Thursday 23 June 2011

මම පතෝලිට ආදරෙයි!

කලින් වලියෙ කතාව කියද්දි තමයි මේකත් මතක් උනෙ. දේශාටන කතා පොඩ්ඩකට නවත්තල මේකත් ලියල දාන්න හිතුන. මගේ පොඩි කාලෙ ඉඳන් හිටපු හොඳම යාලුව තමයි ටොමිය. එක වසරෙ ඉඳන් පටන් ගත්තු ඒ යාලු කම අදටත් තියෙනව. ටොමිය ඉස්කෝලෙ මගෙ පන්තියෙමයි හිටියෙ. පොරත් ඔය අපි වලිය දාගත්තු ක්ලාස් එකට ආව. ඒ දවස් වල ටොමිය ඔය ක්ලාස් එකට ආපු කෙල්ලෙකුට ට්‍රයි කරා. කෙල්ලගෙ නම පතෝලි. කොහොමහරි මේ සිද්දිය වෙන දවස් වල ටොමිය කෙල්ලට ෆුල් ට්‍රයි. කෙල්ල ටිකක් පොෂ් අංශයක්. ඉතින් අපේ එකත් ඒ දවස් වල හොඳ ජෙන්ටල්මන් වගේ තමයි ක්ලාස් එන්නෙ. ආවත් වැඩිය සද්ද නැතුව ඉන්නව. කතා කරොත් වචන දෙක තුනකට වඩා නෑ.  මු ඒ දවස් වල නිතරම කන්නෙත් ෆැබ් එකෙන්. මොකද කෙල්ල කන්න යන්නෙ එතෙන්ට. මුත් ඉතින් ගිහින් පැනිය දාගෙන කාල එනව. අපි නං ඉතින් ඔය කොහෙ හරි සයිවර් එකකට අල්ලල බඩ පැලෙන්ඩ කනව.  ඒ පංතියෙ ගොඩක් හිටියෙ අපේ ඉස්කෝලේ කොල්ලො. ගුරුවරය ප්‍රසිද්ද නිසා ඔය ක්ලාස් එකේ කට කපල සෙනග. අපි වාඩි වෙන පේලි තිබ්බෙ කෙලින්ම බෝඩ් එක දිහා බලාගෙන. ඉස්සරහවම පේලි වල කෙල්ලො, පස්සේ පේලි වල අපි. තව ඩෙස්ක් ටිකක් තිබ්බ ඔය ටිකට වම් පැත්තෙන් ක්ලාස් එකේ ඉස්සරහට වෙන්ඩ. ඒවා බෝඩ් ඒකට අංශක 90 වට තිබ්බෙ. ඒවා තිබ්බෙ ඉස්සරහ නිසාත්, වාඩි උනොත් බෙල්ල හරවාගෙන බෝඩ් එක දිහාත් බලන්න වෙන නිසා අපි ඕවයේ වාඩි උනේ නෑ. හැබැයි පතෝලි සහ එයාගෙ යාළුවො ඔක්කොම වාඩි උනේ ඕවයෙ. අපේ ටොමියටත් ඉතින් රජ මගුල්. මොකද වැඩි ආයාසයක් ගන්නෙම නැතිව කෙල්ල පේනවනෙ. ටොමිය පතෝලිට ට්‍රයි කරන එක දැනගෙන හිටියෙ අපේ ඉස්කෝලේ එවුනුත් තව කීප දෙනෙකුත් විතරයි. ක්ලාස් එකේ අනික් එවුන් මේ සීන් එක එතකොට දන්නෙ නෑ. 
මේ ක්ලාස් එක කරේ දිවයිනේ ශුද්ධ ගණිතයට ප්‍රසිද්ද වෙලා හිටපු සර් කෙනෙක්. පොරට ශුද්ධ ගණිතය හොඳට පුළුවන් උනාට හිටපු ගමන් ටිකක් විතර මෝල් කෙලිනව. සර් ගේ ඒ දවස් වල පුරුද්දක් වෙලා තිබ්බ අපිට හදන්න ගණන් ටිකක් දීල, ඒ අතරෙ ආපු චිට් කියවන එක. දවසක් ඔන්න ඒ වගේ වෙලාවක අපි ගණන් හදනව. සර් චිට් කියවනව. ටොමිය හිටියෙ මට එහා පැත්තෙ. ඌ බොහොම උනන්දුවෙන් ගණන් ටික ගොඩ දාගන්න දඟලනව. මමත් ඉතින් පොතට මූන ඔබාගෙන ගණන් හදනව. ඔය අතරෙ සර් එක පාරට මයික් එකෙන් කියපි,
'මම පතෝලිට ආදරෙයි!!'
මුළු ක්ලාස් එකම පොත් වලින් ඔලු උස්සල ඉස්සරහ බැලුවෙ ඉබේටම.
බලද්දී පොර චිට් එකක් දිහා බලාගෙන කියවන්නෙ. පොර තවත් මොකද්ද එකක් කියවන්න ට්‍රයි කරනව. පේන්නෙ නැති නිසා ජනේලයක් ලඟට ගිහින් චිට් එක ඉර එලියට අල්ලල බලල, ආයෙම මයික් එක අරන් මෙහෙම කිව්ව
'මීට ටොමියා !!!!!'
ඔය වෙලාවේ ක්ලාස් එකේ ඇති උන තත්වේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. සර් ඕක කියල කට ගන්නවත් එක්කම මට එහා පැත්තෙන් සද්දයක් ආව.
'ඩෝන් !!!!!'
ටොමිය ඩෙස්ක් එකේ ඔලුව ගහගෙන! දැන් පංතියෙ හතර හිනා!!
මල කෙලියයි. මම ඉක්මනට බැලුවෙ පතෝලි දිහා. කෙල්ල එයාට නෙවෙයි වගේ ගානක් වත් නැතුව ඉන්නව.
'නැගිටපන් ගොනෝ!, දැන් ඔක්කොම දන්නව තෝ තමයි ටොමිය කියල'
මම දත්මිටි කන ගමන් අරුට කිව්ව. කොහෙද, ඌ ඔලුව ගහගත්ත ගමන් ඉන්නව. මුළු ක්ලාස් එකම විනාඩි ගානක් යනකන් හිනා උනා. ඒ මදිවට සර් කාරයත් කියනව 'ඔන්න මම පුළුවන් විදිහට උදව් කරා' කියල. ක්ලාස් එකේ එවුන් තව හයියෙන් හිනා වෙනව. මල හොන්ඩරයයි!

දැන් අපිටත් මල. මොකද ඕක යැව්වෙ ටොමිය නං නෙවෙයි. දැන් ඉතින් කාඩ් කුඩු නිසා මුගේ ට්‍රයි එකට කෙල වෙයි කියල  තමයි කට්ටියට අවුල්. ඒ දවස් වල ඔය පොඩි දේවල් උනත් හරි ලොකුවට නෙ පේන්නෙ.
'කව්ද යකෝ චිට් එක යැව්වෙ?'
'කොහෙන්ද ආවේ?'
'පිටිපස්සෙන්'
'උට කොහෙන්ද ආවේ?'
'ඊටත් පිටිපස්සෙන්'
දැන් හෝ ගාල යවපු එකාව හොයනව. කොච්චර හෙව්වත් හම්බුනේ නෑ. කොහොමහරි ක්ලාස් එක ඉවර වෙන්ඩ කිට්ටු වෙද්දි, අපේ කේන්තිය බැහැල ගිහින් කට්ටියටම සීන් එක ගැන හිනා. ඉතින් අපි ටොමියවත් බයිට් කර කර බස් හෝල්ට් එකට යනව. අපේ ගෙවල් පැත්තෙ ඉඳන් ක්ලාස් එකට යන කොල්ලෙක් මට කිට්ටු කරා.
'මචන් ටොමියට තාම මල ද?'
'නෑ බන්. දැන් අවුලක් නෑ. ඌටත් දැන් ඒකට හිනා '
'ඒ මමයි බන් ඒක යැව්වෙ. මම හිතුවේ නෑ ඌ ඒක කියවයි කියල. අනික මම 'මීට ටොමිය' කෑල්ල මැකුව බං. මේ යකා ඒකත් කියෙව්වනේ!  '
'තෝ ඕක දැන් කියපු එක
හොඳා. ඒ වෙලාවෙ කිව්ව නං අද උඹ ඇවිදගෙන නෙවෙයි ගෙදර යන්නෙ..........  ඒ!! මෙන්න යවපු එකා!! නෙලපල්ලා මූට!!!'
මම එහෙම කිව්වත්. අපි කවුරුවත් ඌට නෙලන්ඩ  ගියෙ නෑ. ඌට ටොමිය අර කෙල්ලට ට්‍රයි කරනව කියල දැනගන්න හම්බෙලා තියෙන්නෙ එදා. ඒක
දැනගත්ත වෙලාවෙ මූ කොමියට තමයි ඕක යවල තිබ්බෙ. කාලයක් ගිහිල්ල ටොමියට කෙල්ල සෙට් උනත් එක්ක. අද මේ කතාව විශේෂයෙන් මතක් උනේ, අද ටොමියගේ උපන්දිනේ.
ටෝමියෝ උඹට සුබ උපන්දිනයක්!!

11 comments:

  1. එහෙමනම් ඉන්න අපිත් ටොමියට සුභ උපන්දිනයක් පතනවා..
    හැබැයි ඒ වේලේ මල පැනලා ලියපු එකා හෙව්වට පොර කරලා තියෙන්නේ ලොකු උදව්වක්...

    ReplyDelete
  2. ටොමියයි පතෝලියි බැන්දයි ? වෙලාවට ඔය පන්තියේ උගන්වපු සර් කොල්ලොත් එක්ක ෆිට් චරිතයක් වුණේ නැත්තං ඉතින් මලාට ඔවුවා කියවන්නේ නෑ නේ . අනික මොකාද මේ බලු වැඩේ කලේ කියලත් බනිනවා නේ .

    ටොමියගේ වෙලාව .

    පවු බං මමත් ඔන්න ජීවිතේට දැකපුනැති එකෙක් වුණත් ඌට සුබ පතනවා! හැපී බර්ත් ඩේ කියලා

    ReplyDelete
  3. ඒ කාලේ තමයි සුන්දරම කාලේ. මතක් කරන කොටත් ආසයි නේද . ජිවිතේ වැඩි බරක් පතලක් නැතිව බඩගින්නේ වුනත් බඩ පැලෙනකන් හිනා වෙච්ච කාලේ ..ටොමිය කියල නම දානේ බව්වන්ට නේ . ..සුද්දෝ නම් ටොමිලා ඉන්නවා
    Happy B'day Tommy !!!!!

    ReplyDelete
  4. Dinesh - ඔව් ඔව්. අර වර්ණපාල මෙතඩ් එකේම වර්ෂන් එකක් විදිහට මේක ගන්න පුළුවන්. ඌ ඒක යවල නං කරේ ලොකු උදව්වක්.

    ReplyDelete
  5. සඳරු - ටොමිය දැන් බැඳල. හැබැයි පතෝලි ව නෙවෙයි.

    ReplyDelete
  6. Bindi - 'බඩගින්නේ වුනත් බඩ පැලෙනකන් හිනා වෙච්ච කාලේ ' -මේක නං සහතික ඇත්ත. ජිවිතේ බරක් පතලක් නැති ඒ කාලෙට ආපහු යන්ඩ ඇත්තන් කියල හිතෙනව.

    ReplyDelete
  7. මටත් ඔලුවට ආවෙ වර්ණපාල තියරියෙ තව වර්ෂන් එකක් කියල

    ReplyDelete
  8. ජීවිතේ සුන්දරම කාලෙ මතක් උනා. ඉස්සර අපේ බයෝ ක්ලාස් එකේ මොනා හරි අප්සට් චිට් ආවම සර් ඒක එවපු ළමයගෙ අහගෙන ආපස්සට ආපස්සට යවනවා. එතකොට හරි අයිති කාරයට යනවනෙ. ඌ ගාවට ගිහින් සර් හොඳ දෙකක් ඌටම කියනවා.

    ReplyDelete
  9. ස්තූතියි ආයෙම ක්ලාස් ගියපු කාලෙට මතකය අරන් ගියාට. හරිම ලස්සන දවස්. ඒවගේම ටොමියාටත් සුභ උපන්දිනයක් !

    ReplyDelete
  10. හැක් හැක් හැක්...... පට්ට සීන් එක... :D

    ටොමියට සුභ උපන්දිනයක් වේවා...!!

    ReplyDelete
  11. හපොයි බන් ඒ ලෙවල් කාලේ තමයි කාලේ.... මතක් වෙද්දිත් ඇඩෙනවා බන්...

    හැබයි මොනා උනත් සර් එල පොරක්.. අපේ බද්දෙට වගේ අහු උනානම් ඌට ඇපත් නෑ...

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!