Tuesday 9 August 2011

ලන්ඩන් ගිනි ගනී!


මේ දවස් වල ලන්ඩන් වල හැම තැනම ගිනි. රෝමෙ ගිනි ගනිද්දී නීරෝ වීනා වැයුවලු. ලන්ඩන් ගිනි ගනිද්දී නං අපි ගෙදෙට්ට වෙලා ටිවී එකේ නිව්ස් බලනව.  ඉරිදා යාලුවෙක් ගෙ ගෙදර ගියා කෑමකට. ගිහින් ආපහු එද්දී එක ටවුන් එකක් පහු කරද්දි හෝ ගාල ඔලුව වහගත්තු, මුකවාඩම් බැඳ ගත්තු කොල්ලො පිරිල. ඊට කලින් දවසෙත් පොලිසියත් එක්ක ගහගත්තු කතාවක් පත්තරේ දැක්ක නිසා තේරුනා මේ සෙට් වෙන්ඩ යන්නෙත් ඒ වගේ එකක් කියල. ගෙදර ඇවිත් නිව්ස් බලද්දී අපි මීට ටිකකට කලින් පහු කරගෙන ආපු තැන ලොකු වලියක්. මේ දවස් වල ටිවී පත්තර වලින් සමහරවිට ඔයගොල්ලොත් දකින්න ඇති මේ සිද්දි ගැන. දැන් දවස් 3 ක් එක දිගට වලි. මුලින් තිබ්බෙ ලන්ඩන් වල විතරක් උනාට, ඊයෙ වෙද්දි ලිවපූල්, බමින්ග්හැම් වගේ නගර වලටත් මේක ව්‍යාප්ත වෙලා තියෙනව. මේකට හේතුව පොලිසියෙන් කොල්ලෙක්ට වෙඩි තියල ඌ මැරිල. කතාවේ හැටියට පොර ගාව පිස්තෝලයක් තිබ්බලු. කොල්ලගෙ ගෙදර මිනිස්සු නං කතා කරන්නේ හරියට ඌ හෙට අනිද්ද බුදු වෙන්ඩ හිටිය එකෙක් ගානට. ඒ උනාට පත්තර වල යන විස්තර කියෙව්වම තේරෙනව ඌ පාතාල නායකයෙක් කියල. 
මෙහෙ කොල්ලො කල්ලි හැදිල ඉන්නේ උන් ජීවත් වෙන ප්‍රදේශය අනුව. මැරිච්ච කොල්ල ඔය වගේ කල්ලියක නායකයෙක්. ඔය කල්ලි අතර බොහොම දරුණු වලි යනව. එව ඔය නිකන් අපේ රොටරි වත්තෙ වලිය වගේ ඒව නෙවෙයි. මිනී මරාගන්න වලි. කොහොම උනත් දැන් ලන්ඩන් පුරා වෙන කොල්ලකෑම් ඔය මැරිච්ච කොල්ලට සම්බන්දයක් නෑ. මේක පටන් ගත්තෙ නං පොලිසියෙන් කරපු වෙඩි තැබීමට විරෝධය දක්වන්න තිබ්බ විරෝධතාවයක්  දුරදිග ගිහින් පොලිසියත් එක්ක ගහගෙන. නමුත් දැන් වෙලා තියෙන්නේ තැන් තැන් වල ඉන්න මදාවියො කල්ලි ගැහිල, පොලිසියට ගහල, කඩවලුත් කුඩු කරලා ඒවයේ බඩු කොල්ල කන එක. ගොඩක් මේ විදිහට ප්‍රහාරයට ලක් වෙන්නෙ ඇඳුම් කඩ, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ කඩ, ස්වර්ණාභරණ කඩ ආදිය. හප්පා බලන්ඩ එපැයි කට්ටිය එල්.සි.ඩි. ටි වී, අලුත් ඇඳුම්, සපත්තු එහෙම උස්සගෙන දුවන විදිහ! මටත් මේ iPad 2 එකක් ගන්ඩ ඕනෙ වෙලා තියෙනව. ගිහිල්ල සෙට් උනා නං නිකන් ම ගොඩ දාගන්ඩ තිබ්බ. 
මෙහෙ පොලිසියටත් වෙලා තියෙන්නෙ හරියට අර " ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී " වගේ වැඩක්. මුන්ට ගැහුවොත් එහෙම උන් ඊට පස්සේ මානව හිමිකම් නඩු දානව වන්දි ඉල්ලල. ඒවට වැරදි කාරයො වෙන පොලිස් කට්ටියට රස්සාවත් නැතුව ගෙදර යන්ඩ වෙනව. අනික් අතට මිනිස්සු දිගට හරහට බනිනව මෙච්චර කඩ කුඩු කරද්දි, ගිනි තියද්දි පොලිසිය නිකන් බලාගෙන ඉන්නව කියල. එහෙම බලාගෙන ඉන්නෙ ඒ මිනිස්සුන්ට වෙන කරන්ඩ දෙයක් නැති නිසා. ගිහින් ගැහුවොත් නඩු දායි විසමානුපාතික බලයක් පාවිච්චි කලා කියල. මෙහෙ තියෙන්නෙ මාර නීති නේ. හොරෙක් ගෙදරකට පැනල තුවාල උනොත් හරි අන්ඩක් කැඩුනොත්  හරි, හොරාට පුළුවන්ලු ගෙදර අයිති මිනිහට විරුද්ධව නඩු දාන්ඩ මිනිස්සුන්ට අනතුරු දායක ලෙස තමන්ගේ ගෙදර තියාගත්ත කියල! අන්න ඒකට ලංකාව. හොරුන්ගෙ අඬු කඩන එක විතරක් නෙවෙයි, මේ වගේ උද්ගෝෂණ කරන්ඩ ආවනම් පලවෙනි දවසෙම ජීව උණ්ඩ දාල වෙඩි තියල එකෙක්ව එලනව. ඊට පස්සෙ ඉතින් ආයේ උද්ඝෝෂණ කරද්දි උන් දෙපාරක් හිතයි නේ. මේ සුද්දන්ට කොහෙන්ද ඉතින් ඒ තරං මොලයක් !! අපේ අය්යලගෙන් ඇහුව නං වලහ හාවා කරන එකේ ඉඳන් කියල දෙයි!.

25 comments:

  1. ඔන්න ඔය වෙලාවට අපේ පොලිසියේ හමුදාවේ උදව් උපකාර ඉල්ලන්න සුදු මහත්වරු ලජ්ජා වෙන්න ඕන නැහැ . දැන් කරන්න වැඩකුත් නැති එකේ . අපි හිතන් උන්නේ ලන්ඩන් කියන්නේ දිව්‍ය ලෝකේ වගේ තැනක් කියලනේ . එහෙත් එහෙමයි එහෙනම්

    ReplyDelete
  2. වෙලාවකට මේ රටවල තියෙන නීති නම් පිස්සු ඒවා. තමන්ගෙ ගෙදරට හොරෙක් පැනලා, ඌට ගැහැව්වොත් ඌ අපිට විරුද්ධව නඩු යනවලු.. නියම නීති තමයි

    ReplyDelete
  3. සිරාවටම මුන්ගෙ නීති වෙලාවකට මහ රෙද්දෙ නීති බන්... හැබයි උබල පරිස්සමට ඉදපන්.. ඔය අල්ල පනල්ලෙ රේසිස්ට් යක්කුත් ගේමට එන්න බැරි නෑනේ

    ReplyDelete
  4. පිස්සු කොර නීතිනෙ බං ඔහේ තියෙන්නෙ

    ReplyDelete
  5. හිකිස් ලොල්ම තමා....ඒක වෙන්න ඇති ලොවෙත් හොරකම් වැඩි වෙලා ඇත්තේ ඔය රටවල...හොරාටත් නඩු දාන්න පුලුවන් නේ

    ReplyDelete
  6. මචං උඹත් කොහොම හරි අයිපොඩ්ඩෙක් උස්සපං .! අපි ඉන්නවා ඕන දේකට . නමේ හැටියට වැඩ තියෙන්න ඕන

    මම හිතුවේ ලංකාවේ පොලිසියට විතරයි හරියට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි අපහසුතා තියෙන්නේ කියලා . බලද්දී ඔහෙත් එහෙමයි .

    ReplyDelete
  7. මෙහේ නම් ඔය තරමට සෙල්ලම් බෑ,,පිටින් පොලිසිය ගෙනල්ලා අදුනන්න බැරි වෙන්න සැරසිලා දෙනවා බැටේ

    ReplyDelete
  8. අනේ මේ 'මුහුදු කොල්ලකාරයෙක්' උනාට කමක් නෑ ගොඩබිම තියන බඩු උස්සන්න යන්ට එපා. ලන්ඩන් පැත්තේ ඉන්න හැමෝම මේ දවස්වල පරිස්සමින් හිටියොත් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
  9. මං හිතාගෙන හිටියෙ ලන්ඩන් වල ඉන්නෙ පාඩුවේ රස්සාව කරගෙන සති අන්තෙ සල්ලි ඔක්කොම වියදං කරලා ෆන් ගන්න සෙට් එකක් කියලා.

    මගේ යාලුවෙකුත් ඉන්නෙ ලන්ඩන් වල... පොර‍ට මොනා වෙලාද දන්නැ යකෝ දැනුයි මතක් උනේ.....

    ReplyDelete
  10. Bindi - අපිත් හිතාගෙන හිටියෙ මේක දිව්‍ය ලෝකෙ වගේ කියල තමයි. ආවමනේ හරියට වැඩේ තේරුනේ.

    ReplyDelete
  11. තාරක Dilsh@n- පකිස්තාන් ගෙදරකට පැනපු හොරෙකුට ඒ ගෙදර පිරිමි දෙන්නෙක් ක්‍රිකට් බැට් වලින් අම්බානක නෙලල. හොරා එලියෙ, අර මිනිස්සු දෙන්න ඇතුලෙ! ඔන්න නීති.

    ReplyDelete
  12. පිස්සා පලාමල්ල - ඊ ලඟට ඔය රේස් කේස් ඇදෙන්නත් පුළුවන් මේ යන විදිහට. කොල්ලකන සමහර කඩවල් මෙහෙට සංක්‍රමණය වෙච්ච අයගේ කඩවල්. ඒ මිනිස්සු ඉවසන්න බැරි තැන නීතිය අතට ගත්තොත් මේක මීට වඩා දරුණු තත්වයක් ඇති වෙන්න තියෙනව.

    ReplyDelete
  13. blog gadol - මේක තමයි යුරෝපයේ ආශ්චර්ය!

    ReplyDelete
  14. පිස්සු පූසා - තව මරු නීති තියෙනව. පාරේ යද්දී ගැබිණි මාතාවකට චු කරන්න ඕනෙ උනොත්, පාරේ ඉන්න පොලිස් නිළධාරියෙකුගේ හැට් එක ඉල්ලන්න පුළුවන් ඒකට චු කරන්න. එහෙම ඉල්ලුවොත් පොලිසියෙන් ඒ මනුස්සයට තමන්ගේ හැට් එක දෙන්න බැඳී ඉන්නව. ඉල ඇදෙනව මේව ඇහුවම .

    ReplyDelete
  15. හිස් අහස - මෙහෙ පොලිසිය දෙය්යන්නාන්සේටඋනත් නීතිය ක්‍රියාත්මක කරනව. හැබැයි ඉතින් නීතිය අංජ බජල් එක තමයි ප්‍රශ්නෙ.

    ReplyDelete
  16. ItalyDilan - අන්න එහෙමනෙ පොලිසි ඉන්ඩ ඕනෙ!

    ReplyDelete
  17. පොඩි - මේ දවස් වල කොහොමත් රෑට එලියට යන්නේ නෑ. මේ පිස්සුව කවද ඉවර වෙයි ද දන්නෑ. ඊයේ මැන්චෙස්ටර් වලත් කඩවල් කොල්ල කාල!

    ReplyDelete
  18. බුද්ධි - ගොඩක් දෙනෙක් එහෙම තමයි. හැබැයි ඉතින් මහ එපා කරපු, ලෝකෙටත් නැති, තමන්ටත් නැති සෙට් එකක් ඉන්නව. ඒ අය තමා මේව කරන්නෙ.

    ReplyDelete
  19. මං ඉන්නෙ Alperton වල, අපේ පැත්තෙ නං එහෙමට කේස් තිබ්බෙ නෑ බං.. හැබැයි Ealing වල නං ලෙසටම ගේම ගියා.. බොලාට මුකුත් කරදරයක් අකරතැබ්බයක් නෑ නේද..??

    ReplyDelete
  20. බුරා - මෙහෙ නං තිබ්බෙ නෑ මචන්. මම ඉරිද Enfield පහු කරගෙන ආව. ඒ එද්දි තමයි එතන කට්ටිය සෙට් වෙවී තිබ්බෙ. තව ටිකක් පරක්කු උනා නං අපිත් ඒකට අහු වෙනව.

    ReplyDelete
  21. යමල්ලා සෙට් එකම ලන්ඩන්... බලාගෙන ගියාම හොරුන්ට කියාපු නීති නෙව තියෙන්නෙ.. ගෙවල් අයිතිකාරයගෙ බඩු සේරටම ගේම දීල මදි පාඩුවට ඕනෙ නම් ඌට නඩුවකුත් දාල දත නියව නියව චූන් එකේ ඉන්න බැරිය.

    ReplyDelete
  22. ආයෙත් අහල! ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ කියනවනෙ.මෙහෙත් ඔය මානව අයිතිවාසිකම්, පුද්ගල නිදහස සම්බන්ද නීති ඕනෑවට වඩා දුර ගිහිල්ල.
    මමත් මේ බැලුවෙ ප්‍රොෆෙෂනල් හොරෙක් විදිහට ජොබ් එක මාරු කරන්ඩ!

    ReplyDelete
  23. එතකොට ඇයි දන්නෑ දැන් යූ කේ සංචාරය කිරීමට නුසුදුසුයි කියලා අපේ රටෙන් නිවේදනයක් නොකරන්නෙ. මතකනෙ අපිට කෙලවෙන කොට එයාලා මොකද කලේ කියලා?

    ReplyDelete
  24. මුහුදු කොල්ල කාරය ගොඩ වැඩ වලට චුට්ටක් විතර බයය් වගෙ.....

    ReplyDelete
  25. හොරුන්ගේ රටක්දැ හොරුන්ට ඕනි විදියට නීති තියෙන්නේ......

    අදමයි මේ දිනපොත බැලුවේ මතක හැටියට. ඕන් අනුන්ගේ දිනපොත් හොරෙන් බලන්ට හොඳ නැති නිසා ආපු එකේ කියලම ගියා...... :)

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!