Saturday 30 July 2011

Formula 1 ටීම් එකක ඇතුල දැකල තියෙනවද?

මම කලින් පොස්ට් එකකත් කියල තියෙනවනෙ මට Formula 1 උන සෑහෙන්ඩ තියෙනව කියල. මගේ ප්‍රියතම Formula 1 කණ්ඩායම තමයි McLaren Mercedes ටීම් එක. පහු ගිය දවසක මට ජීවිතේ සිහිනයක් සැබෑ වෙන වැඩක් සිද්ද උනා. ඒ තමයි ඔය මැක්ලරන් කණ්ඩායමේ ෆැක්ටරිය බලන්ඩ යන්ඩ අවස්ථාවක් හම්බ උන එක. ඒක ඒගොල්ලො හඳුන්වන්නෙ 'මැක්ලරන් ටෙක්නොලොජි සෙන්ටර්'  කියල . ඒක ටිකට් අරගෙන බලන්ඩ යන්ඩ පුළුවන් තැනක් නෙවෙයි. යන්ඩ පුළුවන් ආරාධනාවක් ලැබුනොත් විතරයි. ඉතින් කොල්ලකාරයටත් ඔහොම ආරාධනාවක් ලැබුන. එදා ඉඳන් අදාල දවස එනකන් ඇඟිලි ගැන ගැන තමයි හිටියෙ. නිකන් නෙවෙයි එදාට 2008 ලෝක ශුරයා වෙච්ච, දැනට මැක්ලරන් කණ්ඩායමේ රියදුරෙක් වෙන ලුවිස් හැමිල්ටනුත් එනවා කියල තිබ්බ. ඔහු මගේ ප්‍රියතම ක්‍රීඩකයෙක් (රේස් පැදීමත් ක්‍රීඩාවක් තමයි. ෆෝමියුලා 1 රියදුරෙක් ගේ ශාරීරික යෝග්‍යතාවය ලෝකේ අනිත් ක්‍රීඩාවලට අවශ්‍ය මට්ටමට සමානයි. ගොඩක් වෙලාවට ඊටත් වඩා වැඩියි.)

ඉතින් ඔහොම ගිහිල්ල ගත්තු පින්තුර ටිකක් තමයි පහල තියෙන්නෙ. ලංකාවෙ ගොඩක් දෙනෙක් ෆෝමියුලා 1 ගැන දන්නේ නැති වග මම දන්නව. ඉතින් පොඩි හැඳින්වීමක්  දීල ඉන්නං. ෆෝමියුලා 1 ටීම් එකක් පටන් ගන්න එක ඕන කෙනෙකුට කරන්න පුළුවන් වැඩක්. ඕන වෙන්නෙ ඇමෙරිකන් ඩොලර් මිලියන 400 වගේ සුළු මුදලක් විතරයි!!!! ( මේ මම කිව්වේ සාමාන්‍යයෙන් ටීම් එකක් අවුරුද්දක් දුවන්න වියදන් වෙනවා කියල ඇස්තමේන්තු කරලා තියෙන ගාන. සමහර විට මීට වැඩි වෙන්නත් පුළුවන්).  අවුරුද්දකට ෆෝමියුලා 1 රේස් 18ක් හෝ 19ක් වගේ ගානක් තියෙනව. අවුරුද්දෙන් අවුරුද්ද මේ සංක්‍යාව පොඩ්ඩක් වෙනස් වෙන්ඩ පුළුවන්. මේවා පාලනය කරන්නේ FIA (Federation Internationale de l'Automobile) කියන ආයතනය මගින්. ඒක හරියට ක්‍රිකට් වල අයි  සී සී එක වගේ. මේ රේස් තියෙන්නෙ ලෝකේ විවිධ රටවල් වල. ඉතින් ෆෝමියුලා 1 කණ්ඩායම් මේ හැම තරගයකටම සහභාගී වෙනව. එක කණ්ඩායමකට කාර් දෙකක් තරගයට යොදවන්න පුළුවන්. තරගය දිනන පිළිවෙල අනුව පලවෙනි රියදුරන් 10 දෙනාට ලකුණු හම්බවෙනව. පළවෙනියට ලකුණු 25, දෙවෙනියට ලකුණු 18, තුන්වෙනියට ලකුණු 15 යනාදී වශයෙන්. 10 වෙනියට පස්සේ ඉවර කරොත් එක ලකුණක් වත් නෑ. අවුරුද්ද අන්තිමට ශුරතාවයන් දෙකක් තෝරනව. රියදුරන් ගේ ශුරතාවය සහ කණ්ඩායම් ශුරතාවය. අවුරුද්දේ ඔක්කොම තරග වලින් ලබා ගත්ත ලකුණු වල එකතුව අනුව, වැඩිම ලකුණු ගත්ත රියදුරා, රියදුරන් ගේ ශුරතාවය දිනනවා. කණ්ඩායමේ රියදුරන් දෙන්නම ලබාගත් ලකුණු එකතු කලාම වැඩිම ලකුණු තියෙන කණ්ඩායම, කණ්ඩායම් ශුරතාවය දිනනව. අපි කවුරුත් අහල තියෙන මයිකල් ශුමාකර් රියදුරන් ගේ ශුරතාවය 7 වතාවක් දිනල තියෙනව.හැබැයි රෙසින්ග් ගැන උනන්දුවක් තියෙන ගොඩක් අය පිළිගන්න දෙයක් තමයි, මෙතෙක් බිහිවෙච්ච දක්ෂතම රියදුරා අයර්ටන් සෙන්නා කියන එක. 1994 දී ෆෝමියුලා 1 තරඟයකදී වෙච්ච අනතුරකින් ඔහු මිය යද්දි ලෝක ශුරතාවයන් 3 ක් දිනා ගෙන හිටියෙ. ඔහු ශුරතාවයන් 3 ම දින්නේ මැක්ලරන් කණ්ඩායමත් එක්ක. කියෙව්ව ඇති, පින්තුර ටික බලමු. පින්තුර ලොකු කරල බලන්න ඕනෙ නං එව උඩ ක්ලික් කරන්න.

මැක්ලරන් කර්මාන්ත ශාලාව හදල තියෙන්නේ ying-yang සලකුණේ හැඩයට. ඒ රවුමෙ එක බාගයක් ගොඩනැගිල්ල. ඉතුරු බාගෙ ඔය ඉස්සරහ තියෙන කෘතීම විල. ඕගොල්ලොන්ට පේනවා ඇති ගොඩනැගිල්ලෙ ඉස්සරහ S අකුරේ හැඩේට තියෙනව. ඒක  තමයි යින්ග්-යැන්ග් සලකුණේ මැද තියෙන බෙදීම සංකේතවත් කරන්නෙ. ෆෝමියුලා 1 කණ්ඩායම් තමන් ගේ ක්‍රියාකාරකම් වල රහසිගත භාවය රකින්න සෑහෙන උනන්දු වෙනව. මොකද මේ ක්‍රීඩාවේදි තොරතුරු කියන දේ සෑහෙන්ඩ වටිනව. 'මැක්ලරන් ටෙක්නොලොජි සෙන්ටර්' එකත් තියෙන්නේ විශාල විවුර්ත භූමියක මැද හරියේ. ප්‍රධාන පාරෙ ඉඳන් ඇතුලට වෙන්න, එලියට පෙන්නේ නැති වෙන්න. ගොඩනැගිල්ල වටේට කෘතීම කඳු හදල තියෙනව. 
ගොඩනැගිල්ලෙ ගොඩක් තැන් වලට අමුත්තන්ට ඇතුල් වීම තහනම්. සමහර තැන් වලට, විශේෂයෙන්ම wind tunnel එකට ඇතුල් වෙන්ඩ දුන්නත් චායාරූප ගන්න තහනම්. අපිට චායාරූප ගන්න ඉඩ දුන්න හරියෙ මේ වගේ එක එක අවුරුදු වල මැක්ලරන් ටීම් එකෙන් පාවිච්චි කරපු කාර් ප්‍රදර්ශනයට තියල තියෙනව.



ජීවිතේ හීනයක් වෙලා තිබ්බ ෆෝමියුලා 1 කාර් එකක් ඇතුලට නැගල බලන්නත් මට අවස්ථාව හම්බ උනා. මේ කාර් එකට නැගල අපිට ෆොටෝ ගන්න දුන්න. ඒ විතරක් යැ, pit stop එකක් කරන්නත් අවස්ථාවක් ලැබුන. අර රේස් එක මැදදී දඩ බඩ ගාල ටයර් මාරු කරන්නෙ, අන්න ඒකක්. අපිට ටයර් එක මාරු කරන්ඩ තප්පර 5.69 ගියා. සාමාන්යෙන් ෆෝමියුලා 1 ටීම් එකක පිට් ක්රූ එකකට ටයර් 4 ම තප්පර 4 වගේ කාලයකදී මාරු කරන්ඩ පුළුවන්.

මේ තියෙන්නෙ ඉස්සර කාලෙ මැක්ලරන් ටීම් එකේ කාර්. නිකි ලෞව්ඩ, ඇලෙන් ප්රොස්ට්, අයටන් සෙන්න වගේ ලෝක ශුරයෝ පැදපු කාර් තමයි මේ තියෙන්නෙ. 
මේ  නිකි ලෞව්ඩ ගේ කාර් එක

නිකි ලෞව්ඩ ගේ කාර් එකේ ඇතුලත. අද කාලෙ එකකට වඩා ගැජමැටික් සැහෙන්ඩ අඩුයි.



1988 අයටන් සෙන්න ලෝක ශූරතාවය දිනපු රථය. ඒ අවුරුද්දේ තවත් ලෝක ශූරයෙක් වෙච්ච ඇලෙන් ප්රොස්ට් හිටියෙත් මැක්ලරන් එකේ. ඒ දෙන්න නිසා මේ කාර් එක ඒ අවුරුද්දෙ තරග 16 න් 15 ක් ම දිනල තියෙනව

2007 අවුරුද්දෙ මැක්ලරන් එකෙන් රේස් කරපු MP4-22 කාර් එක. පේනව නේද දැන් ස්ටීරින්ග් වීල් එක කොච්චර වෙනස්ද  කියල.
පැයට කි.මි 300 කට වඩා වේගෙකින් යන ගමන් මේ බටන් එහා මෙහා කරන්න තරං ෆෝමියුලා 1 රියදුරන් දක්ෂයි. මේවයෙන් බටන් එකක් ප්‍රෙස් කරල වතුර බොන්න, පිට් කෘ එකට කතා කරන්න, බ්රේක් බැලන්ස් ඇජස්ට් කරන්න වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්.


මේ කාර් සම්පූර්ණයෙන් ම කාබන් ෆයිබර් වලින් හදන්නෙ. මොකද පුළුවන් තරං බර අඩු කරල, ශක්තිය වැඩි කරන්න. බර අඩු කරන තරම කොච්චරද කියනව නං රියදුරාට පහසු වෙන්න කුෂන් මුකුත් ම නෑ. මේක ඇතුලට බැස්සම නිකන් යකඩ බටයක් ඇතුලට බැස්ස වගේ තමයි.
මේ තියෙන්නෙ කාර්මික වැඩපල. එක එක සංදර්ශන වලට , මාකටින් කැම්පේන් වලට ගෙනියන්න එකලස් කරපු කාර් තමයි ඔය තියෙන්නෙ. මේවා ගොඩක් වෙලාවට පහුගිය අවුරුදු වල රේස් ගියපු මොඩල්ස්. ඒවට පොඩි පොඩි කෑලි අමුණලා ප්‍රදර්ශන වලට ගෙනියනව. බලන්න එක මජං බින්දුවක් තියෙනවද කියල කොහෙවත්!
මේ බිත්ති දෙපැත්තෙ ප්‍රදර්ශනයට තියල තියෙන්නෙ මැක්ලරන් ටීම් එකෙන් එතෙක් මෙතෙක් දිනා ගත්ත ඔක්කොම කුසලාන

පින්තුර නං ගොඩක් ගත්ත. එත් ඉතින් ඔක්කොම දාන්න ඉඩ මදි. මැක්ලරන් සමාගම දැන් ස්පෝට්ස් කාර් හදන වැඩේටත් අත ගහල තියෙන්නෙ. ඉඩක් ලැබුනොත් පින්තුරත් එක්ක ඒ ටික දාන්නං. ආ, ලුවිස් හැමිල්ටන් හරි කැත වැඩක් කලානෙ! මිනිහ අපිට පොල්ලක් තිබ්බනෙ! හැබැයි අපරාදෙ කියන්ඩ බෑ යන්ඩ කලින් දවසෙම ෆෝන් එකට මැසේජ් එකක් ආව ලුවිස්ට හදිසියෙ රටින් පිට යන්න වෙන නිසා එන එකක් නෑ කියල. හැබැයි එකෙන් උනේ, ඕන තරං තැන් වල ඇවිදින්න පුළුවන් වෙච්ච එක. 

15 comments:

  1. සෙන්නගෙයි ලවුඩගෙයි ඇක්සිඩන්ට් උන කාර් වල කෑල්ලක්වත් තිබ්බෙ නැද්ද?

    ReplyDelete
  2. උබටත් මාර චෑන්ස් එකක් නේ සෙට් වෙලා තියෙන්නේ,,,ආ කොහොම හරි F1 කස්ටිය ඉන්දියාවට එනවා නේ ඔක්තෝම්බර් 30....මටත් ඔය පිස්සුව තියනවා බන් පොඩ්ඩක්, ගොඩක්ම නෙමේ

    ReplyDelete
  3. ඉන්දික - නෑ. ලවුඩ හැප්පුනේ ෆෙරාරි ටීම් එකට රේස් කරන කාලෙ. සෙන්න 1994 රේස් කරේ විලියම්ස් එකට. ඒක නිසා ඒව ගැන මතක සටහන් මුකුත් තිබ්බෙ නෑ.

    ReplyDelete
  4. ඩිලාන් - ඔව් ඔව්. මේ අවුරුද්දෙනෙ පලවෙනි සැරේට ඉන්දියාවට එන්නෙ. වෙලාවට ට්‍රැක් එකේ වැඩ ඉවර වෙලා තිබ්බොත් හොඳයි.

    ReplyDelete
  5. ෆෝමියුලා කීවම මම හිතුවේ මේ එක්සෙල් පාඩමක් වගේ දෙයක් කියලා .. බැලුවාමයි වැඩේ තේරුනේ . ජීවිතේට නොදැකපු ඔය අරුම පුදුම කාර් එක ගැන විතර දැගත්ත එක මාර සතුටක් මචං . තෑන්ක්ස් ආ ..

    ReplyDelete
  6. wow Great experience.. check out this http://startinggrid.files.wordpress.com/2011/04/6858838-wheel.jpg

    ReplyDelete
  7. ෆට්ට! බොහෝම ස්තූතියි මේවා අපි එක්ක බෙදා ගත්තාට.

    සෙන්නා ගැන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ වාර්ථාමය චිත්‍රපටයක් දාලා තිබුණා.. මෙතනින් ගිහින් බලන්න

    ReplyDelete
  8. සඳරු - ඉස්සරහට වෙලාව තිබ්බොත් තව හොඳ විස්තර ටිකක් ලියන්නන්.

    ReplyDelete
  9. Udaya - This is awesome. Thanks for the link. Cheers!

    ReplyDelete
  10. චතුවා - බොහොම ඉස්තුතිය් ලින්ක් එකට. මේ මේ අවුරුද්දෙ රිලීස් උන සෙන්නා ෆිල්ම් එක නෙවෙයි නේද? ෆිල්ම් එකේ සෙන්නා කියන එක වැකියක් මට හොඳට මතකයි. "If you no longer go for a gap, you are no longer a racing driver! ". ලුවිස් හැමිල්ටන් ගෙ ධාවන විලාසයට ගොඩක් දෙනෙක් බනිනව. හැබැයි ඔහුත් කරන්නෙ සෙන්නා කියපු දේම නේද කියල මට මේක අහපුවම හිතුන.

    ReplyDelete
  11. මම දැනං උන්නෙ ඔය බවක්!,
    අඩුවටම රේස් බලන්න තිබ්බ තැන නැති උනා. මේ අවුරුද්දෙ ඉඳන් මෙහෙ රේස් නැහැනෙ.නැත්තං මේ සීසන් එක පටන් ගන්න තිබ්බෙ මෙහෙන්. තත්වෙ හොඳ උනොත් ලබන අවුරුද්දෙවත් බලමු.

    ReplyDelete
  12. පට්ට චාන්ස් එකක් නේ උබට සැට් වෙලා තියෙන්නේ

    ReplyDelete
  13. ඉන්දික උපශාන්ත මොන ට්‍රැක් එකද මේ අවුරුද්දේ වැහුවේ..??

    ReplyDelete
  14. සික් විතරක් මං හිතුවේ මේ මුහුදු කොල්ලකාරයා ගාව තියෙන්නෙ නැව් වලින් කොල්ලකාපු පිත්තල කෑලි විතරයි කියලා.

    මේවනෙ නියම පෝස්ට්.

    මං බැලුවේ අච්චර හයියෙන් යද්දි අරුං අර ස්ටීරියන් වීල් එකේ බටන් කාරියත් ප්‍රෙස් කරාගෙන දෙන ගේම ගැන. උඔ කියන්නෙ වේගෙන් ටයිප් කරද්දි මට ශිෆ්ට් එකයි කොන්‍ට්‍රොල් එකයි පෑගෙන්නෙත් බාගෙටනේ. එහෙම බලද්දි අරගොල්ල හැබෑ ශුරයො....

    අර සෙන්නා මක් වෙලාද දන්නැ තාප්පෙ වැදුනේ නේද? මිනිහට බ්‍රෙක් බටන් එක හොයා ගන්ඩ බැරි උනාද දන්නැ

    ReplyDelete
  15. බුද්ධි - පිත්තල කෑලි අස්සෙ හිටපු ගමන් දඹ රත්තරන් කෑලිත් තියෙනව. එකනෙ බන්, අපිට හයියෙන් ටයිප් කරගන්නවත් බැරිකොට මුන් කොහොම මෙව්ව කරනවද මන්ද. සෙන්න තාප්පේ වැදිච්ච හේතුව තාම කවුරුත් දන්නෙ නෑ. ඕක උනේ කාර් එකේ ඩිසයින් එක නිසාය කියල, ඒක ඩිසයින් කරපු ඉන්ජිනේරුවට මේ ලඟක් වෙනකන් මිනීමැරුම් චෝදනා එල්ල කරල නඩුවක් තිබ්බ. හැබැයි පොර නං සුපිරි ඩිසයිනර් කෙනෙක්. ගිය අවුරුද්දෙ ශුරතාව දින්නෙත් මිනිහ ඩිසයින් කරපු කාර් එකක්. මේ අවුරුද්දෙත් ඒක ගව් ගානක් ඉස්සරහින් ඉන්නෙ.

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!