Tuesday 4 October 2011

සල්ලි දී ගල් බැලීම.....

පහුගිය දවසක මගෙ අපාය සහායක මිත්‍රයෙකුගෙන් එනව කෝල් එකක්.
"මචන් උඹ වීක්එන්ඩ්  එකේ මොනවද කරන්නෙ?"
"දැනට මුකුත් ප්ලෑන් එකක් නෑ මචන්. ඔය කඩේ යන ගෙවල් අස් පස් කරන වගේ එව්ව තමා තියෙන්නෙ"
"උඹ නිකන් බැඳපු එකෙක් වගේනෙ බන් කතාව !"
"ඇයි බොලාගේ ගෙදර අස් පස් කරල දෙන්නෙ පොලිසියෙන්ද.....?? "
"හරි හරි බන්, ඒක නෙවේ, වීක් එන්ඩ් එකේ මොනව හරි කරමු "
"මොනවද ඉතින් කරන්නෙ? "
"අර රොබින් හුඩ් එකේ පෙන්නපු ගල් බලන්න යමුද? "
"සල්ලි දීල ගල් බලන්න? බොලා වගේ යාළුවො ඉන්නකන් අපිට හතුරො ඕනෙ නෑ.....!!!! "

ඔන්න ඉතින් ඔහොම තමයි අපි සල්ලි දීල ගල් බලන්න යන්න සෙට් උනේ. දුරු කතර ගෙවාගෙන බලන්න ගියපු ඒවයෙ පින්තුර තමා ඔය පහල තියෙන්නෙ.


මේ තියෙන්නෙ Stonehenge. මේක තියෙන්නෙ එංගලන්තෙ සොල්ස්බරි කියන නගරේ. රොබින් හුඩ් කතා මාලාව බලපු අයට නං මේක මතක ඇති. මේක හදල තියෙන්නෙ මිට අවුරුදු 5000 කට විතර කලින්. නමුත් අද වෙනකන් කවුරුත් හරියටම දන්නෙ නෑ මේක හදපු එකේ පරමාර්ථය මොකක්ද කියන එක.  මේව ටොන් ගණනක් බර පාෂාණ. මේ විදිහේ පාෂාණ මේ නගර කිට්ටුවෙන් හොයා ගන්න නෑ. ඒ කියන්නෙ මේක හදපු අය මේ පාෂාණ කොහේ හරි ඉඳන් මෙතනට ගෙනල්ල තියෙනව. ඒ විතරක් නෙවෙයි. ඒව මේ විදිහට හැඩතල වලට කපල, කෙලින් හිටවලත් තියෙනව. දැන් කාලෙ වගේ  දොඹකර, බැකෝ යන්ත්‍ර, ඉංජිනේරුවන් නැතිව මේ වගේ දෙයක් අවුරුදු 5000 කට කලින් කලේ කොහොමද කියන එක ගැටළුවක්. අද මේ නටබුන් වටේම පැතිරිලා තියෙන්නෙ තැනිතලා මිටියාවතක් උනත්, ඒ කාලෙ මේක පයින් ගස් බහුල වනාන්තර ප්‍රදේශයක් ව තිබුණු බව තමයි අපිට එතැනදී කියපු විස්තර වල තිබ්බෙ.
තවත් දෙයක්. අද මේ අපි දකින ස්ටෝන් හෙන්ජ් එක නෙවෙයි මෙතන මුලින් ම හැදිලා තියෙන්නෙ. මුලින් තිබිල තියෙන්නෙ දැව වලින් නිර්මාණය උන ව්‍යුහයක්. පස්සේ ඒක නිල් පාෂාණ වලින් නිර්මාණය වෙලා තියෙනව. ඊටත් පස්සෙ තමයි මේ අද අපි දකින නටබුන් වුන නිර්මාණය හැදිල තියෙන්නෙ.  ඔය අවධි තුන ගතවෙන්න අවුරුදු 700 කට විතර කිට්ටු කාලයක් ගත වෙලා තියෙනව. මේ ගොඩනැගිල්ලෙ තියෙන එක විශේෂත්වයක් තමයි එක හරියට කැලැන්ඩරයක් වගේ වැඩකිරීම.  ශීත ඉර්තුවේ එන දහවල කෙටිම දවසෙ ඉර පායන්නෙ හරියටම මේකෙ එක ආරුක්කුවක මැද්දෙන්. ගිම්හාන ඉර්තුවේ දහවල දිගම දවසෙ ඉර පායන කෙලින් තියෙන තවත් ආරුක්කුවක් තියෙනව. 

මේ ගල් කුළුණු මේ වගේ හැඩතලයන් වලට කපල තියෙන්නෙ තවත් පාෂාණ වලින් හදාගත්තු බොහොම ප්‍රාථමික මෙවලම් වලින් පහර දීල. සෑහෙන මිනිස් ශ්‍රමයක් මේ වෙනුවෙන් වැය වෙන්න ඇති. මේ අවට කැනීම් වලින් ඒ දවස් වල සෑහෙන පිරිසක් මේ අවට ලැගුම්ගෙන හිටිය කියල හොයාගෙන තියෙනව. ඒ වගේම තමයි මේ නගරේ පුරා විසිරුණු පුරාණ සුසාන භූමි තියෙනව. තැනින් තැන තියෙන පස් කඳු වගේ ඒව අදටත් දැකගන්න පුළුවන්. මේ මිහිදන් කිරීම් වල අමුතු ලක්ෂණයක් තමයි, එකම පවුලේ කට්ටිය ඔක්කොම එකම තැනක මිහිදන් කිරීම. ඒ වගේම සමහර වලවල් තුලින්, පසුව ඒ වලවල් වලට එකතු කෙරුණු, සිරුරු වගේම, අශ්වයො, බල්ලො වගේ සත්තුත් හම්බවෙලා තියෙනව.

ස්ටෝන්හේන්ජ් එක නරඹන්න එන ජනකාය. මේක වැඩිවෙන්නෙ ගිම්හානයේ දිගම දවස ( Summer Solstice ) සහ ශිතයේ කෙටිම දවස ( Winter Solstice ) දවස් වලට.

පාෂාණ බාල්කයට සවිවෙන්න කණුවක් මුදුනේ කපපු උලක් සහ කණුවේ වහල ඉන්න ස්ටාලින්ග් කුරුල්ලෙක්. ( ඌ රුසියානු දේශපාලනයට කොහෙත්ම සම්බන්ධ නැත! )




ඒ දවස් වල ඔය පාෂාණ කුට්ටි ගෙනාවයි කියන්නෙ මෙන්න මේ වගේ ඇලවල් දිගේ. ඔය කිව්වට මට නං ඕක පොඩ්ඩක්වත් විස්වාස නෑ!. මේ වගේ පොඩි ඇලකින් කොහොමද අච්චර ලොකු ගල් කුට්ටි ගේන්නෙ? හැබැයි අවුරුදු 5000 කට විතර කලින් මේව ලොකු ගංගාවල් වෙලා තිබ්බද දන්නෙ නෑ . සමහර ඇලවල් ඔවුන් තාම හඳුන්වන්නෙ ගංගාවල් විදිහට. සොල්ස්බරි නගරය පුරාම මේ වගේ ඇලවල් දකින්න පුළුවන්. ඒක හරිම ලස්සන මධ්‍යතන යුගයේ ඉඳන් එන නගරයක්. තාමත් නගරේ ඒ ගතිය ටිකක් තියෙනව.ඒ ගෙනාපුව ඊට පස්සෙ කොටන් උඩින් දැන් තියෙන තැනට තල්ලු කරගෙන ගියාලු. මට ඒ කතාවත් සත පහක් වත් විස්වාස නෑ. මේ ඇලවල් තියෙන හරියේ ඉඳන් Stonehenge  එක තියෙන හරියට සෑහෙන දුරයි. අනික සැහෙන්න කඳු. ඉතින් කොහෙද මේව තල්ලු කරන්නෙ? හැබැයි ඉතින් ඒ කාලෙ මිනිස්සුන්ට බ්ලොග් ලියන්න, බ්ලොග් බලන්න, ෆේස් බුක් බලන්න, ටි.වී. බලන්න වගේ වැඩ තිබ්බෙ නැති නිසා සමහරවිට කම්මැලි කමටත් එක්ක කරන්ඩ ඇති. දැන් ඉන්න සුද්දො මේවයෙ විස්තර කියන්නෙ හරියට බලාගෙන හිටිය වගේ! 


දැන්නං මේ ඇලවල් වල ඉන්නෙ මේ ගොල්ලො!. හරිම ලස්සනයි.

38 comments:

  1. නියම ගල් ටික.....හෙහ්...හෙහ්...

    වටිනා පෝස්ට් එකක්

    ReplyDelete
  2. අනේ හරිම ලස්සන තැනක්. අපාය සහායක මිත්‍රයාට ස්තූතී කරන්ට ඕනි කරලා තියෙන උදව්වට.

    විස්තරෙත්, පින්තූරු ටිකත් ඒ වගේමයි. හරියට වටිනවා. දන්නවා නම්, අර යුරෝපේ සංචාරය කරන ගමන් ස්ටෝන්හේන්ජ් බලන්ට ඔය පැත්තෙන් එන්ට තිබුනා.

    ඔය ගියයි කියන උදවියගේ රූප පින්තූරුවල පේන්ට නෑනේද? පින්තූරු අරං තියන කැමරාවත් නරක නෑ.අන්තිමට කැමරාවට අහුවෙලා තියන කට්ටියත් හරිම ලස්සනයි...:D

    ReplyDelete
  3. ඔය ගල් ගැන කතන්දරේ කිව්වාට බොහොම ස්තූතියි... මරු ගල් ටික!

    ReplyDelete
  4. සල්ලි දීලා බැලුව උනත් නියමයිනේ බං. මෙහේ ගල් වගේද බලපංකෝ.... තනි කෙලින් දිලිසෙන හැටි....

    මං හිතන්නේ ලංකාවේ හා අනෙකුත් රටවලත් ඔය කියලාකාලේ වෙද්දී අපි නොදන්න හෝ අපිට මග හැරිච්චි තාක්ෂනයක් භාවිතා වෙන්න ඇති....

    ReplyDelete
  5. මුහුදු කොල්ලකාරයා ගොඩබිම සංචාරෙක ගිහින් වගේ..

    ReplyDelete
  6. සල්ලි දීලා ගල් බලල කට්ටියත් එක්ක බෙදාගත්ත එක කොච්චර දෙයක්ද? මාත් ඕවා දැක්කොත් කාටහරි පෙන්නනවා...:)

    ReplyDelete
  7. අඩේ මරු බන් , රොබින් හුඩ් එකේ මේක පෙන්නන්නෙ අහස කලු කරල විදුලි කොටන වෙලාවටනෙ, මේ පින්තූර දැක්කම පෙන්නෙ ඊට වෙනස් විදියකට, ඔය පලාත ටිකක් ගල් කැටයම් වලට පොශ් වැඩී වගේ බන් :)

    ReplyDelete
  8. මේ ගැන මමත් කරුණු වගයක් කියෙව්වා. ඒ ගැනත් කියන්න කැමැතියි. දැන් වෙලා නෑ දෙවෙනි පාර ඇවිල්ලා මේක කියෝලාම දාන්නම්...

    ReplyDelete
  9. observer - කියල වැඩක් නෑ. මරේ මරු! ;)

    ReplyDelete
  10. පොඩ්ඩි - ගියපු කට්ටිය නං පින්තුර වල නෑ. අපේ ෆොටෝ ගන්ඩ කවුරුත් හිටියෙ නෑ. :D

    ReplyDelete
  11. විසිතුරු - විසිතුරු ගල් ටිකක්...!!!

    ReplyDelete
  12. prasanna86k - මටත් හිතෙන්නෙ ඒ කාලේ මිනිස්සු අපි හිතනවට වඩා දියුණුයි කියල.

    ReplyDelete
  13. පිණිබිඳු - සංචාරය කරන්න ගත්තම මට ගොඩබිම, මූද කියල වෙනසක් නැතුව සංචාරය කරනව.:)

    ReplyDelete
  14. රාජ් - පෙනන්න පෙන්නන්න. පෙන්නන්නනේ දාල තියෙන්නෙ ;)

    ReplyDelete
  15. ගුණේ - මේ ගල් වල තියෙන කැටයම් දැක්කනං........

    ReplyDelete
  16. බුද්ධි - ලියන්න ලියන්න අපිටත් කියවන්ඩ.

    ReplyDelete
  17. ඔය ගල් ගැන මමත් වාර්ථා වැඩසටහනක් බැළුවා.. ඒකේනම් කිය උනේ පිටසක්වලත් එක්ක සමහරවිට මේකේ සම්බන්දයක් තියෙනවා කියලා.. ඒත් ඉතින් ඒක සනාත් කරන්න සක්කි නෑ...කොහොම උනත් බලන්න වටින තැනක්...

    ReplyDelete
  18. ඔන්න මන් ආසම වර්ගයේ පොස්ට් එකක් . යාලුවට ස්තුති කළා කියන්න . ලස්සන පළාතක්නේ. අර කිව්වා වගේ අපිට වගේ වෙන වැඩ නැති කාලේ අහක තියෙන ගල් ගොඩක් උස්සන් එන්නත් එයාලට වෙලාව තිබිලා . මොකක් හරි උවමනාවකට ගෙන්න ඇති නේද.

    ReplyDelete
  19. Dinesh - ඔව් ඔව් ඔය වාර්තා වැඩසටහන් හදන ගොඩක් කට්ටියට ඔය අතීතෙ හදපු මහා යෝධ නිර්මාණ ඔක්කොම ඒලියන්ස්ලගේ වැඩ. ඔය වගේ වැඩසටහනකදී එක ඉතිහාසග්ඥයෙක් කිව්ව, අපි හිතන් ඉන්නෙ ඉස්සර හිටපු මිනිස්සු මෝඩයො කියල. හැබැයි ඔවුන් මෝඩයො නං නෙවෙයි කියල. බලල තියෙනවද Ancient Alien Theory එක ගැන හිස්ට්‍රි චැනල් එකේ ගියපු වාර්තා වැඩසටහන්? යු ටියුබ් එකේ සර්ච් පාරක් දාල බලන්න. ලොකු සිරිස් එකක්. ඒකෙ ගොඩක් කියන්නෙ පෘතුවිය මත තියෙන ගොඩක් අයිතිහාසික ගොඩනැගීම් පිටසක්වල ජීවීන්ගේ වැඩ කියල. මම නං සත පහක් වත් විස්වාස කරන්නෙ නෑ.

    ReplyDelete
  20. Bindi - වෙන වැඩක් නැති එකේ නිකන් කම්මැලිකම යන්නත් එක්ක උස්සන් එන්න ඇති! :D

    ReplyDelete
  21. මුහුදු,
    ලොකු දෙයක් නෙමේ මට කියන්න තියෙන්නෙ.

    මම දන්න විදිහට ඔය ස්ථානය මීට අවුරුදු 5000කට කලින් පාවිච්චි කරලා තියෙන්නෙ සක්වලා යානා නැවතුම් පොලක් විදිහට.

    ඔයා කියපු දේවලුත් එක්ක හිතල බලන්න. ඕවා අපේ දැනට තියෙන නූතන තාක්ෂණයෙන් කරන්න ගියත් අඩුම ගානේ අවුරුදු බර ගණනාවක් යනවලු ඔය විදිහට හදන්න.

    මීට අවුරුදු 5000 කට එපිටින් පෘතුවිය සක්වල ජීවින්ගෙ පර්යේෂනාගාරයක්ව තියෙද්දි ඒ කට්ටිය සක්වල යානාවල තියෙන උප යානා ගොඩබස්සන්න ඔය තැන යොදා ගත්තලු. ඒ ගොල්ලන්ගෙ අවශ්‍යතාවය මත ඒ ගොල්ලන්ගෙ තාක්ෂණයෙන් තමා ඔතන ගොඩනැගුනා කියන්නෙ. මේ ගැන තව විස්තර ගොඩක් අන්තර්ජාලයෙනුත් හොයාගත්තැකි.

    ReplyDelete
  22. බුද්ධි - ඔව්, ගොඩක් මේ වගේ විශ්මිත නිර්මාණ ඔය වාර්තා වැඩසටහන් කාරයොන්ට නං පිටසක්වල ජීවින්ගෙ වැඩ. මම නං ඔය තියරි පිළිගන්න අකමැතියි. අර මම උඩ දිනේෂ් ට කියල තියෙන වාර්තා වැඩසටහන් ටික බලන්න. හැබැයි ඔය සමහර පුරාවිද්‍යාත්මක දේවල් කියල පෙන්නන පොඩි භාණ්ඩ වගේ ඒවා බොරුවට ඔය තියරි ගැන කියන 'විද්වතුන්ම' හදපු ඒව කියල එලි වෙලා තියෙනව. වෙලාවක හිතුනොත් ඒ ගැනත් පොස්ට් එකක් ලියන්ඩ ඕනෙ. ඔන්න මම අනික් ලිපි වල කිව්ව එව්වටත් උත්තර ලිව්ව. :)

    ReplyDelete
  23. මතකද ඔය ස්ටෝන් හෙන්ජ් එක කම්පියුටර් වෝල් පේපර් එකක් හැටියටත් ආවා

    මොනව වුණත් හොඳ යාලුවෙක් ගේ හොඳ අදහසක් .ලස්සන පෝස්ට් එකක්.රොබින් හූඩ් එකේ අවසාන හරියේ රොබින්ට මොනව හරි ගුප්ත දෙයක් වෙනව නේද මේ ස්ටෝන් හෙන්ජ් එක ගාවදී ?

    ReplyDelete
  24. TG - රොබින් හුඩ් සීසන් 1 එක ඉවර උනාම අර කළු කොන්ඩෙ තිබ්බ රොබින් මැරිල බ්ලොන්ඩ් කොන්ඩෙ තියෙන කෙනා එන්නෙ මේක ගාව නේද? ඉස්සරකාලේ නං මේවයෙ ලඟට ගිහින් අල්ලලා බලන්නත් පුළුවන් ලු. දැන් ඈත ඉඳන් බලන්න විතරයි පුළුවන්.

    ReplyDelete
  25. පළවෙනි රොබින් තමා මට මතන හැටියට මුලින්ම මේක ගාවට එන්නෙ. මැරියන්ගෙ පිටට ඊතලයක් වැදිලා මැරියන් මැරෙන්න යද්දි එක්කන් එන්නෙ මෙතෙන්ට.....

    ReplyDelete
  26. බුද්ධි - ආ එවෙලාවෙත් එන්නේ මෙතෙන්ට තමා. මේක කීප පාරක්ම පෙන්නනව මම හිතන්නෙ. හිටපු ගමන් ඝන දුමක් මැද්දෙන් හර්න් මතු වෙනවත් පෙන්නනව මේක ගාව ඉඳන්.

    ReplyDelete
  27. පිරමීඩ හැදුවෙ කොහොමද ? ඒ තාක්ශනය අදටත් අභිරහසක්... මේකත් ඒ වගේ වෙන්න ඕනි.... ශා සල්ලි දුන්නට පාඩු නෑ මෙහෙම ගල් බලන්න

    ReplyDelete
  28. පිස්සාපලාමල්ල - මම වාර්තා වැඩසටහනකින් දැකපු දෙයක් මේ. ඔය පිරමිඩ තියෙන කිට්ටුව තියෙනව කවුරුත් වැඩිය දන්නෙ නැති, වැඩිය ප්‍රසිද්ද නැති පිරමිඩයක්. ඒකට කියන්නෙ බෙන්ට් පිරමිඩ් කියල. ඒක ටිකක් ඇද ගහපු එකක්. ඒකයි එහෙම කියන්නෙ. ඒක කවුරුහරි පිරමිඩ් එකක් හදන්න පටන් අරන් වැරදිලා අත ඇරල දාපු එකක්. ඒ පිරමිඩ් එක අපි දන්නා පිරමිඩ් තුනට වඩා පරණයි. එතකොට ඔය පිරමිඩ් වල පාදමේ තියෙන්නෙ වන්කගිරියක්. ඒ දවස් වල මිසරයේ අගනුවර තිබ්බ හරියෙ අදත් නටබුන් තියෙනව ඒ වගේ පාදමක් හදපු එකක. වැඩිය බිත්ති උසට නග්ගල නෑ. ඒක ඔය පිරමිඩ් ඔක්කොටම වඩා පරණයි. ඊට ටිකක් එහායින් තියෙනව ඒ වගේම එකක් හැබැයි ටිකක් බිත්ති උසට නග්ගල. ඒක පිරමිඩ් වලට වඩා පරණයි හැබැයි අර කලින් කිව්වා වංකගිරියට වඩා අලුත්. ඒ කියන්නෙ මේ පිරමිඩ් හදපු තාක්ෂනේ එක පාරට පිටින් ආවෙ නෑ. ඒක ක්‍රමානුකූලව ඒ ශිෂ්ඨාචාරය තුලින්ම ගොඩ නැගුනු එකක්.

    අපොයි පාඩුවක් උනේ නෑ තමා! ;D

    ReplyDelete
  29. බොහොම අපූරු විස්තරේ. ලොකයේ නොදු‍ටු දේ ගැන විස්තර කියවන්න අපි හැමෝම කැමතියිනෙ. හරි ලස්සන තැනක්

    ReplyDelete
  30. විස්තරෙත් හරිම ලස්සනයි, මම නම් කැමති අන්තිම පිංතූර දෙකට.....

    ReplyDelete
  31. //අර කළු කොන්ඩෙ තිබ්බ රොබින් මැරිල බ්ලොන්ඩ් කොන්ඩෙ තියෙන කෙනා//

    මේ කතා කරන්නේ Jason Connery ගැනද?

    "Robin of Sherwood" ගැනද?

    ReplyDelete
  32. රෝස කුමාරි - බොහොම ඉස්තුතියි.

    ReplyDelete
  33. නීතා - මුළු ටවුන් එක පුරාම ඔය වගේ ඇලවල් තියෙනව. වැඩිය ගැඹුරු නෑ. අඩි දෙක තුනක් ගැඹුරු ඇති වැඩිම උනොත්. වතුර හරිම පැහැදිලියි.

    ReplyDelete
  34. Samanalee - මම කිව්වේ Michael Praed අයින් වෙලා Jason Connery එන තැන.

    ReplyDelete
  35. එංගලන්තෙ ගල් හරිම ලොකුයි නෙව. ඔය හැඩේට කපන්න සෑහෙන්න මහන්සි වෙන්න ඇති. ;)

    ඔය වගේම තමා ඊස්ටර් අයිලන්ඩ්, සුස්කෝ, ඔලැන්ටෙයාබෝ, මචු පිචු... ඔක්කොම සමකාලීන ඒත් ඇයි කියල නොදන්න ගල් වැඩ තමා.

    එක්කෝ ඒ දේවල් ආගමික ස්මාරක, එහෙමත් නැත්නම්... ?

    ඔතනට එලියන්ස් තියරිය දාන්න අකමැති, ආලෝක වර්ෂ මිලියන ගානක් ගෙවාගෙන හරි, වෙනත් ම මානයක ඉඳල හරි එහෙමත් නැත්නම් වර්ම් හෝල් එකක් හරහා හරි එහෙමත් නැත්නම් තවමත් සංකල්පයක් විදියට හරි ගොඩනැඟිල නැති ක්‍රමයක් භාවිතා කරපු ජීවීන් ගල් වගේ ප්‍රාථමික දේවල් ඔවුන්ගේ නවාතැන් පොලවල් හෝ මඟ සලකුණු සඳහා යොදාගත්තෙ ඇයි කියන දේ හැමතිස්සෙම හිතට එන නිසා.

    ReplyDelete
  36. මේ වගේ යාළුවොනම් ඕනෙම නැහැ...
    බලන්නකෝ කොල්ලකාරයට කරලා තියෙන වැඩක් ගල් පෙන්නන්න එක්ක ගිහින්....

    පිරමීඩ(ඊජිප්තු සහ මායා) සහ ඒ ඝනයේ ලා සළකන(සමකාලින) විශිෂ්ට නිර්මාණ එක්ක ගත්තම මේ නිර්මාණය නිකන් සෙල්ලම් බඩුවක් වගේ කියලා තමයි මට හිතෙන්නේ.
    Ancient Aliens කියන වීඩියෝ සීරියස් එක බැලුවනම් ඒකේ පෙන්නන අනිකුත් නිර්මාණ එක්ක මේක සංසන්දනය කරලා බලන්න පුළුවන්. එතකොට තේරෙනවා මේකට හිමි තැන මොකක්ද කියලා.

    (ඒ වීඩියෝ එකෙත් කියන්න හදන්නේ ඒවා හදන්න පිටසක්වල ජීවින් උදව් කළා කියල තමයි, ඒ වගේම බයිබල් කතාත් ගොඩයි. ඒ වුනාට ඒ කතාවල් පිළිගන්නවානම් පිළිගෙන බැහැර කරනවානම් බැහැර කරලා ඒකේ පෙන්නන පැරණි තාක්ෂනය ගැන දැන ගන්න එක ගොඩක් වැදගත්)

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!