, 18 July 2012

ගෙම්බෙක් කා දවස පටන් ගනිමු!


මේ ටිකේම චුරු චුරු වැස්ස. වහිනවා වහිනවා ඉවරයක් නෑ. හැබැයි ඒකත් අර ගෙදරට වෙලා උණු කෝපි කෝප්පයක් අරන් කකුල් දෙක උඩ දාගෙන ෆිල්ම් එකක් බලන්න හිතෙන ජාතියෙ වැස්සකුත් නෙවේ. සීතලට ගුලි වෙලා ඔලුවෙ ඉඳන් පොරවගෙන නිදා ගන්න හිතෙන වැස්සකුත් නෙවේ. නිකන් බොහොම ලාවට මුළු දවස තිස්සෙම වැටෙන එපා කරපු වැස්සක්. අනික ඉතින් ඔය කිව්වට කෝපි බොන්නයි, පොරවගෙන නිදා ගන්නයි කොහෙන්ද වෙලාවක්?ලංකාවෙ නං වැස්ස කාලෙට ගෙම්බො ගෙට එනව. හරියට උන්ගෙ ගෙදර වගේ තමා ඇතුලට එන්නෙ. මට හිතෙන්නෙ එහෙම ගෙවල් ඇතුලට එන්නෙ මදාවි ගෙම්බො. මොකද උන්ව එලියට දාන්න හදනකොට '"පුළුවන්නං යවහල්ල බලන්න " කියන්න වගේ පුටු අස්සෙ, කබඩ් අස්සෙ රිංගනව විතරක් නෙවේ කොහොමහරි කරල එලියට වීසි කරාම ගේ පැත්ත බලාගෙන වැටිල "අඩෝ අපි ඊළඟ පාර බලාගම්මු හරිද? " වගේ ලුක් එකක් දීල තමා යන්නෙ.


දවසේ වැඩ පටන් ගනිද්දි පලවෙනි වැඩේ හැටියට ගෙම්බව කන්න කියල කියනවනෙ. මම නෙමේ මෙහෙම කියන්නෙ. Eat that frog පොත ලියපු බ්‍රයන් ට්‍රේසි (පොරට කලින් මාර්ක් ට්වෙනුත් ඕක කිව්ව) . ඒක සූප ශාස්ත්‍ර පොතක් නෙවේ. කාල කළමනාකරණය, සිංහලෙන් කිව්වොත් Time Management ගැන ලියවිච්ච පොතක්. ඔහු කියන්නෙ මේකයි. අපි වැඩ කරනකොට අපිට කරන්න හිතෙන්නෙ නැති, අකමැතිම වැඩක් තියෙනව. ඒ වැඩේ තමයි අපි නිතරම කල් දාන්නෙ. නමුත් ඒක අපේ ජිවිතේ දියුණුවට, රැකියාවේ දියුණුවට වැදගත් වෙන වැඩක් වෙන්න පුළුවන්. එහෙම වෙලාවට ඒ වැඩේ මුලින්ම කරන්න කියන එක තමයි ඔහු දෙන උපදෙස. උදේම ගෙම්බෙක් කෑවොත්, ඊළඟට දවසේ කරන්න තියෙන කිසිම වැඩක් ඒ තරම් අප්පිරිය නෑ. ඒ වගේ, අමාරුම වැඩේ කලින් ඉවරකරොත් තමන්ට ඊලඟට කරන්න තියෙන වැඩ ඒ තරං අමාරු නෑ කියල අපේ හිත දන්නව. ඒ වගේම අර අමාරු වැඩේ තමන් කොහොමහරි ඉවර කරාය කියන හැඟීමත් එක්ක අපිට සතුටක් ආත්ම විස්වාසයක් ඇති වෙනව. ඒ ආත්ම විස්වාසය තමන්ට අනික් වැඩ සාර්ථකව ඉවර කරන්න උදව් වෙනව.

ඔය ගෙඹි න්‍යාය දවසේ වැඩ වලට විතරක් නෙවේ, තමන්ගේ රැකියාවේ හෝ ඉගෙනීමේ කටයුතු වල දීර්ඝ කාලීන දියුණුවටත් යොදා ගන්න පුළුවන්. ඒකට කරන්න ඕන කන්න ඕන ගෙම්බො මොක්කුද කියල හොයා ගන්න එක. එහෙමත් නැත්තම් තමන්ගේ ඉලක්කය කරා යන්න, තමන්ට කරන්න තියෙන අමාරුම වැඩ ටික මොනවද කියන එක මුලින් අවබෝධ කරගන්න ඕන. මේකට බ්‍රයන් ඔහුගේ පොතේ සඳහන් කරන්නෙ තමන්ගේ ඉලක්කයන් පොතක හෝ කොලයක සටහන් කරන්න කියල. ඒ වගේම ඒ සඳහා කලයුතු වැඩ මොනවද කියන එක පුළුවන් තරම් දුරට ලැයිස්තු ගත කරන්න කියල ඔහු කියනව. මේ ක්‍රමයෙන් තමන්ගේ ඉලක්කය තමන්ගේ මනසේ සුපැහැදිලි කරගත්තම තමන්ට ඒ කරා යන මාර්ගයත්, ඒකෙ යද්දී ගිලින්න ඕන ගෙම්බොත් හඳුන ගන්න පුළුවන්. ඔහු පවසන තවත් දෙයක් තමා අපි කොච්චර වැඩ කෙරුවත්, කොච්චර කාර්යක්ෂම උනත්, අපිට කරන්න තියෙන වැඩ ඉවරකරගන්න අපිට තියෙන වෙලාව ඇතුලත දී බැහැයි කියන එක. ඒක නිසා අපි කරන්න අවශ්‍ය දේවල් මොනවද, අනවශ්‍ය දේවල් මොනවද කියන ඒක වර්ග කරගන්න අවශ්‍යයි. ඒ වර්ග කිරීම තීරණය වෙන්නෙ අර කලින් කිව්ව තමන්ගේ ඉලක්කය මොකද්ද කියන එක මත.

පරෙටෝ ගේ 20/80 න්‍යාය දන්නව ඇතිනේ. බ්‍රයන් කියන විදිහට අපි ගොඩක් දෙනෙක් 80% ප්‍රතිපල දෙන 20% වැඩ අත ඇරලා, 20% ප්‍රතිපල දෙන, 80% ක වැඩ කරනව කියල. ඇත්ත. ගොඩක් වෙලාවට අපි පුංචි පුංචි වැඩ ටික ඉවර කරල ඉන්නව ලොකු වැඩ වලට යන්න කලින්. නමුත් ලොකුම බලපෑමක් කරන්න පුළුවන් අර අපි කරන්න අකමැති වැඩ 20% ට. ඔහු කෘතිය පුරාම කියන දෙයක් තමා කොලයක හිතන්න ( Think on paper ) කියන එක. මොකද කරන්න තියෙන වැඩ හිතේ තියන්න ඉන්නවට වඩා, ලැයිස්තු ගත කළාම, ලිව්වම අපිට කරන්න ඕන දේ වඩාත් පැහැදිලි වෙනව.  ඒ තුලින් අපිට තියෙන සීමිත කාලයෙන් කෙරෙන සීමිත වැඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රතිපලයක් ලබන්න පුළුවන්. 

කාලය කළමනාකරණය කරන හැටි ගැන ලියවෙච්ච දේවල් ගැන කියවෙනකොට හිතෙන දෙයක් තමා මේ තියෙන දේවල් කරන්න කොහෙද වෙලාවක් කියන එක. ඔය Think on paper න්‍යාය ට අනුව බ්‍රයන් කියන දෙයක් තමයි තමන්ට ඉදිරි මාසෙට කරන්න තියෙන දේවල් ගැන ලිස්ට් එකක් හදන්න කියන එක. ඊට පස්සෙ ඔහු කියනව, සතියක් පටන් ගනිද්දි ඒ සතිය තුල කරන දේවල් ලිස්ට් එකක් හදන්න. ඊටත් පස්සෙ කියනවා දවස පටන් ගනිද්දි එදා කරන්න ඕන දේවල් ගැන ලිස්ට් එකක් හදන්න. ඔය ලිස්ට් තුනම එකකට එකක් සම්බන්දයි. හැබැයි මට හිතෙන හැටියට, කාලය කළමනාකරණය කිරීමේ රහසත් ඒකයි. අපි ඒ වෙනුවෙන් වෙනම කාලයක් යොදවන්න ඕන. එහෙම කලේ නැත්තන් එතන කළමනාකරණයක් නෑ. අනික මාසයක්, සතියක් හෝ දවසක් පටන් ගනිද්දි කරන්න තියෙන වැඩ සැලසුම් කරල ඒ කාල සීමාව අවසානයේදි ආපහු හැරිලා බලපුවම අපිටම මැන ගන්න පුළුවන් අපි ඉස්සරහට ගිහින්ද, පස්සට ගිහින්ද, කොතන හරි වැරදුනාද, කොතනද හරි ගියේ කියන එක. ඒක හරියටම සිතියමක් බලාගෙන ගමනක් යනව වගේ. අපි ගොඩක් වෙලාවට කරන්නෙ සිතියමක් නැතිව ඔහේ තියෙන තියෙන පාරවල් වල ගිහින් කල්පනා කරනවා ඇයි මේ ගමනාන්තයට මෙච්චර දුර කියල.


හරි! එහෙනං දැන් ගිහින් ගෙම්බෙක් කමු!

Wednesday, 11 April 2012

ඔරිජිනල් සහ ඩුප්ලිකේට් (18+ පොඩිහිටියන්ට තහනම්!)

මතකද ලම්බාඩා??  එක පාරක් අහපු කෙනෙකුට ආයෙ අමතක වෙන්නෙ නැති සින්දුවක්. කියන්නෙ මොනවද කියල මෙලෝ සංසාරයක් තේරුනේ නැති උනත් ඉබේ නැටවෙන සින්දුවක්. කාලයක් ලංකාවෙ, ගෙයක්, දොරක්, ගහක්, ගලක්, ත්‍රිවිල් එකක්, බස් එකක් ගානෙ ප්ලේ වෙච්ච සින්දුවක්. තාමත් ඇහෙද්දි හිත අතීතෙට අරන් යන සින්දුවක්.  ඕක නැගල ගියාම අපේ කට්ටිය ගැහුව ඕක කොපි කරල සින්දුවක්. මේ තියෙන්නෙ ඒ ඩුප්ලිකේට් එක.
 අපි කව්රුත් අහල තියෙන ඔරිජිනල් එක Kaoma කියන ගායක කණ්ඩායම ගායනා කරන Lambada. සින්දුව. මේ සින්දුව ගැයෙන්නේ පෘතුගීසි භාෂාවෙන් උනත්, Kaoma සංගීත කණ්ඩායම කියන්නෙ ප්‍රංශ ජාතික කණ්ඩායමක්. ඔවුන්ගෙන් සමහරු කලින් Toure Kunda කියල සෙනගාල සංගීත කණ්ඩායමක හිටපු අය. ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙක්, බ්‍රසීලයට ගියපු වෙලාවක, ඔහු හිටපු ප්‍රදේශයේ මිනිස්සු බොලිවියානු සංගීතයකට නටන Lambada කියන නර්තනය දැකල, ඔහු නැවතත් ප්‍රංශයට ආවම කරන්නෙ Kaoma කියන සංගීත කණ්ඩායම ආරම්භ කරනව මේ සංගීතය ප්‍රසිද්ධ කරන්න. ඔවුන් 1989 නිකුත් කරන Lambada සින්දුව ඉතාම ජනප්‍රිය වෙනව.   ඒ නිකුත් කරපු පලවෙනි ගීතය සහ වීඩියෝ එක තමා මේ. (පොඩි එවුන් ඇස් වහගනිල්ලා.. )
(හා දැන් ඇරපල්ලා) නැටවෙන සංගීතය වගේම, දකුණු ඇමෙරිකානු නර්තන වලට උරුම උන ශෘංගාරය කැටි කරගත් Lambada නැටුමත් මේ ගීතයේ ජනප්‍රියත්වයට දායක උනා. Lambada නැටුමට ආභාෂය ලැබිල තියෙන්නෙ තවත් ලතින් නර්තන වෙන salsa, merengue සහ carimbo වගේ නර්තනයන්ගෙන්.ඕක ඇවිල්ල ටික කාලෙකින් රාවයක් ගියා මේ සින්දුව තහනම් කලාය කියල. ඒකට හේතුව කිව්වෙ ඔය වීඩියෝ එක. දැන් නම් බැලුවට මහලොකු දෙයක් නැති උනත් ඒකාලේ ඔව්ව මැජික් නිසා ගොඩක් අය හිතුවෙ ඒක තමා හේතුව කියල. ඇත්තටම මේ සින්දුව තහනම් උනා. නමුත් ඒ ඔය වීඩියෝ එක නිසා නෙවේ. ඒකට හේතුව මට ලඟදි හම්බුනා. ඒ මෙන්න මේක,
මේ බොලිවියානු සංගීත කණ්ඩායමක් වන Los Kjarkas ගායනා කරන Llorendo se fue ගීතය. මේක තමයි lambada සින්දුවෙ ඔරිජිනල් එක. හැබැයි මේකත් ඔරිම ඔරිජිනල් එක නෙවේ මම හිතන්නෙ. මොකද මේකත් ඔවුන් හදල තියෙන්නෙ, බොලිවියානු ජන සංගීතයක තනුවක් යොදාගෙන. මේ ගීතය lambada විදිහට ගායනා කරන්න ගන්නකොට මේ සංගීත කණ්ඩායමෙන් හෝ මේ ගීතය ලියපු කෙනාගෙන් කිසිම අවසරයක් නැතුව තමා Kaoma ගායක කණ්ඩායම ඒක අරගෙන තියෙන්නෙ. ඒක නිසා lambada ගීතයට විරුද්ධව  Los Kjarkas නඩු මගට බහිනව. ඒකෙ ප්‍රතිපලයක් විදිහට තමා lambada සින්දුව තහනම් වෙන්නෙ. මේ ඔරිජිනල් ඒක ඇහුවට පස්සෙ නං මට lambada සින්දුවට වඩා මේ සින්දුවට ආස හිතුන. මේකෙන් මොකද්ද වඩා හොඳ සින්දුව? lambada නැටුමට මුලික උණු carimbo නැටුම හඳුන්වන්නේ Forbidden Dance කියල. අන්තිමට ඒක අල්ලන් හැදුන සින්දුවත් තහනම් උනා.

ප.ලි.
ඔය ලතින් ඇමෙරිකානු නර්තන කරද්දී කියන දෙයක් තමා විලුඹ බිම තියන්නෙ නැතුව, යටි පතුලෙ ඇඟිලි වලින් පොඩ්ඩක් පස්සට වෙන්න තියෙන හරිය ( සිංහලෙන් කිව්වොත් ball of the foot) පොලොවෙ වදින්න අඩිය තියල නටන්න කියල. නර්තන ඉරියව් ඉලිප්පිලා පෙනෙන්නත්, චලනය පහසු කරන්ටත් ඒක උපකාර වෙනව. දැන් මේ අධ්‍යාපනික වීඩියෝව බලන්න. ඒකෙ ඉන්න ගෑනු ළමය කොයි වෙලාවකවත් විලුඹ බිම තියනවද කියල. :D :D

Tuesday, 14 February 2012

පික්නික් එක!



"ඉක්මනට එන්නකෝ!"
"පොඩ්ඩක් ඉන්න. මම මේ ඔයාගේ බෑග් ටිකත් උස්සන් එන්න එපැයි"
"හප්පෝ මහ ලොකු පිරිමිය. ඕකවත් උස්සන් එන්න බැරිද?"
"මොනවද මේකෙ මෙච්චර තියෙන්නෙ?"
"එක එක දේවල්. මේ, මේ කැලේ සත්තු ඉන්නවද?"
"ඔයයි මමයි තමා ඉන්න ලොකුම සත්තු දෙන්න"
"අපි හොඳ වෙලාවට උදෙන් ආවෙ නේද? ගස් වල පිනි ඉර එළිය වැටිල දිලිසෙන ලස්සන..."
"හ්ම්ම්. spring එක නිසා ගස් වල කොලත් හරි ලස්සනයි නේ?"
"මම වගේද? හි හි..!"
"ඔයා ඊට වැඩිය ලස්සනයි!"
"පචයා..!!"
"පච කියන්නෙ තෑගි ගන්නද? ආ මේ,  මෙතනින් තව චුට්ටක් ඉස්සරහට යද්දී තමා අර දොළ පාර හම්බෙන්නෙ"
"ඔය සද්දෙ ඇහෙන්නෙ ඒකෙ නේද?"
"ඔව් ඔව්, දැන් ලඟයි."
"හානේ අර පේන්නෙ. ඔන්න මම දුවනව. ඉක්මනට එන්නකෝ"
"මේ කෙල්ලත් එක්ක බෑ අප්පා"
"ෂා මාර ලස්සනයි නේ. වතුර හරිම පැහැදිලියි. ඉර එලිය වැටිල දිලිසෙන ලස්සන! මේක ගැඹුරද?"
"නෑ වැඩිම උනොත් අඩි තුනක් විතර ඇති. ඒ උනාට අපි යන්න ඕනෙ දැන් ආපු පාරෙ උඩහට."
"මට අර මැද්දෙ තියෙන ගල් ටික උඩ වාඩි වෙන්න ඕනෙ."
"ඉතින් යන්න."
"මට බයයි. අනේ මාව එක්ක යන්නකෝ. මගේ හොඳ වස්ස නේ?"
"මොකා?"
"අනේ අනේ. එක්ක යන්නකෝ....."
"හප්පේ, එන්ඩ ඉතින්. කෝ අත දෙන්න. මගේ අත තදින් අල්ලගන්න."
"ඇති යන්තන් දැන්වත් අතින් ඇල්ලුව!"
"ඔයා ඉතින් ඔය මාව අවුස්සගන්න තමයි හොඳේ?"
"හි හි !"
"මාර සිරික්කිය මෙයාගෙ. කෝ ඔන්න මම අඩිය තියන තැන් වලට අඩිය තිය තිය එන්න. බලාගෙන ප්‍රවේසමෙන් වාඩි වෙන්න. ඔය ගල් ලිස්සනව."
"ම්ම් දැන් හරි. අපි වටේටම වතුර ගලාගෙන යන හැටි. හරිම ලස්සනයි නේ?"
"හ්ම්ම්."
"අර බලන්නකො අර මාළු. පාට පාට."
"බය නැතුව කකුල් වතුරට දාගෙන ඉන්න. මාළු කොටන්නෙ නෑ"
"ඒ උනාට මට බයයි. අර ඈතින් පේන කන්ද මොකද්ද?"
"දන්නෑ" 
"අපි දෙන්න ඒ කන්ද උඩ චුටි පැලක් හදන්, ලුනුයි බතුයි කකා ඉමු"
"ලුණු වැඩිය කන එක ඇඟට හොඳ නෑලු"
"මැට්ටා!!"
"අනික අපේ අම්ම පොඩි කාලෙ මට කියල තියෙනව ' පුතේ උඹ වැඩිය උඩ යන්ඩ හදන්ඩ එපා කියල'. ඒක නිසා මම වැඩිය ඔය උස තැන් වලට කැමති නෑ"
"ඔයත් එක්ක බෑ අනේ........මොකද්ද ඒ සද්දෙ?"
"මොකද්ද?"
"ඔය ඇහෙන්නෙ. මියුසික් එකක් වගේ."
"ආ ඔව්මයි."
"ඔයාගෙ ගාවින් එන්නෙ."
"මගේ?"
"ඔව්, ඔයාගෙ සාක්කුවෙන්! ඔයාගෙ ෆෝන් එක!!"
"ආ!!"
"ඔයාට කිව්වනෙ අනේ ඕක ඕෆ් කරන්න කියල."
"මට අමතක වෙලා"
"ඔයාට මම කියන කිසි දෙයක් මතක නෑ"
"ඉන්න මම ආන්සර් කරල බලන්න.........හෙලෝ?"
"හෙලෝ ????? හෙලෝ තමා!!! ඈ බොල පොලොස් කොට්ටෝරුවො, තෝ තාම නිදිද???!!!!"
"අප්පටසිරි!. අඩේ සොරි මචන්, නින්ද ගියා."
"මොකද බඩුවක් වත් හීනෙන් දැක්කද?  තව පැයකින් කෝච්චිය අද්දනව. ඉක්මනට වරෙන්. අපි පරක්කු උනානං බලන්න තිබ්බ මුගෙ දේශනාව."
"හරි හරි  මම ටාර් ගාල එන්නං!"

"Happy Valentine's Day!"

image: http://www.wunderground.com/blog/flclicker/comment.html?entrynum=91

Sunday, 5 February 2012

පේරන්ට්ස් ඩේ!


පේරන්ට්ස් ඩේ කියන්නෙ ඉස්කෝලෙ යන දවස් වල ඇඟේ ලේ වතුර වෙන දවසක්. මොකද ඉතින් කොච්චර හංගන්න හැදුවත් කොහොමහරි ගෙදරින් ඕක දැනගන්නව. අනික ඒ දවස් වල පේරන්ට්ස් ඩේ එකට ගෙදරින් ආවේ නැත්තන් පස්සෙන් එලෝ එලෝ හොයනව මොකද ආවෙ නැත්තෙ කියල. ඒක නිසා ඕක මග අරින  එක  අමාරු වැඩක්. පොඩි පන්ති වල ඉද්දි හිතන් හිටියෙ මේ කරදරේ තියෙන්නෙ A / L වලට යනකන් විතරයි කියල. පස්සෙ බලද්දී ඒකට ගියහමත් ඉවර නෑ. දවසක් අපේ පොරකගේ තාත්ත ඇවිල්ල ඉස්කෝලෙට පේරන්ට්ස් ඩේ එක දවසේ. අපේ එකත් ඉතින් රාජ ආඳ. පොර පන්තියේ හිටපු දවස් ගානට වඩා ජ'පුර කැම්පස් එක ඇරලා තියෙනව මම හිතන්නෙ. ඉතින් දැන් තාත්ත පොරව එක්කගෙන ගියාලු ගුරුවරු ගාවට පුත්‍රයගෙ හොඳ නරක අහන්න. එහෙම කිව්වට දෙන්නම දන්නව මුගේ කියන්න තරං හොඳක් නැති විත්තිය. මුලින්ම ගිහින් තියෙන්නෙ ගණන් සර් ගාවට. පොරව දැක්ක ගමන් සර් කිව්වලු, ' හපෝ මෙයාගෙනං  ගන්න දෙයක් නෑ. කොයි වෙලාවෙත් පංතියෙ නෑ. මෙහෙම ගියොත් නං අනිවාර්යෙන් ෆේල් වෙනව කියල'. මොන තාත්තද කැමති තමාගෙ පුතා ගැන එහෙම අහගන්න?

තාත්ත මූණ දෙක කරන් මේකව ඇදන් ගිහින් ෆිසික්ස් සර් ගාවට. මොන, පොරත් කිව්වලු 'මෙයා නිතරම පීරියඩ් කට් කරනව. ඉගෙන ගන්න කිසි උනන්දුවක් නෑ. පොඩ්ඩක් තදින් ඉඳල මෙයාට වැඩ කරවන්න කියල.' අපේ පොරට දැන් කරගන්න දෙයක් නෑ. තාත්තට හොඳටම තද වෙලා. දැන් ඉතින් මොනවා කරන්නද. ඔන්න අන්තිමට කෙමිස්ට්‍රි සර් ගාවටත් ගිහින්. බලාපොරොත්තු නොවිච්ච දෙයක් උනේ එතෙන්දි. කෙමිස්ට්‍රි සර් අපේ ඩයල් එක දිහා බලල කිව්වලු. ' මෙයාගෙ වැඩ හොඳයි, හැබැයි ඉතින් තාම B එකක් වගේ ගන්න මට්ටමේ තමයි ඉන්නෙ. A එකක් ගන්න නං මීට වඩා මහන්සි වෙන්න වෙනව කියල.' අපේ එකාට සර්ට එවෙලෙම දණගහල වඳින්න හිතුනලු. ඔය ටිකත් අහගෙන තාත්ත දැන් තරහෙන් පුපුර පුපුර යනවලු ආයෙම ඔෆිස් එකට යන්න. යන ගමන් මූට හොඳටම බනිනවලු 'උඹලට අපි සල්ලි දීල උගන්නන්නෙ මෙහෙම කතා අහගන්නද කියල'. අපේ එකා කිව්වලු 'ඉතින් තාත්තෙ අර කෙමිස්ට්‍රි සර් කිව්වෙ තව ටිකක් මහන්සි උනොත් A එකක් ගන්න පුළුවන් කියල. අනික් සර් ල දෙන්න හැමෝටම කියන්නෙ ඔහොම තමයි. කෙමිස්ට්‍රි වලට A එකක් ගන්න එක අනික් දෙකටත් වඩා අමාරුයි' කියල. ඒක ඇහුව ගමන් තාත්ත යක්ශාවේස වෙලා වගේ නැවතිලා හැරුනලු මුගේ දිහාවට.
'උඹ හිතන්නෙ මම මැට්ටෙක් කියලද?? උඹ අනික් සර් ල දෙන්නගෙ පීරියඩ් වල නං ඉඳල හිටලා හරි පංතියෙ ඉඳල තියෙනව. හැබැයි කෙම්ස්ට්‍රි පීරියඩ් එකේ නං කවදාවත් ඉඳල නෑ!  A එකක් ගන්න? A නෙවෙයි ප්‍රතිපල ආපුවහම ගමටම දෙන්න පුළුවන් වෙයි ලයිට්!! '
දෙමව්පියො ඔය වයස පහු කලේ අපට කලින් කියන්නෙ  ඕක තමා!!!!!.       

තවත් දවසක්  ඔය  පේරන්ට්ස් ඩේ එකක් දවසක ඉස්කෝලෙ ඇරිල ඇවිත් මම බස් එකට නැග්ග ක්ලාස් යන්න. කට කපල සෙනග. අපේ ඉස්කෝලෙ එවුනුත් සෑහෙන්න හිටිය බස් එකේ. මම කලින් පොස්ට් එකක කියපු බෙයා ත් බස් එකේ ඉස්සරහට වෙන්න ඉන්නව මම දැක්ක. බස් එක ඇදලා ටික දුරක් යද්දි මට එහා පැත්තේ හිටපු අපේ එහා පන්තියක කොල්ලෙක් හයියෙන්  කෑ ගහල  බෙයා එක්ක කතාව.
' ඒ බෙයා, අද මම උඹේ තාත්තව දැක්ක.'
' ආ, ඔව් බන්, අර මගුල් මීටිමට ඇවිත් හිටිය. උඹ කොහොමද අපේ තාත්තව දන්නේ?'
'මම දැක්ක ගමන් අඳුනගත්ත බන්'
දැන් බස් එකේ ඔක්කොටොම ඇහෙන්න ඔහොම දෙබස ගිහින් නැවතුනා. ටික වෙලාවකින් මට එහා පැත්තෙ හිටපු එකා ආයෙ කට ඇරිය,
'ඒ බෙයා'
'ඇයි'
'උඹලගෙ තාත්ත උඹ වගේමනෙ බන්'
මේක අහපු බෙයාගෙ වක්කඩ වගේ කටට පන ආව. 
' ඈ යකෝ, අපේ තාත්ත මම වගේ නැතුව උඹ හිතුවද එහා ගෙදර එකා වගේ කියල??'
බස් එක එකම සිනා සාගරයයි!


මම කලිනුත් කිව්වනෙ ඒ ලෙවල් වලට ඇවිල්ලත් මේ පේරන්ට්ස් ඩේ කරුමෙ ඉවර උනේ නෑ කියල. ඔන්න ඉතින් අපි ඒ ලෙවල් වලට ආවට පස්සේ තිබ්බ පලවෙනි පේරන්ට්ස් ඩේ එක ආව. දැන් ඉතින් අපේ පන්තියෙත් අම්මල තාත්තල ඇවිල්ල වාඩි වෙලා ඉන්නව. අපිට එක එක විෂයන් උගන්නන ගුරු මන්ඩලෙත් ඉස්සරහට වෙලා ඉන්නව. අපේ පන්ති භාර ගුරුතුමා දැන් ඉතින් අම්මල තාත්තල ව අමතනව. සාමාන්යෙන් ඒ ලෙවල් සිලබස් එකයි, ඕ ලෙවල් සිලබස් එකයි අතර ලොකු ගැප් එකක් තියෙනවනෙ. ඉතින් ගොඩක් වෙලාවට ඕ ලෙවල් වලදී හොඳට වැඩ කර කර ඉන්න පොරවල් ඒ ලෙවල් වලට ආපුවහම ඇනගන්නව. ඉතින් අපේ සර් ඕක ගැන තමයි දැන් දේශනාව දෙන්නෙ. පොර කියනව ඕ ලෙවල් හොඳට කරා කියල තමන්ගෙ ළමය ඒ ලෙවල් නිකන් ම පාස් වෙයි කියල හිතන්න එපා, මේ දෙකේ සිලබස් වල ලොකු වෙනසක් තියෙනව, වැඩියෙන් මහන්සි වෙන්න වෙනව බ්ලා බ්ලා බ්ලා...... ඔය වෙලාවෙ තමා ඉස්සරහම පේලියෙ වාඩි වෙලා මේ කතාවට ඇහුන්කන් දීගෙන හිටපු අපේ තාත්තට ඕන්නැති ප්‍රශ්නයක් අහන්න හිතුනෙ!! ( එයාට හිතෙන්නෙම ඔය වගේ ඕන්නැති ප්‍රශ්න තමා!!)

' ඇයි ඉතින් ඉස්කෝලෙන් මේ ළමයින්ට විභාගයක් තියල, ලකුණු දෙන්නෙ නැත්තෙ? එතකොට ඒ ගොල්ලන්ටම පුලුවන්නෙ දැනගන්න තමන් ඉන්න මට්ටම මොකද්ද කියල'

මේක අහපු ගුරු මණ්ඩලේ තක්බීර් උනා!
ඒ ගොල්ලෝ විතරක් නෙවෙයි, අනික් දෙමව්පියොත් තක්බීර් උනා!
පන්තිය පිටිපස්සෙ හිටගෙන අනික් කොල්ලොත් එක්ක මේක අහගෙන හිටපු මමත් තක්බීර් උනා!
විභාගයක්  තිබ්බෙ නෑ කියල ගෙදරට කිව්ව කතාව මට අමතක වෙලානෙ තිබ්බෙ!!!

'අපි විභාගයක් තිබ්බනෙ' මුලින්ම කතා කලේ පන්ති භාර ගුරුතුමා
' මොකක්?' ඒ අපේ තාත්ත
'ඔව් ! අපි ලකුණුත් දුන්න. පුතා කිව්වෙ නැද්ද??'
ඊට පස්සෙ කතාව හරිම ශෝචනීයයි.

image:http://www.clipartoday.com/clipart/occupations/occupations/student_274598.html

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!