Wednesday 15 June 2011

කව්ද යකෝ හූ කිව්වෙ ???

ඕනම කොල්ලෙක්ගෙ ජිවිතේ කාලයක් එනව අතේ පයේ හිරි ඇරගන්නෙ නැතුව නින්ද යන්නෙ නැති. ඕක වැඩියෙන්ම එන්නේ A/L කරන කාලෙට. ඒ කාලෙට ඉතින් අපිට උඩින් ගියොත් යන්නෙ ඔය කපුටෙක්, උකුස්සෙක් වගේ එකෙක් තමයි. මොකද අපිනේ ඉස්කොලෙටම අයියල. ඉතින් අයියල උනාම ඇවිදින්නෙත් අඩියක් විතර උඩින්. මුහුදු කොල්ලකාරයත් ඉතින් ඔය වගේ 'අයිය' කෙනෙක් කාලේ සෙනසුරාද දවසක පන්ති යන්න සෙට් වෙලා, දවල් පිටකොටුවට ඇවිත් ඉන්නව පන්ති යන්ඩ. මම එදා වෙනදට වැඩිය ටිකක් පරක්කු වෙලා තිබ්බෙ. ක්ලාස් එක තිබ්බෙ නුගේගොඩ රොටරියෙ. ඕකට අපේ ගෙවල් පැත්තේ ඉඳන් යන මගේ පංතියෙම තව යාළුවො කීප දෙනෙක් හිටිය.
 'මොනවද යකෝ අව්වෙ ඉඳන් බඩු බලන්නෙ?'
බස් එකක් එනකන් බෙල්ල දික් කර කර හිටපු මට පිටි පස්සෙන් කවුද මන්ද එහෙම කියනව ඇහිලා මම හැරිල බැලුව. බලද්දී චන්නයයි, හසිතයයි. උන්
දෙන්නත් ඉස්කෝලෙ මගේ පන්තියෙමයි, උනුත් මේ මම යන ක්ලාස් එකටම යන ගමන්.
'මම බලපු බඩුවක් නෑ යකෝ, කවදාවත් නැතුව අද නුගේගොඩ යන්ඩ බස් එකක් නෑ. දැන් පරක්කුත් වෙනව ක්ලාස් යන්ඩ'
'අනේ පල පල. අපි දන්නැද්ද උඹේ හැටි'
'අන්න යන්තන් බස් එකක් එනව. වරෙන් යන්ඩ.'
අපේ වෙලාවට බස් එකක් ආව. කට්ටිය දඩිබිඩියේ බස් එකට නැගල යන්තන් නුගේගොඩට ආව ක්ලාස් එක පටන් ගන්න කලින්. අපි නුගේගොඩ හන්දියෙන් බැහැල, සරසවිය ගාවින් උඩහට තියෙන පාරෙ උඩහට ගිහින් රොටරියට යන පාරට හැරුන. ඔය පාර තාප්ප දෙකක් මැදින් වැටුණු, එක වාහනේකට විතරක් යන්ඩ තරන් පළල පාරක්. තාමත් ඒක එහෙමද දන්නෑ. ඈත ත්‍රි වීල් එකක් එනව දැකපු අපි පාරෙ පැත්තකට වෙලා පෝලිමට යනව. ඉස්සරහින් ම චන්න, ඊට පස්සෙ හසිත, ඊට පස්සෙ මම. කට්ට අව්ව නිසා හසිතය කැප් එකකුත් දාගෙන ගියෙ. පාරෙ දුවිලි අවුස්සගෙන, කඩාගෙන ආපු ත්‍රි වීල් ඒක අපිව පහු කරනවත් එක්කම ඒකෙන් අතක් එලියට එනව මම දැක්ක. ඒක කෙලින්ම ගියෙ හසිතයගෙ තොප්පියට. හැබැයි හසිතය ඊට කලින් ඉස්සර උනා. ඌ පටස් ගාල කැප් එක අල්ල ගත්ත. ත්‍රි වීල් එකේ එකාට කැප් එක මිස් උනා.
හසිතය ටක් ගාල පිටිපස්ස හැරිල පහුකරගෙන යන ත්‍රි වීල් එකට කෑ ගැහුව.
'ආ ඇයි ඇයී..?? මොකෝ..???'
'බරාස්...!!!'
හසිතය කියල කට ගන්නවත් එක්කම ත්‍රි වීල් එක බ්රේක් ගහල නැවැත්තුව. මෙන්න යකෝ ඒකෙන් කොල්ලො තුන් දෙනෙක් බැහැල ඇවිත් හසිතයව වටකරගත්ත. උන් තුන් දෙනාම මටයි හසිතයටයි වැඩිය කොටයි. හැබැයි ඇඟේ සයිස් එකට නෙවෙයි කතාව. හසිතයත් කොහොමත් ටිකක් වලියට බරයි. චන්නය නං අහිංසක එකා. ඌ ඈතට වෙලා මේ මොනවද වෙන්න යන්නෙ කියල කට ඇරන් බලන් ඉන්නව.
'මොකද අඩෝ සද්දේ දාන්නෙ ?' එක පොරක් හසිතයට සත්තමක් දැම්ම. මමත් අඩියට දෙකට කිට්ටු කරා සීන් එකට. හප්පේ වලියක් මෙහෙම දෙය්යො ගෙදරටම ගෙනත් දුන්නම දාල යන්නෙ මොන හිතකින්ද?
'ඇයි උඹලට අත පය විසි කරන්නෙ නැතුව ත්‍රි වීල් වල යන්ඩ බැරිද?'
'මේක අපේ ඒරියා එක ඩෝ!'
'අපිට කොහෙත් එකයි ඩෝ' හසිතයත් අතාරින්නෙ නෑ. අපි ඉතින් කොහොමත් අතින් පයින් වලට වඩා කටින් ගහගන්න දක්ෂයි නෙ.
හැබැයි ඒ එක්කම ඒක අතින් පයින් යන වලියකට හැරුන. එකෙක් පැනල හසිතයට ගහන්න ගියා. මමත් මැද්දට පැනල අත පය විසි කරන්ඩ ගත්ත. චන්නය හුරේ කියල රොටරිය පැත්තට රන් එක දෙනව මම යන්තමට දැක්ක. උන් තුන් දෙනෙක් හිටියත් මමයි හසිතයයි උන්ට වඩා ලොකු නිසා අවුලක් උනේ නෑ. උන්ව තාප්පෙට හේත්තු කරල  චට පට ගාල අපි දැන් නෙලනව.  වැඩේ දෙල් වීගෙන එනව කියල උන් තුන් දෙනාට මීටර් උනා. උන් දඩ බඩ ගාල ගිහිල්ල ත්‍රි වීල් එකට නැගල පාගල ගියා. පාරෙ ක්ලාස් යන එවුන් තක්බීර් වෙලා බලන් ඉන්නව. මමයි හසිතයයි, වීරයො දෙන්න වගේ දැන් පොත් ටිකත් අහුලගෙන, ෂර්ට් එහෙම හදාගෙන දැන් රොටරිය දිහාට යනව. චන්නය ගිහිල්ල අපේ එවුන්ට නිව්ස් එක දීල උන් ටික රොටරියෙ ඉස්සරහට දුවගෙන එනව මම දැක්ක. එතකොටම තමයි මට අපේ පස්සෙන් එන ත්‍රි වීල් එකක සද්දෙ ආයෙම ඇහුනේ. අරුන් ටික හරවගෙන ආයෙම ඇවිත්.
' අඩෝ අපි පස්සෙ බලාගමු' ස්ලෝ කරල අපිව පහු කරල යන ගමන් එකෙක් ඔලුව එලියට දාල කෑ ගැහුව.
'මොනවද මිනිහෝ පස්සෙ? කොන්දක් තියෙනවනන් වරෙන් දැන්!'
ත්‍රි වීල් එක රොටරියෙ ගේට්ටුව පහු කරනවත් එක්කම ගේට්ටුව ළඟ හිටපු අපේ එවුන් දුන්න හුවක් පලාතම දෙදරන්ඩ. මමයි හසිතයයිත් අත අරින්නෙ නැතුව උන්ට සප් එක දුන්න. අනේ ඊට පස්සෙ වෙන්ඩ තිබ්බ දේවල් අපි දැනගෙන හිටිය නං.......

ගේට්ටුව ගාව හිටපු එවුන් අහනවා 'මොකෝ උනේ, මොකෝ උනේ?' ගගා. අපි දෙන්නත් ඉතින් ලුණු ඇඹුල් ඇතිව කට්ටියට කතාව කියන ගමන් පන්තියට ගියා. ගිහිල්ල පොත් ටික දාල පන්තියෙන් එලියට ආව කාර්ඩ් මාක් කරන්ඩ. රොටරියෙ මිදුලේ කට කපල ළමයි පිරිල. මොකද ඒ වෙලාවෙ ගොඩක් ක්ලාස් පටන් ගන්නව. ඒ වෙලාවෙ ක්ලාස් ඇවිත් හිටපු දන්න කියන ඔක්කොම කොල්ලො දැන් අපෙන් සීන් එක අහනව.

ඔය වෙලාවෙ තමයි මම ඇඟ කිලි පොලා යන දර්ශනයක් දැක්කෙ. අර අපිට සත්තම දාපු කොටාල තුන් දෙනා ගේට්ටුව ගාවට ඇවිත් අපිව හොයනව. හැබැයි දැන් උන් තනියම නෙවෙයි. තව හයේ හතරේ ඩයල් සෙට් එකක් ඉන්නව උන් එක්ක. මම උන්ව දකිද්දිම උන් මාවත් දැක්ක.  එකෙක් උගේ සෙට් එකට අපිව අතින් පෙන්නුව. දැන් උන්ටික එනව අපේ දිහාට. මමත් ගියා ඉස්සරහට. මොනවටද බය වෙන්නෙ? හමුදාවක් ආවත් ගහන්ඩ මේ කොල්ලො ඕනතරන් ඉන්නෙ (කරුමෙට මම හිතුවෙ එහෙමයි). එතන හිටපු උසම එකා ආව මගේ ඉස්සරහට. මට කොක්ක තිබුනෙ උන් එක්ක නෙවෙයි. අර ත්‍රි වීල් එකේ ගියපු එවුන් එක්ක. මම කිව්ව
'අපිට ප්‍රශ්නේ තියෙන්නේ උඹ.....'
කියන්න උනේ එච්චරයි.
'චටාස්!'
අරූ දුන්න පාරක් මගේ කන රත් වෙන්ඩ. රොටරියෙ මිදුලෙ තිබ්බ සද්දෙ එක පාරට නැවතුනා. දැන් හ්ම් සද්දයක් නෑ. ඔක්කොම මේක දිහා බලාගෙන.  මට යකා නැග්ග! ඇයි යකෝ මූ එක්ක හොඳට කතා කරන්ඩ ගියාම කට අරින්ඩත් කලින් නෙලුව නෙ.
'අඩෝ බලාගනින් උඹට දෙන්නේ....'
මම අරූව මරාගෙන මැරෙන්ඩ තරං කේන්තියෙන් ගහන්ඩ පැන්න. එතකොටම මට පිටිපස්සේ එවුන් ටික පැනල මාව අල්ලගත්ත. මුන්ට පිස්සුද? හැටිද? මට නෙලපු එකාට නෙලන්නෙ නැතුව මුන් මාව අල්ලන් දඟලනව. 'වරෙන් යන්ඩ මෙන්න මෙහෙ' මාව අල්ල ගත්ත එවුන් දෙන්න මාව පන්තියට ඇදගෙන ගියා. ඒ අස්සේ අපේ අනිත් එවුන් අරුන් එක්ක වලිය ශේප් කරන්ඩ හදනව. මුන්ට නම් ඇත්තටම පිස්සු.
'ලැජ්ජ නැද්ද බන් අරුන් එක්ක ශේප් වෙන්ඩ යන්නෙ? උන්ගෙ එවුන් නෙ මටයි හසිතයටයි ගහන්න ආවෙ.'
'තොට පිස්සුද?'
'මට නෙවෙයි උඹලට තමයි පිස්සු.'
'යකෝ උන් වත්තෙ එවුන්'
'මොන?'
'රොටරි වත්තෙ. ඕකුන් එක්ක වලියක් දාගන්නවට වඩා හොඳයි බෙල්ලෙ වැලක් දාගන්නව'
කොහොමහරි මාව පන්තියට ඇදන් ආපු එවුන් දෙන්න මාත් එක්ක ඔහොම කතා කරන අතරේ අනිත් එවුන් ටික වලිය ශේප් කරන්න දඟලල තියෙනව. එයින් එකෙක් තමයි බඩා. බඩා හැම එකා ගාවටම දුවල පැනල දැන් වලිය ශේප් කරන්ඩ දඟලනවලු. කලින් මම කිව්වනෙ අර ත්‍රි වීල් එක ආපහු රොටරිය පහු කරන් යන වෙලාවෙ අපේ එවුන් හූ කිව්ව කියල. බඩා තමයි වැඩියෙන්ම හූ කිව්වෙ. හූ කියල කියල උගේ උගුරත් රිදෙන්න අරන්ලු තිබ්බෙ. ඒ උනාට දැන් මූ තමයි සාම සාධක මෙහෙයුමේ ඉදිරියෙන්ම ඉන්නෙ. දැන් ඔන්න මූ ගිහින් අර සෙට් එකේ මරු මුස් ම පෙනුම තියෙන එකාගෙ කරට අතත් දාගෙන කතාවලු.
'මචන් ශේප් මචන්. අපේ එවුන් උඹල කවුද කියල දන්නෙ නැතුව තමයි ගහල තියෙන්නෙ. මීට පස්සේ ඒව වෙන්නෙ නෑ මචන්'
'හරි හරි, ඒක ප්‍රශ්නයක් නෑ. අපේ එවුන්ගෙත් වැරද්දක් තියෙනවනෙ. අපිට අවුල ගහපු එක නෙවෙයි'
'එහෙනං..?'
'කවුද යකෝ අපිට හූ කිව්වෙ????'
බඩාට චූ ගියෙ නැති ටික විතරයි!!

මතු සම්බන්දයි 
කව්ද යකෝ හු කිව්වේ ??? - 2 කොටස

12 comments:

  1. මාත් චන්න වගේ කෙනෙක්.
    වලියට බර නෑ, කවදාවක්!

    ReplyDelete
  2. අඩේ මටත් ඒක දැන් තමයි මතක් උනේ ගහපු එක අවුලක් නෑ හූ කියපු එක තමයි අවුල ..

    උඹලට කියන්න තිබ්බේ මෙහෙම .. "මචං හූ කියන්නේ ඉංග්‍රීසියෙන් කවුද කියන එක නේ "

    වලි කීවොත් නම් මමත් ඒකාලේ ඕන දෙයක් . කොහොම හරි ඔය වලි හින්දම ඔස්කෝලේ අවසාන වසර මම නැති කරගත්තා . ඉස්කෝලේ තහනම් කරගත්තා . දැන්නම් ඒවගේ මෝඩ වැඩ නොකරන තරම් .

    ReplyDelete
  3. කතන්දර - මම නම් ඒ කාලේ ඉතින් වලියටම තමයි. හැබැයි ඉතින් වැඩිපුර කයිය තමයි.

    සඳරු - ඕක වයසෙ වැරැද්ද. දැන් තමයි තේරෙන්නෙ ඒ කාලේ කොච්චර ගොන් වැඩ කරාද කියල.

    ReplyDelete
  4. කියෙව්වම තමයි මතක් වුනේ. රොටරිය කාලයක් අපිට තහනම් කලාපයක් වෙලා තිබේ.. ඒ නම් හැබැයි ඉස්කෝල් අතර යන වලි නිසා.. :D

    ReplyDelete
  5. අම්මප දැන් කාලේ හැදෙන එවුන්......ඕන් එකට අපි .....ඔය වයසෙදි බෝ පැළෑටි වගෙ

    ReplyDelete
  6. චූ ගියේ නැති ටික විතරයි කිව්වට... අනිවා යන් ඇති බං. කොහොමද චන්ඩියා වගේ වලියට ගියානම්...

    ReplyDelete
  7. ශ්‍රී - මේ ගියපු විදිහට අපිටත් එහෙමයි. ඊළඟ කොටසින් කියන්නන් ඊට පස්සේ මොකෝ උනේ කියල.

    Observer - අනේද කියන්නෙ? කාක බෝ වෙන්ඩ ඇති!

    prasanna86k - වෙන්ඩත් ඇති. කඳ බද මහතට තිබ්බට ඌ හරිම බයගුල්ල.

    ReplyDelete
  8. ඕක අපි රොටරියේ කට්ට කන කාලේත් තිබුනා.. හොඳ කතාවක් මතක් උනා.. පුලුවන් වෙලාවක ලියලා දාන්නං..

    ඊළඟ කොටසත් දාමු ඉක්මනටම

    ReplyDelete
  9. sameerausa - ඕක උනේ අපි රොටරි යන්ඩ පටන් ගත්ත අලුත. එතකොට ඔය වත්ත ගැන මුකුත් දන්නෙ නෑ. අර පරණ කතාවත් දාන්ඩ.

    ReplyDelete
  10. දැන් කාලේ චණ්ඩි නැහැ දුන්නනං ඉවරයි පස්සෙ ආපු සෙට් එකටත් ....
    අත උස්සන්න කලිං තමා කරන දෙයක් කරන්න තිබුනෙ, එකක් ගැහුවනං එතන හිටිය කොල්ලයි බල්ලයි සේරම ගහනවා ෂුවර්.

    ReplyDelete
  11. ඔය කාලෙ ඉතින් අහක යන වලි වලටත් අත දානවනෙ බන්... අන්තිමට වලිය දා ගත්තු උන් යාලුවෙල. අපි තරහ වෙලා.... පිස්සු ලෝකේ ඒ කාලෙ

    ReplyDelete
  12. පන්සල් හංදිය - උන්ටික රොටරි වත්තේ එවුන් කියල අපි නොදැනගෙන හිටියට ගොඩක් එවුන් දැනගෙන හිටිය. එකයි උන් මුකුත් කිව්වෙ නැත්තෙ. දෙවෙනි කොටස බැලුවම තේරෙයි ඇයි ඒ කියල.

    පිස්සා - ආයෙත් අහල. මේකෙත් අන්තිමේ පොඩි ඒවගේ දෙයක් තියෙනව.

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!